වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර 45 කටම බිහි කලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක් ද ?

False Health Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය 1980 සිට 2025 දක්වා වසර හතළිස් පහකදී ක්‍ෂේත්‍ර 44 කට බිහිකර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුට අඩු සංඛ්‍යාවක් බව එම ආයතනය මෑතකදී පාර්ලිමේන්තුවට ලබා දුන් වාර්තාවක සඳහන් වන බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර තිබුණා. අදාල පුවත සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර 45කටම බිහි කළේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනයිලු” යනුවෙන් සඳහන් කරමින් අදාල පුවත ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර තිබුණා.

Facebook | Archived Link

අදාළ පුවත පළවී තිබු පුවත්පත් වාර්තාව පහතින්.

Mawbima

සත්‍ය ලෙසම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් වසර 45කටම බිහි කළේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

ඒ අනුව අප විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM) මෑතකදී පාර්ලිමේන්තුවට ලබා දුන් 2024 වාර්ෂික වාර්තාව පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. 

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් වසර 45 තුළ සහතික කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 5,335ක්!

එම වාර්තාවේ පිටු අංක 47,48 සහ 49 හි අන්තර්ගත “Board certified medical specialist from 1980 to dec/2024” යන වගු අංක 05 හි දැක්වෙන ආකාරයට 1980- 2023 අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් සහතික කරන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ  සංඛ්‍යාව 5,041 ක්. 2024 වර්ෂයේදී පමණක් සහතික කරන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 294 ක් වනවා. 

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය විසින් මෙතෙක් සහතික කරන ලද මුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 5,335 ක් බව එහි පැහැදිලිව එක් එක් ක්ෂේත්‍රයෙන් බිහිවී ඇති විශේෂඥ වෛද්‍යවරුන් ගණන ද සහිත ද වගුගත කර තිබෙනවා. එම තොරතුරු පහතින්.

වසර 45 තුළ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක් බිහි කළා යන අදහස වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණක් වැරදි ලෙස අර්ථකතනය කිරීමෙන් ඇති වූවක්.

වෛද්‍ය විද්‍යා පශ්චත් උපාධි ආයතනය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණක් වැරදි ලෙස අර්ථකථනය කිරීමෙන් මෙම වැරදි අදහස ඇති වී තිබෙන බව පැහැදිලි වනවා. 

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවේ අවසන් පිටුවේ (135 වන පිටුව) දක්වා ඇති නොමන යවන සුළු ලෙස පළකර කරුණක වැරදි අර්ථකතනය ලබාගැනීම හේතුවෙන් මෙලෙස වසර 45 ක කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණක් බිහි කර ඇති ය යන අදහස ඇති වී තිබෙනවා. 

එහි සඳහන් නිවැරදි අදහස වන්නේ,

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය තුළ සමස්ත විෂය ක්ශේත්‍ර 106 ක් අතරින් ක්ශේත්‍ර 44 කට අදාලව පමණක් පසුගිය වසර 43ක කාලය (1980-2023) තුළ  විශේෂඥ වෛද්‍යවරුන් 10 ක් පමණක් බිහි වී ඇති බවයි.

ඒ අනුව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අදාළ කාලය තුළ බිහිවූ ඉතිරි විශේෂඥ වෛද්‍යවරුන් පන්දහසකට වැඩි ප්‍රමාණය බිහි වී තිබෙන්නේ විෂය ක්ෂේත්‍ර 62කිනි. (106-44)

එසේ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිපුරම බිහිවී ඇති ක්ෂේත්‍ර කිහිපයක් වන්නේ Community Medicine – ප්‍රජා වෛද්‍ය විද්‍යාව (324), General Medicine – සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව (627), Obstetrics & Gynaecology – නාරි සහ ප්‍රසව  (378), Paediatrics – General ළමා රෝග (387) යනාදිය බව ද වාර්තාව පරික්ෂා කිරීමේ දී පැහැදිලිය.

වෛද් විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM) 

PGIM වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී ද 1980-2025 කාලය තුළ මණ්ඩලය විසින් සහතික කරන ලද මුළු විශේෂඥ වෛද්‍යවරුන් 5335ක් බිහිවී ඇති බව පැහැදිලිවම දැක ගන්නට ලැබෙනවා. එම තොරතුරු සහ එක් එක් වසරවල දී ද බිහිවූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව එම වෙබ් අඩවියේ ප්‍රස්ථාරගත කර තිබු අයුරු පහතින්.

PGIM

මේ පිළිබඳව අප කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් (PGIM) සිදුකළ විමසීමේ දී ද සඳහන් කළේ පසුගිය වසර 45 තුළ විශේෂඥ වෛද්‍යවරුන් පන්දහසකට වැඩි ගණනක් බිහි වූ තොරතුරු අදාළ පුවත් වාර්තාවේ සඳහන් නොවී තිබු බවත්, නිල තොරතරු සිය නිල වෙබ් අඩවියේ පැහැදිලිවම ඉහත පරිදි දක්වා ඇති බවත්, ඒ පිළිබඳව නිල පැහැදිලි කිරීමක් ඉදිරියේ දී ලබාදෙන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM) විසින් 1980-2025 කාලය තුළ, එනම් පසුගිය වසර 45 කටම බිහිකර තිබෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණක් යන්න වැරදි සහගත තොරතුරක් වන බවයි.  PGIM ආයතනය මඟින් 1980 -2024 කාලය තුළ බිහිකර ඇති සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්  සංඛ්‍යාව 5,335 කි.

Avatar

Title:වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර 45 කටම බිහි කලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක් ද ?

Fact Check By: Pavithra Hansani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *