දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
සියවස් ගණනාවක් තිස්සේ මිනිසා මුහුණදෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන්නේ පිළිකා රෝගයයි. මේ හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කිරීමට ත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම සිදු කළ යුතු වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පිළිකා සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“පරිප්පු හොද්දටත් සුප් කැට දාලා දරුවන්ට චිකන් සප්‍රයිස් දෙන අම්මලාටම, දරුවන් විසින් සප්‍රයිස් දෙන අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇත. මහරගම පිළිකා රෝහලට දිනකට නව රෝගීන් 76 ක් ලියාපදිංචි වෙමින් ඇත. දරුවන්ට ආදරේ නම් වෙළඳ දැන්වීමට මුලා වී රස කවන්න ගිහින්, වස කවන්න එපා.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

එමෙන්ම WhatsApp ඔස්සේ ද, මෙය හුවමාරු වූයේ මෙලෙසින්.

මහරගම පිළිකා රෝහලට දිනකට නව රෝගීන් 76ක් ලියාපදිංචි වනවා ද යන්න සහ පිළිකා සඳහා සුප් කැට බලපාන්නේ ද යන්න පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් මහරගම අපේක්ෂා(පිළිකා) රෝහලට දිනකට නව රෝගීන් 76ක් ලියාපදිංචි වන වාද යන්න පිළිබඳ මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතාගෙන් විමසීමක් සිදු කළා.
මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ
වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා සඳහන් කළේ, අපේක්ෂා රෝහලට දිනකට නව රෝගීන් 76ක් ලියාපදිංචි නොවන බවයි. අපේක්ෂා රෝහලට දිනකට කොපමණ රෝගීන් ප්‍රමාණයක් ලියාපදිංචි වන වා ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි වුවද කිසිසේත්ම මෙතරම් ඉහළ අගයක රෝගීන් සංඛ්‍යාවක් එක් දිනක ලියාපදිංචි නොවන බවට අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසා සිටියා.
එමෙන්ම එලෙස නව රෝගීන් හෝ දැනට සිටින සියලු රෝගීන් රසකාරක ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පිළිකා සෑදී ඇති බවට සාක්ෂි නොමැති බවත්, කුමන ආහාර ද්‍රව්‍යයක් භාවිත කිරීම තුළින් පිළිකා සෑදුණු බවට නිශ්චිතව පැවසිය නොහැකි වනවා සේම එවැනි තොරතුරු ලබාගන්නා ක්‍රම වේදයක් නොමැති බවත්, එය ප්‍රායෝගික දෙයක් ද නොවන බවට පෙන්වා දුන්නා.
වෛද්‍යවරයා සඳහන් කරන්නේ, උදාහරණයක් ලෙස එක ම ආහාර වර්ගයක් හෝ රස කාරකයක් පමණක් දෛනිකව වේල් තුනටම ආහාරයට ගන්නා පුද්ගලයන් නොමැති බවයි.
ජාතික පිළිකා මර්දන ඒකකය
ජාතික පිළිකා මර්දන ඒකකයේ වෛද්‍ය සද්ධර්ම වීරකෝන් මහතා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විධිමත් පරීක්ෂණ සහ අධ්‍යනයන් සිදු කොට මේ වන විට හඳුනාගෙන ඇති පිළිකා කාරක 122 අතරේ සුප් කැට නොමැති බවයි. එමෙන්ම පිළිකා නොමැති ආහාර වර්ග අතර ද, සුප් කැට නොමැති බවයි.
මෙතෙක් සුප් කැට සම්බන්ධයෙන් සිදු කොට ඇති පරීක්ෂණ වල පිළිකා කාරකයන් ඇති බවට හඳුනාගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන බවත්, මෙරට සිදු කරන ලද පරීක්ෂණ වල හෝ සුප්කැට සම්බන්ධයෙන් පිළිකා කාරක ඇති බවට සිදු කොට ඇති පරීක්ෂණ වලදී හඳුනාගෙන නොමැති බවයි වෛද්‍යවරයා පැවසූවේ.
එමෙන් ම වෛද්‍ය සද්ධර්ම වීරකෝන් මහතා පෙන්වා දෙන්නේ, අජිනමොටෝ රස කාරකවල ද, පිළිකා ද්‍රව්‍ය ඇති බවට සමාජයේ දැඩි කතාබහක් ඇති වූ බවත්, එහි සිදු කරන ලද පරීක්ෂණයන් ගණනාවකින් තහවුරු වූයේ එහි පිළිකා කාරකයන් නොමැති බවයි. වෙනත් ශරීරයට අහිතකර බලපෑම් එවැනි ද්‍රව්‍ය වලින් ලැබීමට හැකි වූවත් (නිදසුන් ලෙස අධික ලවණ අඩංගු ආහාර ගැනීම වැනි) පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන නොමැති බවත්, සුප් කැට සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී පිළිකා කාරක එහි අඩංගු වී නොමැති බවයි ඔහු තහවුරු කළේ.
දැඩි ලෙස පිළිකා කාරක ප්‍රතිශතය ඉහළ මට්ටමක ඇත්තේ, දුම්කොළ වල බව ද, වෛද්‍යවරයා අවධාරණය කළා.
ජාතික පිළිකා මර්දන ඒකකයට මෙරට දෛනිකව පිළිකා සම්බන්ධ තොරතුරු දත්තයන් ලැබෙන බවත්, දිනකට මෙරට තුළ නව පිළිකා රෝගීන් 90 දෙනෙක් වාර්තා වන බවත්, එය අපේක්ෂා රෝහලේ පමණක් වාර්තා වන දිනක රෝගී සංඛ්‍යාව නොව සමස්ථ ශ්‍රී ලංකාව තුළ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලෙන්ම වාර්තා වන ප්‍රමාණය බවයි තහවුරු කළේ.
වාර්ෂිකව දළ වශයෙන් නව පිළිකා රෝගීන් 31,000ක් පමණ වාර්තා වන අතර පිළිකා රෝගය හේතුවෙන් දෛනිකව මිය යන ගණන 40ක් පමණ වන බවත්, එය සමස්ථ පිළිකා ප්‍රතිකාර ම්‍යස්ථාන සියල්ලෙන්ම වාර්තා වන සමස්ථ දත්තයන් වන අතර පිළිකා රෝගීන් සියල්ලම ආහාර හේතුවෙන් පමණක් පිළිකා තත්ත්වයන්ට මුහුණ පා ඇති රෝගීන් නොවන බවත් පෙන්වා දුන්නා.
එමෙන්ම එම රෝගීන් සියලු දෙනා අතර සහ සුප් කැට අතර සම්බන්ධතාවයක් ඇති බවට හෝ කිසිදු පර්යේෂණයකින් හෝ වාර්තා වී නොමැති බව ත් වෛද්‍යවරයා සඳහන් කළා.
පිළිකා සම්බන්ධ නිල තොරතුරු මෙතනින්.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ
ලොවපුරා පිළිකා පැතිරීමේ විශේෂ රටාවක් දක්නට හැකිය. ඒ අනුව රටවල් 112කම පිරිමින් අතර ප්‍රධාන ලෙස වාර්තා වී ඇත්තේ පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාවය. ඉන්දියාව හා ලංකාව ප්‍රමුඛ කලාපයේ බහුලම පිළිකාව මුඛ පිළිකාවය. රටවල් 36ක පෙනහලු පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. ගුද හා මහාන්ත්‍ර ආශ්‍රිත පිළිකා සහ අක්මාවේ පිළිකා පිළිවෙළින් රටවල් 11ක් අතරින් වාර්තාවේ. පිරිමින්ගේ මරණ වැඩියෙන්ම සිදුකර ඇත්තේ පෙනහළු පිළිකා බව මේ දත්ත පෙන්වා දෙයි. රටවල් 93ක මරණ සඳහා මේ පෙනහලු පිළිකාව වගකිව යුතුය. පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාව රටවල් 48ක මරණ සිදුකළ ප්‍රධාන මාරකය වන අතර, තවත් රටවල් 23ක අක්මා පිළිකාව ඒ මාරකයයි.
කාන්තාවන් අතර ප්‍රමුඛතම මාරකය පියයුරු පිළිකාය. රටවල් 159ක්ම එයට ගොදුරු වී ඇත. කාන්තාවන් මරාදමන අනෙක් ප්‍රධාන පිළිකාව ගැබ්ගෙල පිළිකාවය. රටවල් 26ක ප්‍රධාන මාරකය ලෙස එය වාර්තාගතය. මේ සංඛ්‍යා ලේඛන අනුව සෑම කාන්තාවන් 11ක් අතරින් 1ක් අයෙක්, මෙන්ම පිරිමින් 8ක් අතරින් 1 අයෙක්ම පිළිකාවෙන් මියයාමේ අනතුර පවතී. මේ අනුව ලෝකයේ ප්‍රධානතම මාරක ගැටලුව බවට තවමත් පිළිකාව පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා සනාථ කර හමාරය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මහරගම පිළිකා රෝහලට දිනකට නව රෝගීන් 76 ක් ලියාපදිංචි වෙමින් ඇති බවට සහ සුප් කැටවල පිළිකා කාරක අඩංගු වී ඇති බවට සංසරණය වූ සටහන් නොමග යන සුළු බවයි. මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා සඳහන් කළේ, නව පිළිකා රෝගීන් දෛනිකව එවැනි විශාල ගණනක් ලියාපදිංචි නොවන බවයි.
ජාතික පිළිකා මර්දන ඒකකයේ තහවුරු කළේ, දෛනිකව සමස්ථ ශ්‍රී ලංකාව තුළ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලෙන්ම නව පිළිකා රෝගීන් 90 දෙනෙක් වාර්තා වන බවත්, මහරගම පමණක් එවැනි විශාල ප්‍රමාණයක නව රෝගීන් වාර්තා නොවන බවත්ය.
එමෙන්ම සුප් කැට වල පිළිකා කාරකයන් ඇති බවට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිකා කාරකයන් ඇති ආහාර වර්ග 122 ක ලැයිස්තුවේ නොමැති අතරමෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ වලින් සුප්කැට වල පිළිකා කාරක ඇති බවට හමු වී නොමැත.

Title:මහරගම පිළිකා රෝහලට දෛනිකව නව රෝගීන් 76 ක් ලියාපදිංචි වෙනවාද? සුප් කැට වල පිළිකා කාරක අඩංගුද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading