මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද? 

Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

 

කාලීන දේශපාලනික සිදුවීම් අලලා සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන්, කරුණු විකෘති කරමින් අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් පළවෙන පසුබිමක, මෑතක දී සිදුවූ කැබිනට් සංශෝධනයට අනුව මොහොමඩ් මුනීර් මහතාට හිමිවූ නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සංසරණය වන සටහනක් පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළ අයුරු පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අභිනව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මැතිතුමාට සුබ පැතුම් යනුවෙන් සඳහන් කරමින් පහත දැක්වෙන සටහන පළ කර ඇත්තේ,  මොහොමඩ් මුනීර් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සහිතවයි.  

 

Facebook | Archived Link

බුද්ධශාසන ඇමති කතෝලික.. නියෝජ්ය ඇමති මුස්ලිම් 
බුද්ධශාසන අමාත්යාංශය තවදුරටත් නැත. පුනරැදේ උදාවී ඇත. යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තවත් සටහනක් මෙලෙස පළ වී තිබුණා. 

 

Facebook | Archived Link Facebook

එම්.එම්.මොහොමඩ් මුනීර් නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වී තිබූ ඉහත සමාජ මාධ්‍ය සටහන්වලට බොහෝ පිරිසක් අදහස් දක්වා තිබූ අතර විශාල පිරිසක්  එම සටහන් සත්‍ය යැයි සිතා හුවමාරු කරගෙන තිබූ ආකාරයක් ද දැකගත හැකි විය. 

බොහෝ පිරිසක් එම්.එම්.මොහොමඩ් මුනීර් මහතාට බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ බව කියන සටහන්වල නිර්වද්‍යතාව විමසා තිබූ අතර ඒ අනුව අප ඒ පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රජයේ නිල වාර්තා හා පිළිගත් මාධ්‍ය වාර්තා 

වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (ඔක්තෝබර් 10) සිදු වූ අතර මෙරට සියලුම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ පුවත වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.  

ඒ අනුව අප රජයේ නිල සමාජ මාධ්‍ය ජාලා ඇතුළු මාධ්‍ය වාර්තා දෙස අවධානය යොමු කිරීමට පියවර ගත් අතර පිළිගත් සෑම මාධ්‍ය වාර්තාවකම දැක්වුණේ,  ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.  

අප ඊයේ (ඔක්තෝබර් 10) උදෑසන සජීවී පුවත් වාර්තා කිහිපයක් දෙස ද අවධානය යොමු කළ අතර ඒ සියල්ලකම, රජයේ නිල නිවේදන උපුටා දක්වමින් පවසන්නේ ද එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බවයි. Hiru News | Newsfirst. තවත් පුවත් වාර්තා මෙතැනින් සහ මෙතැනින් .

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල සමාජ මාධ්‍යහි මෙලෙස ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙලෙසින් ද සඳහන් වුයේ එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා දිවුරුම් දී තිබුනේ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස බවයි.

 

එම්.එම්. මොහොමඩ් මුනීර් නියෝජ්‍ය අමාත්‍යවරයා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවක් කිසිදු පිළිගත් මාධ්‍යක් විසින් වාර්තාවක හෝ රජයේ නිල වාර්තාවල සඳහන්ව නොතිබිණ. 

ඒ අනුව පැහැදිලි වන්නේ, එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් බවට වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි. 

නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා 

මේ අතර මේ පිළිබඳව තවදුරටත් කරණු තහවුරු කර ගැනීමේ  අවශ්‍යතාව මත අප නියෝජ්‍ය ආමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර  නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , තමන්ට බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ බවට වන සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මීට පෙර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ තමන් නව සංශෝධනයේදී ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.  බුද්ධ ශාසන නියෝජ්‍ය ආමත්‍යවරයා ලෙස තමන් දිවුරුම් නොදුන් බව ද ඔහු කියා සිටියා. දිවුරුම් දෙන අවස්ථවේ වීඩියෝවක් ද ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුනේ මෙලෙසින්

මේ අතර සමාජ මාධ්‍ය සටහන්වල නියෝජ්‍ය අමාත්‍යවරයා මුනීර් මුලෆ්ෆර් ලෙස සහ තවත් අවස්ථාවල මොහොමඩ් මුනීර් ලෙස හඳුන්වා තිබීම පිළිබඳව ද අප නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඔහු පැවසුවේ, තමාගේ සම්පූර්ණ නම මොහොමඩ් මුලෆ්ෆර් මොහොමඩ් මුනීර් වන බවත් බොහෝ අවස්ථාවල තමන් භාවිත කරනු ලබන්නේ, මුනීර් මුලෆ්ෆර් යනුවෙන් බවත් ය. Parliament Web

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම් 

මොහොමඩ් මුනීර් මහතා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවට වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධව අප බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කළේ ය. 

ලේකම්වරයා සඳහන් කළේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස  ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා කටයුතු කරන අතර නව සංශෝධනයත් සමග අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු සිටින බවයි. දෙදෙනා අතරේ විෂය පථ බෙදී යන බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.  

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ විෂය පථයේ දැක්වෙන්නේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. Archived

මේ පිළිබඳව විමසීමේ දී අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ ගමගෙදර දිසානායක මහතා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් එහිදි බුද්ධශාසනයට අදාළ සංස්කෘතික කටයුතු ගමගෙදර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විෂයන් වෙත එකාබද්ධ වන බවත්  ලේකම්වරයා සඳහන් කළේ ය. 

මොහොමඩ් මුනීර් මහතා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමත් සමග අනෙකුත් ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු  මුනීර් මහතාට ඒකාබද්ධ වන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.  

ජනාධිපති මාධ්‍ය අංශය 

පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද විමසීමක් සිදු කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා නව සංශෝධනයේදී ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි. ඔහු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමක් සිදු නොවූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ ය. 

අමාත්‍ය මණ්ඩල සංශෝධනය 

වත්මන් ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩ සංශෝධනය පසුගිය 10 වැනිදා සිදු වූ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ, 2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය පියවර ගත් බවයි. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඔක්තෝබර් 10 වැනිදා උදෑසන තිබුණා. දර්ශන මෙතැනින් 

මේ අතර 2024 වසරේ නොවැම්බර් 21 වනදා ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29  දෙනෙකු ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර එහිදී  ගමගෙදර දිසානායක මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. දර්ශන මෙතැනින් පසුගිය 10 වැනිදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගමගෙදර දිසානායක මහතාගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදුවූ නොවීය. 

මේ අතර ‘බුද්ධශාසන අමාත්‍ය  කතෝලික.. නියෝජ්ය ඇමති මුස්ලිම් 
බුද්ධශාසන අමාත්යාංශය තවදුරටත් නැත. පුනරැදේ උදාවී ඇත.’ යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහනේ සඳන් කරුණු පරීක්ෂා කිරීම සඳහා අප පාර්ලිමේන්තු වෙබ් අඩවිය පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලව දැක ගතහැකි වූයේ,  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ආගම බෞද්ධ ලෙස සඳහන්ව ඇති ආකාරයයි. 

 

පාර්ලිමේන්තු වෙබ් අඩවිය

එසේම බුද්ධ ශාසන අමාත්‍යංශ , ජාතික ජන බලවේග රජය යටතේ ඉවත් කිරීම පිළිබඳව මීට පෙර ද නොමඟ යවන සුළු සටහන් පළවී තිබු අතර ඒ පිළිබඳව අප සවිස්තරාත්මක කරුණු අනාවරණයක් සිදුකරමින් පෙන්වා දුන්නේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු යනුවෙන් අමාත්‍යංශයක් 2020 වසරේ දී ගැසට් කෙරුණු බවත් එම අමාත්‍යංශය යටතේ මීට පෙර රජයන්හි දී ද පිළිවෙලින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සහ විදුර වික්‍රමනායක මහතා අමාත්‍යධුර ද දරා තිබු බවයි. සම්පුර්ණ කරුණු විමසුම පහතින්.

මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පැහැදිලි වන්නේ, මුනීර් මුලෆ්ෆර් (එම්.එම්. මොහොමඩ් මුනීර්) මහතා මීට පෙර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඔහු දිවුරුම් දී ඇත්තේ, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නොව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. 

බුද්ධ ශාසන කටයුතු භාරව කටයුතු නියොජ්‍ය අමාත්‍යවරයා වන්නේ, ගමගෙදර දිසානායක මහතා වන අතර ඔහුගේ විෂය පථයේ මෙතෙක් වෙනසක් සිදුවී නැති අතර,  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස , අමාත්‍ය සුනිල් සෙනෙවි යටතේ කටයුතු කරයි.

 

 

 

Avatar

Title:මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද? 

Fact Check By: Sagarika  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *