දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලන චරිත මූලික කර ගත් සිදුවීම් නිරතුරුව සමාජමය කතිකාවත් නිර්මණය කරන අතර මේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල සම්බන්ධ රිය අනතුරක් හා අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමහර කතා තියෙනවා ඒවා කියපු කෙනා දැක්කම හිනා යනවා යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, රන්වල රියැදුරා බිල්ලට දී බේරෙන්න ක්‍රියා කරාවි යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. HiruNews නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමානව පළ කර ඇති මෙම ප්‍රකාශය හිටපු අමාත්‍යවරයා සිදු කරනු ලැබුවේ කවදා කොතැනකදී ද යන්න හෝ මීට අදාළ වැඩි විස්තර ද මෙහි නොමැත.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සත්‍ය ලෙසම මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි, අනුමාන කරමින් බෙහෝ පිරිසක් මීට ප්‍රතිචාර දක්වා ඇති ආකාරයක් සහ තවත් විශාල පිරිසක් මෙම සටහන හුවමාරු කර ගෙන තිබෙන ආකාරයක් ද දැකගත හැකි විය. ඒ අනුව මෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතා සම්බන්ධ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී රණවක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇතැයි, සටහන් සංසරණය වන්නේ, 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ද නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමකදී ය. පසුගිය නොවැමබර් 18 වනදා ද කැඳවා තිබූ අදාළ නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත. නඩුවට අදාළ තවත් පුවතක් මෙතැනින්
මේ අතර හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් සිදුකරන ලදැයි, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන හිරු පුවත් නිල ෆේස්බුක් ගිණුමේ පළ වූ සටහනක් ද යන්න පරීක්ෂා කර බැලුව ද එවැන්නක් එහි පළ වී නොතිබිණ. කෙසේ වෙතත් වෙනත් පිළිගත් මාධ්‍යක් හෝ හිටපු අමාත්‍ය පාඨලී චම්පික සිදුකළ බව කියන එවැනි ප්‍රකාශයක් සහිත පුවතක් පළ නොමැති බව අප සිදු කළ කරුණු පරීක්ෂාවේදී පැහැදිලි විය.
පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල නිර්වද්‍යතාව තවදුරටත් තහවුරු කර දැනගැනීම සඳහා අප පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් ද මේ පිළිබඳව විමසා සිටියා. එහිදී මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ, හිටපු අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් එය අසත්‍ය සටහනක් බවත් ය.
මන්ත්‍රී අසෝක රන්වල පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටී අනතුරක්
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී යතුරු පැදියක සහ පසුව මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පසුගිය 11 වනදා රාත්‍රීයේ අනතුරක් සිදුවුණා. අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු සහ බිළිඳෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර අනතුරින් පසු අසෝක රන්වල මහතා ද රෝහල්ගත වී තිබුණා. මේ අතර තුවාලකරුවන්ගේ ඥාතීන් චෝදනා කර තිබුණේ, මන්ත්‍රීවරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවටයි. කෙසේ වෙතත් 12 වැනිදා දහවල් අසෝක රන්වල මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ, රන්වල මහතා ඇප මත මුදාහැරීමටයි.
මේ අතර අශෝක රන්වල පැදවූ ජීප් රථෙයේ නිසි නඩත්තුවක් සිදු කර නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂාවකදී ආනාවරණය වී ඇති බවත් ඒ අනුව, වාහන අනතුරක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල වෙත එල්ල වී ඇති චෝදනාවලට අමතරව රථයේ තිරිංග පද්ධතියේ දෝශය සැකසීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ද ඔහුට විරුද්ධව නඩු පවරන බව පොලීසිය පවසා තිබුණා. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ, මන්ත්‍රීවරයාගේ රුධිර සම්පාල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් අදාළ වාර්තාව ලද විගස ඉදිරි නෛතික කටයුතු සිදුකරන බවත් ය.
මේ අතර අද (17) අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, රන්වල මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.
අනතුරින් පසු රෝහල්ගත කෙරුණු මන්ත්‍රීවරයා සහ තවත් අයෙක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටක් කියා සිටියේ, ලබන 19 වැනිදා මෙම අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.
රජයට සම්බන්ධ යම් පුද්ගලයෙකුගෙන් වරදක් සිදුව තිබෙන්නේ නම්, ඊට අදාළව කටයුතු කිරීමට නොපැකිළෙන බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අනතුරට අදාළව පොලිස් නිලධාරීන්ගේ පාර්ශවයෙන් රාජකාරී පැහර හැරීමක් වූවාද යන්න සම්බන්ධව මේ වනවිට විමර්ශනයක් සිදුවන බවයි. මෙම රිය අනුතරට අදාළව පොලිසියේ හැසිරීම ද මාධ්‍යවේදීන් කැබිනට් හමුවේදී ප්‍රශ්න කරනු ලබුවා. මේ අතර රන්වල මන්ත්‍රීවරයා තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස තබා ගන්නේ දැයි, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිසිවක් සාකච්ඡා නොකළ බවත් ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නම්, එය සිදුවන්නේ, පාර්ලිමේන්තු කණ්ඩායම හෝ පක්ෂය විසින් බවයි. ඒ සම්බන්ධ තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, අසෝක රංවල මහතාගේ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදු කළ බව කියමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහන ව්‍යාජ සටහනක් බවත් හිටපු අමාත්‍යවරයා ඊට අදාළව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. මේ අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රන්වල මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැත.
Title:මන්ත්‍රී රන්වලගේ රිය අනතුර ගැන හිටපු ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Sagarika ChathumaliResult: False


