දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
කරුණු කාරණා නිසි ආකාරයෙන් නොසොයා ඇතැම් මාධ්‍ය ආයතනද, පුවත් වාර්තා කිරීම මගින් අසත්‍ය තොරතුරු වැරදි මත සමාජගත වනවා. චොකලට් 2ක සොරකමක් නිසා මවක මාස දෙකක බිළිඳා සමගින් බන්ධනාගාර ගත කළ බවට පළ වූ පුවතක් හේතුවෙන් සමාජ මාධ්‍යයේ සානුකම්පිත සටහන් පළ වෙද්දී මෙහි ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“චොකලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මව සහ මාස 2 1/2 සිඟිත්තා රිමාන්ඩ්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් පළ වූ වෙබ් ලිපිය මෙතනින්.
තව ත් සමාජ මාධ්‍ය සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.






චොකලට් දෙකක් හොරකම් කිරීම මත මවක සහ මාස දෙකක දරුවෙකු බන්ධනාගාර ගත කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද, සංවේදීව සිය අදහස් මෙම සටහන් සඳහා පළ කර කර තිබුණේ මේ අයුරින්.

චොකලට් දෙකක් සොරකම් කිරීමකට මවක සහ මාස දෙකක දරුවෙකු බන්ධනාගාර ගත කිරීම විය හැකිද යන්න කාරණා සැක සහිත බැවින් මෙහි සත්‍ය කරුණු සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට ආරම්භ කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රධා මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ, පහත දැක්වෙන අයුරින්.
“චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මාස 2 1/2 ක දරුවෙක් සමග මවක් රිමාණ්ඩ් බන්ධනාගාර ගත කරතිබෙනවා. අද දින ගන්දර පොලිස් ස්ථානය මගින් වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවෙක් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාර ගත කර තිබෙන්නේ. වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවා වෙනුවෙන් නීතිඥ සමීර මීකඳවත්ත මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම තැනැත්තිය බන්ධනාගාර ගත උවහොත් මෙම කුඩා ළදරුවාටද දැඩි අගතියක් වන බවට කියා සිටිමින් ඇප අයද සිටියද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඇප දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.”
ගන්දර පොලිස් ස්ථානාධිපති
අප ප්‍රථමයෙන් ම මේ පිළිබඳ විමර්ශනය කිරීමට ගන්දර පොලිස් ස්ථානාධිපතිගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය විකෘති කර වාර්තා කර ඇති බවයි.
මෙම කාන්තාවට එරෙහිව රුපියල් එකොලොස් දහසකට(11,000) ආසන්න ප්‍රමාණයක චොක්ලට් ප්‍රමාණයක් මංකොල්ල කෑම මෙන්ම පිටරටින් ආනයනය කරන ලද චොක්ලට් සහ ත්‍යාග විකුණන සාප්පුවට අනුබද්ධිතව තිබූ රූපලාවන්‍යාගාර හිමිකාරියකගේ රුපියල් දහ අටදාහකට (18,000)කට ආසන්න මුදලක් මංකොල්ල කෑමේ චෝදනාවක් ද තිබෙන බවත්, ඊට අමතරව අදාළ සැකකාරිය මීට පෙර අගුණුකොළ පැලැස්ස සහ මාතර යන ප්‍රදේශවල අධිකරණ වරෙන්තු නිකුත් කර තිබූ කාන්තාවක් බවත්, ඒ සියලුම චෝදනා මත ලබන 07 වන දා තෙක් මෙම සැකකාර කාන්තාව බන්ධනාගාර ගත කර ඇති බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කරනු ලැබුවා.
කෙසේ වෙතත් මාස දෙකක දරුවෙක් මවගෙන් වෙන් කිරීමට නොහැකි නිසා දරුවා ද, මව සමගින් බන්ධනාගාරයේ සිටින බවද, දරුවා සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඒ මහතා තව දුරටත් සඳහන් කළා.
ගන්දර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
මේ පිළිබඳව අප කළ විමසීමේදී එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් ද, තහවුරු කළේ, සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා මේ පිළිබඳව නොමග යන අන්දමින් තොරතුරු සොයා බැලීමකින් තොරව වාර්තා කර ඇති බවයි.
මෙම කාන්තාව මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ කාන්තාවක් බව ත්, රූපලාවන්‍යාගාරයේ ම කොටසක විකිණීමට ඇති රු.11,000ක පමණ චොක්ලට් මෙන් ම එහි අයිතිකාරියගේ මුදල් පසුම්බියේ ඇති මුදල් 18,000ක් මංකොල්ල කා තිබූ බව ත්, ඔවුන් පෙන්වා දෙනවා. තව ද, මෙලෙසින් බන්ධනාගාර ගත කර ඇති කාන්තාව ට මාතර අධිකරණයෙන් මත්ද්‍රව්‍ය චෝදනා අවලට වරෙන්තු නිකුත් කර ඇති කාන්තාවක් බව මෙම වර්තාවකරුන් ද පැවසුවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මාතර මහේස්ත්‍රාත්වරයා තරා තිරම නොබලා නීතියේ ඉදිරියේ සුළු වැරදි වලට වුවද, වරද කරුවන්ට ඇප ලබා ගැනීමට අවස්ථාව නොදී බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් මේ පිළිබඳ ඇතැම් නීතිඥයින් තම සේවදාකයන්ට ඇප ලබා නොදීම යන කාරණා මත මහේස්ත්‍රාත්වරයා සමග හිත්නොහොඳ කම් පවතින බවත්, මේ හේතුවෙන් ඔවුන් විසින් ම ‘චොක්ලට් දෙකක් සොරකම් කිරීම මත’ මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවට නොමග යන ලෙසින් මාධ්‍යවාර්තා කරුවන්ට පැවසීම මත මෙම නොමග යෑම හේතු වී ඇති බවයි.
රූපලාවනගාරයේ හිමිකාරිය අපට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවසු තොරතුරු
ඉහත සිදුවීමේ අගතියට පත් පාර්ශවය වන, සොරකම සිදු ව ඇති දෙවිනුවර පිහිටි රූපලාවන්‍යගාරයේ හිමිකාරිය අප සම්බන්ධකර ගත් අතර ඇයගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විමසීමක් කළා.
ඇය සඳහන් කළේ, මෙම කාන්තාව විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනි දා බිළිදා සමග තම රූපලාවන්‍යගාරයට පැමිණ කොණ්ඩය සකසා ගැනීමට අවශ්‍ය බව පැවසූ බවත්, එදින තිබූ අනෙකුත් වැඩ සමග ඇයට වේලාවක් වෙන් කර දීමට නොහැකි වූ බව ත්, ඇයට පසු දිනෙක පැමිණෙන ලෙස පැවසූ බවයි.
අදාළ සැකකාර කාන්තාව දින කිහිපයක්ම වේලාවක් වෙන් කිරීමට දුරකතන මාර්ගයෙන් ඇමතුම් කිහිප වතාවක් ලබා ගත් බවත්, පසු දිනක ඇමතුමක් ලබා දී තමා අද රූපලාවන්‍යාගාරයට පැමිණෙන බව ත්, රුපියල් ලක්ෂ එකහාමාරක දෙකක පමණ වැඩක් යනුවෙන් පවසා, තමන්ට මංගල්‍ය උත්සවයක් ගැනීමට නොහැකි වූ බැවින් තමන්ට මනමාලියෙකු ලෙස එදිනම හැඩ ගන්වා ගැනීමට අවශ්‍ය බව ත් පවසා තිබෙනවා.
සිය ස්වාමිපුරුෂයා බව කියමින් පුද්ගලයෙකු සමගින් පසු දිනෙක සැකකාර කාන්තාව ඇය රූපලාවන්‍යාගාරයට පැමිණ තිබෙනවා. ඇයට මනාලියක් ආකාරයෙන් සැරසීමට අවශ්‍ය බැවින්, ඒ අනුව රූපලාවන්‍යාගාරයේ තිබූ මනාලියන්ගේ ඇඳුම් ආයිත්තම් ඇඳ පැළඳ ඒවා පරීක්ෂා කර බලා තිබේ.
රූපලාවන්‍යාගාර හිමි කාරිය විසින් සාද සැරසිලි (Party Decos) Birthday Surprise වැනි දේවල් සිදු කරන අතර ආනයනය කරන ලද චොකලට් ද රූපලාවන්‍යාගාරයේම කොටසක විකිණීමට ඇති බව ත්, ඉහත කී සැකකාර කාන්තාව විසින් තම ස්වාමි පුරුෂයාට පුදුමයට පත් කිරීමට අවශ්‍ය බව පවසමින් චොක්ලට් බාස්කට් එකක් සකසා ගත් අතර රූපලාවන්‍යාගාර හිමිකාරිය අතේ එම අවස්ථාවේ රූපලාවන්‍යාගාරයේ පිටත සිටින සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා කියන තැනැත්තෙකුට ද එම බාස්කට් එක ලබා දී තිබේ.
තවද මෙම සැකකාර කාන්තාවට මනමාලිය ලෙස සැරසීමට ෆ්‍රෙෂ් මල් කළබක් අවශ්‍ය බව පවසා ඇති බැවින් සැරසීමට අවශ්‍ය ද්‍රව්‍ය එකලස් කර ගැනීමට වේලාව මදි කමින් සිය ස්වාමියාව ද, රූපලාවන්‍යාගාරයට කැඳවා ඇති බව රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අපට පැවසු අතර, තමා ස්වාමියා සමඟ මේ ගැන කතා බහ යෙදමින් සිටියදී ටික වේලාවකට පසුව ඉහත කී කාන්තාව රූපලාවන්‍යාගාරයෙන් පිටත්ව ගොස් බව දැක ගන්නට ලැබී තිබෙනවා.
පසුව මෙම හිමිකාරිය විසින් ඇයට දුරකතන ඇමතුම් ලබා ගත් අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ගැනීමට සඳහා බැංකුවට ගිය බවයි. නමුත් මෙම කාන්තාව දින කිහිපයක් දුරකතකයෙන් කතා කර ඇති බැවින් සහ ඇයගේ සුහදශීලි බව නිසා රූපලාවන්‍යාගාර හිමිකාරියට සැකයක් එම අවස්ථාවේදී හෝ ඇති වී නොමැති අතර පසුව දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදී තිබිණ.
පසුව පරීක්ෂා කිරීමේදී රූපලාවන්‍යාගාර හිමිකාරියගේ මුදල් පසුම්බිය ද රූපලාවන්‍යාගාරයේ නොමැති බව ද, තහවුරු වී ඇති අතර කලින් චොක්ලට් බාස්කට් එක සඳහා ද, මුදල් ලබා දී නොතිබූ බැවින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
රූපලාවන්‍යාගාර ආයතනයේ හිමිකාරිය අප සමඟ වැඩිදුරටත් කියා සිටියේ, තමාට පොලිසියට කැඳවා තිබු අතර එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවක දී තමන් එම කාන්තාව හඳුනාගත් බව ත්, ඒ අනුව ඇය පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව ත්ය. නමුත් එම පුරුෂයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔහුව සොයා පරික්ෂණ සිදුවන බව ත්, ඇය පවසනවා.
දරුවෙකු සිටින නිසා මෙම කාරණය මුලින් අමතක කිරීමට සිතුණත් පසුව මෙම සැකකාර කාන්තාව මේ ආකාරයෙන් මුදල් මංකොල්ල කැම් සිදු කළ හැකි බැවින් නීතියේ පිහිට පැතූ බව ත් රුපලාවන්‍යාගාර හිමිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් මෙම සිදුවීම ගැන මීළඟ නඩු වාරය ඉදිරි සැප්තැම්බර් 7 වැනිදා ට යෙදී තිබෙන බැවින් එයින් පසු මෙම වාර්තාව යාවත්කාලින කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Title:චොක්ලට් සොරකම් කරාට මවක් බන්ධනාගාර ගත කළ බවට පැවසූ පුවත ගැන මාධ්‍ය වාර්තා නොකළ තොරතුරු!
Fact Check By: Pavithra SandamaliResult: Misleading


