
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රටට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ ඇතැමුන් සත්‍ය පුවත්වල අන්තර්ගතයන් එලෙසම සමාජ මාධ්‍ය ඔස්සේ පළ නොකිරීම සහ නොමග යන සුළු ආකාරයෙන් පළ කිරීම හමුවේ එකී පුවත් වැරදි ආකාරයෙන් සමාජගත වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ආයෙ දකුණෙ උන් කොළඹ ඇවිත් ඉවරයි. බෙන්තර පාලමට බබා හම්බ වෙලා.’’ යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහන මගින් කියා පෑමට උත්සාහ කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කලගුණ තත්ත්වය හමුවේ බෙන්තර පාලම කැඩී ගොස් ඇති බවයි.

ඒ අනුව සත්‍ය ලෙසම බෙන්තර පාලමට හානියක් සිදුව තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
දිට්වා සුළි කුණාටුව නිසා තවදුරටත් ශ්‍රී ලංකාවට බලපෑම් ඇති වී තිබෙන වටපිටාවක් තුළ මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ජාලා පසුගිය දින කිහිපයේ සිටම සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩ වාර්තාකරණයක නිරත වෙමින් පොදු ජනතාව දැනුම්වත් කරමින් සිටී.
ඒ අනුව බස්නාහිර පළාත සහ දකුණු පළාත අතර මායිම ලෙස ක්‍රියා කරන බෙන්තර ගඟ හරහා ඉදි කර ඇති දැනට රථවාහන ධාවනය ඇතුළු ගමනාගමනය සඳහා භාවිත වන බෙන්තර පාලම බිඳී යාමකට ලක් වූයේ නම්, ඒ පිළිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබිය යුතු ය. කෙසේ වෙතත් මාධ්‍ය කිසිවක් එවැනි පුවතක් වාර්තා කර නොමැත.
කෙසේවෙතත් බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස පසුගිය 26 රාත්‍රියේ කඩා වැටී ඇති බවට ප්‍රධාන පෙළේ සියලුම මාධ්‍ය විසින් දර්ශන ද සහිතව මෙලෙස වාර්තා කර තිබුණා. ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යා කරන ප්‍රධාන ස්ථානයක් වන 1902 වසරේ ඉදි කරන ලද මෙම පාලම දැනට ගමනාගමනය සඳහා භාවිත නොකර වසාදාමා තිබිණ. පැරණි පාලම අබලන් වී තිබීම හමුවේ මීට වසර කිහිපයකට පෙර නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවක පැවති රජය කටයුතු කර තිබුණා. ඒ අනුව, බෙන්තර පැරණි පාලම පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එලෙස කඩා වැටී ඇති බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා. පැරණි පාලම කඩා වැටී ඇති ආකාරය දර්ශන ද සහිතව වාර්තා කර තිබූ ආකාරය මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
ප්‍රාදේශීය වාර්තාකරුවන්
මේ අතර බෙන්තර පාලමට හානි වී ඇති බව හැඟීයන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වීම හමුවේ මේ පිළිබඳව කරුණු තහවුරු කර දැනගැනීම සඳහා අප ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කර ගත්තා. ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩී ගොස් ඇත්තේ, පැරණි බෙන්තර පාලම මිස දැනට ගමනාගමනය සඳහා භාවිත කරන නව පාලම නොවන බව ඔවුන් ද අප හමුවේ තහවුරු කළා. දැනට භාවිතයට නොගන්නා මෙම පැරණි පාලම බොහෝ සංචාරකයින් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා බහුලව භාවිත කළ ස්ථානයක් බව ද ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය
මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයෙන් ද විමසීමක් සිදු කළ අතර එම ඒකකය පැවසුවේ, කඩා වැටීමකට ලක්ව ඇත්තේ, පැරණි පාලම බවයි. පාලම කඩා වැටීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද එම ඒකකය පැවසුවා.
Google Street view හරහා පරීක්ෂා කිරීමේදී ගමනාගමනය සඳහා යොදාගන්නා බෙන්තර පාලම සහ පසෙකින් ඇති පැරණි පාලම ද මෙලෙස දැකගත හැකි වුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වූයේ, සමාජ මාධ්‍ය සටහනේ සඳහ් පරිදි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩී ගොස් ඇත්තේ, දැනට ගමනාගමනය සඳහා භාවිත කරන බෙන්තර නව පාලම නොව 1902 වසරේ ඉදිකරන ලද දැනට වසා දමා තිබූ බෙන්තර පැරණි පාලමයි. ඒ අනුව කැඩී ගොස් ඇත්තේ කුමන පාලම ද යන්න පැහැදිලිව සඳහන් නොකිරීම හමුවේ ආදාළ සටහන සමාජය නොමගයවන සුළු ආකාරයේ සටහනක් බව සඳහන් කළ යුතු වේ.
Title:අයහපත් කාලගුණය හමුවේ, බෙන්තර පාලමටත් හානි සිදුවුණා ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


