අවාරේ සිරිපා කරුණා කරන තනි අලියෙකුගේ දර්ශන පෙළක් ද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සිරිපා වාරය උඳුවප් පෝයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වෙනවා. ඒ අනුව දැන් ගෙවෙන්නේ සිරිපා අවාරයයි. මහවැසි ආදී දුෂ්කරතා හමුවේ වුව ද අවාරයේ සිරිපා වන්දනා කිරීමට ද ඇතැම් පිරිස් කැමැත්තක් දක්වනවා.

මෙවන් පසුබිමක හස්තිරාජයෙකු අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන ආකාරය බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද විිවිධ ආකාරයේ කෙටි වීඩියෝ දර්ශන බහුලව හුවමාරු වෙමින් පවතී. මේ ගැන අප විමසා බැලුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අවාරේ සිරිපා කරුණා කරන පින්වත් ඇත් රජාණන්” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝවට අනුව සද්දන්ත ඇතෙක් හෝ අලියෙක් ශ්‍රී පාදස්ථාන මාර්ගයේ පඩිපෙළවල් සහිත කොටසේදී පහළට බසින ආකාරයක් හැඟවීමට උත්සාහ දරා තිබේ.

“අවාරේ සිරිපා කරුණා කරන්න එපා කියන්නේ මේ නිසයි” යනුවෙන් සඳහන් කරමින් ඔක්තෝබර් 8 වැනිදා පළ කරන ලද මෙම කෙටි වීඩියෝවෙන් අදාළ සමාජ මාධ්‍ය ගිණුම් හිමියා ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ, අවාරයේ ශ්‍රී පාදස්ථානය වන්දනා නොකරන ලෙස බැතිමතුන්ට පවසන්නේ, මෙලෙස අලි, ඇතුන් අවාරේ සිරිපා කරුණාකරන නිසා බවටයි.  

Facebook 

තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ‘අවාරේ සිරිපා කරුණා කරන පිංවත් හස්ති රාජයා‘ යනුවෙන් සඳහන් කරමින් මීට සමාන තවත් වීඩියෝවක් පසුගිය ඔක්තෝබර් 6 වැනිදා මෙලෙස පළ කර තිබුණා. Facebook|Archived Link

ඒ වගේම ‘අවාරේ සිරිපා කරුණා කරද්දී පරිස්සමෙන් 🙏’ යන වදන් පෙළ සමගින් තවත් කෙටි වීඩියෝවකින් පෙන්වා තිබුනේ අලියෙකු ශ්‍රී පාදස්ථානය වෙත ඇති පඩිපෙළක ඉහළට ගමන් ගන්නා ආකාරයක්.

Facebook

තවත් වීඩියෝවක් මෙතනින්.

ෆේස්බුක් වෙත වරින් වර මුදාහරින ඉහත වීඩියෝ දර්ශන සත්‍ය සිදුවීම් නොවන බවට බොහෝ පිරසක් අදහස් පළ කර තිබූ අතර තවත් සමහරු මෙය සත්‍යක් යැයි සිතා ඒවාට ප්‍රතිචාර දක්වා ඇති ආකාරයක් ද දැකගත හැකි විය.  ඒ අනුව ෆේස්බුක් ඔස්සේ විටින් විට පළ කරන මෙම දර්ශනවල නිර්දව්‍යතාව සොයා අප මෙලෙස කරණු පරීක්ෂාවක් සිදුකිරීමට පියවර ගත්තේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හස්තිරාජයෙකු ශ්‍රීපාදස්ථානය කරුණා කරන ආකාරය කියමින් අවස්ථා කිහිපයකදී ගිණුම් කිහිපයක් ඔස්සේ, සමාජ මාධ්‍යට මුදා හැර ඇති ඉහත දර්ශන නිරීක්ෂණයෙදී බැලූ බැල්මට මෙම දර්ශනවල ස්වාභාවිකත්වයට එහා ගිය කෘත්‍රිම බවක් පෙන්නුම් කරයි.

මූලිකවම පැනනගින ප්‍රශ්නයක් වන්නේ, මෙවන් සමීප දර්ශන පෙළක්, කැමරා කාචයකට හසුකර ගත්තේ කෙසේ ද? යන්නයි.  

තවද රූප රාමූ සමීපව නිරීක්ෂණයේදී හස්තියාගේ ඉදිරිපස වම් පාදයේ අස්වාභාවික දිගක් සහිත පෙනුම, එකවරම පඩි පෙළෙහි පඩි නොපෙනී යාම වැනි අවස්ථා දැකගත හැකි අතර ඒ අනුව ද මෙම වීඩියෝව සත්‍ය සිදුවීමක දර්ශනයක් නොවන බව තවදුරටත් පැහැදිලි වේ. 

ඒ අනුව අප සිරිපා කරුණා කරන හස්තිරාජයෙකුගේ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට පළ කරන ලද වීඩියෝ දර්ශනවල රූප රාමු AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලමක් වෙත යොමු කරමින් ඒවායේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබිණ. ඒ අනුව තහවුරු වූයේ,  සමාජ මාධ්‍ය සටහන්වල සංසරණය වන  වීඩියෝව සත්‍ය සිදුවීම්වල දර්ශන නොව ඒවා කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද දර්ශන බවයි.  

එමෙන් ම සිරිපාද අඩවියේ පියගැට පෙළ තරණය කරන හෝ අවාරයේ සිරිපා තරණය කරන පිරිස් වෙත මේ දිනවල අලියෙකු දැක ගන්නට ලැබීමක් ගැන හෝ වාර්තා වී තිබුනේ ද යන්න අප නල්ලතන්නි පොලිසියෙන් විමසු අතර ස්ථානාධිපතිවරයා අපට තහවුරු කර සිටියේ එම ප්‍රදේශයේ අලි ගැවසෙනු දැකගන්නට ලැබෙන්නේ නැති බවයි.

ශ්‍රී පාද රක්ෂිතය ආසන්න ගමක සිටින අලි පිළිබඳ පර්යේෂකයෙකු සඳහන් කර සිටින්නේ එම ප්‍රදේශයේ 10-15 දෙනෙකු වැනි ඉතා සුළු අලි කිහිපදෙනකු සිටිය ද ඔවුන්ව දැක ගැනීම ඉතා විරල බවත් පසුගිය දශක කිහිපයේ දී ම ඔවුන්ගේ ඡායාරුපයක් ඈතක සිට ලබාගෙන හෝ ඇත්තේ අතලොස්සක් පමණක් බවයි. එසේම මෙම කුඩා රංචුව වෙනත් අලින් ගැවසෙන ප්‍රදේශවලින් වෙන්වී තිබීම නිසා, එකම ප්‍රජාවකින් වර්ගයා බෝවීමේ ඇති ගැටළු ද හේතුවෙන්, ඔවුන්ගේ ඉදිරි පැවැත්ම ද තර්ජනාත්මක බවත් ඔහු පෙන්වාදෙන වීඩියෝවක් මෙතනින්.

මේ අතර සිරිපා අවාරේ සමය ආරම්භ වීමට පෙර ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසා තිබුනේ රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම සිදුකළ හැකි නම් එය වඩාත් යෝජ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, “අවාරේ සිරිපා කරුණා කරන පින්වත් ඇත් රජාණන්” ලෙස සඳහන් කරමින් පළ කර ඇති හස්තියෙකු ශ්‍රීපාදස්ථානය කරුණා කරන අයුරු දැක්වෙන මෙම දර්ශන පෙළ සත්‍ය සිදුවීමක දර්ශන පෙළක් නොව එය කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද දර්ශන පෙළක් බවයි.

Avatar

Title:අවාරේ සිරිපා කරුණා කරන හස්තිරාජයෙකුගේ දර්ශන පෙළක් ද? 

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *