දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ඉකුත් සති කිහිපයේ කිහිපයේ මෙරට දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් වුණා. හිටපු ජනපතිවරුන් වෙනුවෙන් ලබන වසරේ වියදම් කිරීමට නියමිතව තිබූ මුදල්වලින් පාසල් සඳහා තාක්ෂණ විද්‍යාගාර ඉදිකරන බවට ජාතික ජන බලවේග මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කරඇති බව කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් සංසරණය වෙමින් පවතී. මේ එම සටහන පිළිබඳව සිදුකළ කරණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කරන්න ලබන වසරට වෙන් කළ මුදලින් අපි පාසල් දහසකට අවුරුද්දක් ඇතුළත නව තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකර දෙනවා” පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය එලෙස පැවසූ බව කියමින් ඉකුත් 13 වැනිදා Asian Mirror හි ලාංඡනය සහිතව පළකරන ලද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. බැලූ බැල්මට පෙනී යන්නේ, මෙය Asian Mirror වෙබ් අඩවි නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් බවයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශයට අදාළව වැඩිවිස්තර හෝ ඒ සඳහා වන ප්‍රවේශයක් හෝ ලබා දී නොමැත.

එම සමාජ මාධ්‍ය සටහනම Asian Mirror ලාංඡනය සහිත කොටස නොමැතිව තවත් ෆේස්බුක් පරිශීලකයෙක් පළ කර තිබුණේ මේ ආකාරයෙනි. එම සමාජ මාධ්‍ය සටහන බොහෝ පිරිසක් අතරේ හුවමාරුවී තිබූ ආකාරයත් එය සත්‍ය යැයි සිතා විශාල පිරිසක් අදහස් දක්වා ඇති ආකාරයක් දැකගතහැකියි.

මේ අතර “හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න වියදම් කල මුදල් යොදා ලබන වසරේ සිට ගුරු වැටුප් වැඩි කරනවා” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශයක් කළ බවට දක්වමින් තව ත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙය හිරු පුවත් ඔස්සේ ද, පුවතක් පළ වී ඇති බවට දක්වමින්.

ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම සටහනෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප මෙලෙස පියවර ගත්තේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සමාජ මාධ්‍ය ඔස්සේ, සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ද යන්න අප මුලින්ම විමසා බැලුවා. එහෙත් මන්ත්‍රීවරිය එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වන කිසිදු පුවතක් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබෙනු නිරීක්ෂණය නොවී ය.
Asian Mirror හි මෙවැනි සටහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ!
සිංහල භාෂාවෙන් පළ කරන ලද ඉහත සමාජ මාධ්‍ය සටහන් Asian Mirror ලාංඡනය සහිතව, එම ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් ලෙස හැඟී යන ආකාරයට පළ කර තිබූ බැවින් අප මූලින්ම Asian Mirror හි සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළේ ය. අපගේ පරීක්ෂාවේදී මූලිකවම පැහැදිලි වූයේ, ඉහත සමාජ මාධ්‍ය සටහන Asian Mirror Sinhala ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමාන නොවන බවයි.
අප Asian Mirror ප්‍රධාන පිටුව ද (ඉංග්‍රීසි) පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තේ ය. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන Asian Mirror හි ඉංග්‍රීසියෙන් සටහන් පළකරනු ලබන පිටුවේ ආකෘතියට සමාන බවක් පෙන්නුම් කරන බව පැහැදිලිව දැකගත හැකිවිය. එහෙත් මන්ත්‍රීවරිය ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට වන පුවතක් එහි වාර්තා කර තිබෙනු නිරීක්ෂණය නොවී ය.
එහි සඳහන් කර තිබෙන්නේ No Provision to Remove Fmr Presidents’ Security – Lakmali Hemachandra යනුවෙන් මන්ත්‍රීවරිය සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ සටහනකි. ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා එම Asian Mirror හි මෙලෙස පළ කර තිබෙනු දැකගත හැකි විය.
මෙම සටහන පළ කර තිබූණේ, අදාළ පුවත සඳහා වන ප්‍රවේශයක් ද සහිතවයි. Archived. එම වෙබ් ලිපියේ සඳහන්ව තිබුණේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට නීතියේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවට මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිදු කර තිබූ ප්‍රකාශයකට අදාළ පුවතකි. ඒ සඳහා පාදක වී තිබුනේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයකි. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.
එසේම, එහි කිසිදු තැනක හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කිරීම සඳහා ලබන වසරට වෙන් කළ මුදලින් පාසල් දහසකට අවුරුද්දක් ඇතුළත නව තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකර දෙන බවට මන්ත්‍රීවරිය පැවසූ බවට වන පුවතක් සඳහන්ව නොමැත.

ඒ අනුව ද සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන, Asian Mirror පිටුවේ පළ කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළ කර ඇති පුවතක් පිලිබඳ සටහනක්, ව්‍යාජ ලෙස සංස්කරණය සකසා ඇති බව තවදුරටත් පැහැදිලි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රතිචාරය
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධව අප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගෙන් ද විමසා සිටියා. මන්ත්‍රීවරිය පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කරන්න ලබන වසරට වෙන් කළ මුදලින් අපි පාසල් දහසකට අවුරුද්දක් ඇතුළත නව තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකර දෙන බවට වන ප්‍රකාශයක් තමන් විසින් කිසිදු අවස්ථාවකදී සිදු නොකළ බවයි. ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන, ව්‍යාජ සටහනක් බව මන්ත්‍රීවරිය ද වැඩිදුරටත් කියා සිටිනවා.
නි. අමාත්‍ය මහින්ද ජයසිංහ
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් ලෙස ප්‍රකාශයක් කර නොමැති බව ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අප කළ පරික්ෂාවේදී තහවුරු වුණා. එමෙන් ම අප මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ද, විමසීමක් කළ අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ද, මෙම පුවත අසත්‍ය බව ත්, තමන් මේ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු නොකර බව ත්ය.
එමෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය ද, මෙම පුවත අසත්‍ය බවත් මෙවැනි තීරණයක් ගෙන නොමැති බව ත්, කැබිනට් යෝජනාවක් හෝ නොමැති බව ද, තහවුරු කරනු ලැබුවා.
2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත
2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ඉකුත් 10 වැනිදා සිට මෙරට තුළ බලාත්මක වන අතර ඒ යටතේ හිටපු ජනපතිවරුන්ට සහ හිටපු ජනපති වැන්දඹුවන්ට එතෙක් හිමිවූ වරප්‍රසාද රැසක් මින් ඉදිරියට හිමි නොවනු ඇති. ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) අදාළ පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත වූ අතර එදිනම පස්වරුවේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කිරීමත් සමග එකී පනත් කෙටුම්පත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක විය.
මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.
- හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව
- හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
- හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.
මේ අතර 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බලාත්මක වීමත් සමග 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අහෝසි විය. අදාළ පනත මෙතැනින්.
එම පනත ක්‍රියාත්මක වූයේ, හිටපු ජනාධිපතිවරයන්ට සහ හිටපු ජනාධිපතිවරයන්ගේ වැන්දඹුවන්ට නිල නිවාස සහ වෙනත් දීමනා සහ පහසුකම් ප්‍රදානය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද එවැනි වැන්දඹවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසයි.
මේ අතර විශ්‍රාමික ජනාධිපතිවරුන් / වැන්දඹු භාර්යාවන් වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුළදී රජය දරන ලද වැටුප්, දීමනා සහ වෙනත් වියදම් පිළිබඳව පසුගිය 12 වනදා ‘අද දෙරණ’ නාලිකාව තොරතුරු වාර්තා කර තිබුණා. එම තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය):
අපගේ කරණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කරන්න ලබන වසරට වෙන් කළ මුදලින් අපි පාසල් දහසකට අවුරුද්දක් ඇතුළත නව තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකර දෙන බවට වන ප්‍රකාශයක් ජාතික ජන බලවේග මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදුකර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන Asian Mirror නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතිය ව්‍යාජව යොදා ගනිමින් සමාජය නොමග යැවීමේ අරමුණින් සකසන ලද සමාජ මාධ්‍ය සටහනක් බවයි.

Title:හිටපු ජනපතිවරුන් සඳහා ලබන වසරට වෙන් කළ මුදලින් පාසල් තාක්ෂණ විද්‍යාගාර දහසක් – මන්ත්‍රී ලක්මාලිගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Sagarika ChathumaliResult: False
