වන අලි එළවන මෙහෙයුම් නතර කරන්නැයි පරිසර අමාත්‍යාංශය නියෝග කළා ද?

Environment False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල හම්බන්තොට සහ අනුරාධපුර, මහඉලුප්පල්ලමේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මක ගම්වදින වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුමට අදාළව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එලෙස හුවමාරු වන සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Everything for animals ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ,  වන අලි එළවීමේ මෙහෙයුම් වහාම නතර කරන ලෙස පරිසර අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇති බවටයි.  කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය සටහනට අදාළ වැඩි විස්තර කිසිවක් එහි ඇතුළත්ව නොමැති අතර  වැඩි විස්තර සඳහා වන සබැඳියක් හෝ එහි දක්වා නොමැත. 

Facebook | Archived Link

කෙසේ වෙතත් මෙම සටහන සත්‍ය යැයි සිතා බොහෝ පිරිසක් එය සිය ගිණුම් වෙත ද එය හුවමාරු කරගෙන ඇති අතර තවත් බෝහෝ පිරිසක් මෙලෙස අදහස් දැක්වීම් ද සිදුකර තිබුණා. 

පහතින් දැක්වෙන්නේ, එම තේමාවෙන්ම පළ වී තිබූ තවත් ෆේස්බුක් සටහනක් වන අතර පෙර පරිදිම එම සටහනේ ද එකී නියෝගයට අදාළ වැඩි විස්තර හෝ වැඩි විස්තර සඳහා වන සබැඳියක් හෝ නොමැත. 

Facebook | Archived Link

ඒ අනුව පසුගිය දින කිහිපයේ සිට ක්‍රියාත්මක වන මෙම වන අලින් අලි කළමනාකරණ රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් නතර කරන ලෙස සත්‍ය ලෙස ම පරිසර අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබේ ද එසේ නම්, ඒ අනුව මේ වන විට එම මෙහෙයුම නරත කර ඇත්ද යන්න පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කළේ ය.   

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් අවට සැරිසරන වන අලි හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දෛනිකව ගම්වදින වන අලි රක්ෂිතයට පළවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ මීට දින කිහිපයකට ඉහතදී ය. මෙම මෙහෙයුම් පිළිබඳව පසුගිය දින කිහිපයේම ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මාධ්‍ය දර්ශන සහිතවම පුවත් මෙලෙස , මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබිණ.  කෙසේ වෙතත් ඉල් පුන් පොහොය යෙදී තිබූ බැවින් ඊයේ (නොවැම්බර් 05) දිනට පමණක් හම්බන්තොට මෙහෙයුම් නතර කර තිබූ අතර ඊයේ දිනයේ වනජීවි නිලධාරීන්ට අද මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා භූමිය සම්බන්ධ අවබෝධය ලබා දීම පමණක් සිදුව තිබුණා. 

වන අලි එළවීමේ මෙහෙයුම් වහාම නතර කරන ලෙස පරිසර අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කරයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවීම සහ ඒවා සංසරණය වීම සිදුවන්නේ, මෙවැනි පසුබිමක් යටතේ ය. 

මේ අතර අද (නොවැම්බර් 6) උදෑසන 09.00ට පළ කරන ලද dailymirror.lk Archived Link පුවත් වාර්තාවක දැක්වෙන්නේ, හම්බන්තොට සහ අනුරාධපුර ගම්මාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන අලි රක්ෂිතවලට පළවා හැරීමේ මෙහෙයුම් වහාම අත්හිටුවීමට පරිසර අමාත්‍යාංශය නියෝග කර ඇති බවයි. එම මෙහෙයුම් සඳහා නිල අනුමැතියක් ලබා දී නොමැති බව ද එහි සඳහන් ය. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින්  dailymirror.lk අදාළ පුවත වාර්තා කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙහෙයුමට අදාළ කටයුතු වහාම නතර කරන ලෙස අමාත්‍යාංශය වනජීවී නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. කෙසේ වෙතත් පුවත් වාර්තාව සඳහා මූලාශ්‍ර වී ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කවුරුන් ද යන්න හෝ මෙහෙයුම් නතර කරන ලෙසට වූ උපදෙස ලබා දී ඇති නිලධාරියා කවුරුන් ද යන්න මෙහි සඳහන් කර නොමැත. 

කෙසේ වෙතත් පසුගිය 04 වැනිදා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කර තිබුණේ, 2020 අනුමත කරන ලද අලි කළමනාකරණ වැඩපිළිවෙළ තුළ සීමිත මෙහෙයුම් කිරීම අනුමත කර ඇති බවත් මේ දිනවල සිදුවන්නේ, ඒ අකාරයේ සීමත මෙහෙයුක් බවත් ඉන් අපේක්ෂා කරන්නේ ගම්වැදී සිටින වන අලි වැටෙන් එපිටට යොමු කිරීම බවයි. පරිසර අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙතැනින් 

වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් නතර කළා ද? 

ඒ අනුව අප හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ගම්මානවලට තර්ජනයක්ව ඇති වන අලින් රක්ෂිත වෙත යොමු කිරීම සඳහා මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ කළ මෙහෙයුම් අත්හිටවූ බවට ප්‍රධාන ධාරාවේ අනෙකුත් මාධ්‍ය විසින්  වාර්තා කර තිබේ දැයි විමසා බැලී ය. කෙසේ  වෙතත් මෙහෙයුම් අත්හිටුවා ඇති බවට කිසිදු මාධ්‍යක් වාර්තා කර නොමැති අතර  Hiru News අද (ඔක්තෝබර් 06) දහවල් සහ රාත්‍රි 10  ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කර තිබුණේ, හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ගම්මානවලට කඩාවදින වන අලින් රක්ෂිත තුළට යොමු කිරීමේ මෙහයුම් අදත් ක්‍රියත්මක බවයි. තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙහෙයුම් 5 වනදිනටත් වල්සපුගල හා මදුනාගල ප්‍රදේශවලින් ආරම්භ වන බවත් අනුරාධපුර මෙහෙයුමේදී ගම්වැදී සිටි වන 11 දෙනාගෙන් 9 දෙනෙකුම මේ වනවිට රක්ෂිතය වෙත යොමු කර ඇති බවත් පුවත් වාර්තාවේ සඳහන් වුණා. වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් අදත් (ඔක්තෝබර් 06) ක්‍රියාත්මක බවට Swarnavahini News  වාර්තාව මෙතැනින්  

වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ නිරතව සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් 

මේ අතර වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සැක හැර දැන ගැනීම සඳහා අප හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය. 

ඒ අනුව හම්බන්තොට වාර්තාකරු සඳහන් කළේ,  ගම්මාන ආශ්‍රිතව සැරිසරන වන අලින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීමේ කටයුතු අද දිනයේත් සිදුවූ බවයි. පසුගිය දින කිහිපයේ සිට ගම්වාසීන්ගෙන්ද  මෙහෙයුම් කටයුතු සඳහා විශාල සහයක් හිමිවූ බව ද  ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර අනුරාධපුර මහ ඉලුප්පල්ලම ගම්මාන වෙත කඩාවදින වන අලින් රක්ෂිතයට යොමු කිරීමේ කටයුුතු ආවරණය කරන ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (නොවැම්බර් 05) වනවිටත් සාර්ථකව වන අලින් රක්ෂිතයට යොමු කර සිටි බවයි.  

කැකිරාව වන ජීවි කාර්යාලය 

මහඉලුප්පල්ලම ආශ්‍රිත ගම්මානවලට තර්ජනයක්ව ඇති වන අලින් රක්ෂිතය වෙත යොමු කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන්නේ දැයි,  කැකිරාව වන ජීවී කාර්යායාලයෙන් විමසීමක් සිදු කළ අතර එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට අලි විදුලි වැටෙන් ඇතුළත කොටසට යොමු කර සිටින බවත් වන අලින් විදුලි වැට කඩාගෙන යළි ගම්වදින්නේ දැයි, නිරීක්ෂණය සඳහා රැකවල් යොදා ඇති බවයි.  වන අලින් රක්ෂිතයට යොමු කිරීමේදී වන අලින්ට කිසිදු ආකාරයේ හිංසා කිරීමක් සිදු නොකරන බව ද ඔහු කියා සිටියා.  

වනජීවි අඩවි ආරක්ෂක – හම්බන්තොට කාර්යාලය 

මේ අතර හම්බන්තොට ගම්මාන ආශ්‍රිත මෙහෙයුම් තවදුරටත් සිදු වන්නේ ද යන්න පිළිබඳවත් අප විමසා බැලූ අතර එහි තොරතුරු දැන ගැනීම සඳහා හම්බන්තොට වන ජීවී කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක නිලධාරිවරයා සම්බන්ධ කර ගත්තේ ය.   අදාළ නිලධාරියා සඳහන් කළේ, අදත් (නොවැම්බර් 6) සමාන්‍ය පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ බව තහවුරු කළ වනජීවි අඩවි ආරක්ෂක  නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ, අද දිනයේ මෙහෙයුම පිළිබඳව මෙහෙයුමට සම්බන්ධවන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක වූ බවයි. 

ගම්මානවලට කඩා වදින වන අලින් කළමනාකරණය සඳහා ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය උපදෙස් සහිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවත් මේ සඳහා ගොවි සංවිධාන ගම්වාසීන්, රාජ්‍ය ආයතන සම්බන්ධ වී සිටින බවත් ඔහු සඳහන් කළා. අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, මෙහෙයුමේදී වන අලින්ට කිසිදු හානියක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන බවත් ගම්මාන දෙසට ඇතුළු වීමට ඉඩ නොදී  යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වෙතට යොමු කිරීම පමණක් සිදු කරන බවයි. 

පරිසර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

මේ අතර දිස්ත්‍රික්ක දෙකක ගම්මාන කිහිපයකට තර්ජනයක් වී ඇති වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම් වහාම නතර කරන ලෙස පරිසර අමාත්‍යවරයා හෝ නියෝගයක් නිකුත් කළේ දැයි, අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ලේකම්වරයා කියා සිටියේ අමාත්‍යවරයා එලෙස නියෝගයක් නිකුත් කර නොමැති බවයි. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) : අපගේ 

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, වන අලි එළවීමේ මෙහෙයුම් පරිසර අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර නොමැති බවත් හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ගම්මානවලට තර්ජනයක් වූ වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි. 

Avatar

Title:වන අලි එළවන මෙහෙයුම් නතර කරන්නැයි පරිසර අමාත්‍යාංශය නියෝග කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply