විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට රජයේ සම්බන්ධයක් නැති බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශයක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රජයේ තීරණ සම්බන්ධයෙන් සහ රජයේ මැති ඇමතිවරුන් සිදු කරන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ඇති වී තිබෙන මෙම කාලවකවානුවේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවාරයා විසින් සිදු කරන ලද බව කියන ප්‍රකාශයක් පිළිබදව සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“විදුලි බිල වැඩි කිරීම පිළිබ්ඳ ඩෝබිලාට කරන ලද පැහැදිලි කිරීම” යනුවෙන් සඳහන් කරමින් සිරස ප්‍රවෘත්ති නාලිකාව වන News1st හි ආකෘතියෙන් යුතු පෝස්ටුවක් සහිතව සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණා.

මෙහි දැක්වෙන්නේ විදුලි බිල වැඩි කිරීම විදුලි බල මණ්ඩලයේ දැඩි වුවමනාව මත සිදු කරන ලද බවටත් එයට ආණ්ඩුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවටත්, ජනපති ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම එම තීරණයට විරුද්ධ බවට බලශක්ති අමාත්‍යවරයා පැවසු බවක්.

Facebook | Archived Link

සත්‍ය ලෙසම අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බව උපකල්පනය කරමින් බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් පල වී තිබූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Facebook Facebook FB FB

සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීම සදහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කලා

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

2026 වසරේ පළමු කාර්තුව සඳහා 11.57%කින් විදුලි ගාස්තුව වැඩි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.  මෙම යෝජනාවට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ නිසි ක්‍රියාපටිපාටි සහ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව මහජන උපයෝගිතා කොමිසම ද දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමකයි, ඉහත දැක්වූ පරිදි විදුලි බිල වැඩි කිරීම සිදුකරන්නේ විදුලි බල මණ්ඩලයේ වුවමනාව මත බවටත් එයට ආණ්ඩුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවටත්, බලශක්ති අමාත්‍යවරයා පැවසු බවට සටහන් හුවමාරු වන්නේ.

එහෙත් එවැනි ප්‍රකාශයක් බලශක්ති අමාත්‍යවරයා සිදුකළ බවට කිසිඳු මාධ්‍ය වාර්තාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා අප විසින් බලශක්ති අමාත්‍යය කුමාර ජයකොඩි මහතා ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් වන බවත්, තමා විසින් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත්, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ය.

බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ද සඳහන් කර සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.

News1st හි එවැනි සටහනක් පළකර තිබුනේ ද නැහැ

අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ගත වන සටහනේ පෝස්ටුවේ News 1st ෆේස්බුක් පිටුවේ පුවත් ආකෘතිය තිබුණ ද එවැනි කිසිඳු සටහනක් News 1st නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ නැහැ. එසේම අප විසින් සිදු කළ විමසීමේදී News1st Digital අංශය ද තහවුරු කළේ ඔවුන් මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යනු 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත මගින් ස්ථාපිත කරන ලද, සංස්ථාපිත මණ්ඩලයකි. බලශක්ති භාර අමාත්‍යවරයා විසින් පත් කරන ලද සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් එහි පාලනය සිදුවන අතර, ඔවුන් යටතේ සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමක් විසින් එදිනෙදා කළමනාකරණය සිදු කරනු ලැබේ.

2002 අංක 35 දරන PUCSL පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ස්ථාපිත කර ඇත්තේ, විදුලිබල අංශය සඳහා ස්වාධීන ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක නියාමකයා ලෙසයි. අමාත්‍යවරයා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ මෙහි පාලන කටයුතු සිදුවේ.

ඒ අනුව මෙම ආයතන දෙකෙහිම ප්‍රධානින් රජයේ පත්වීම් හරහා සිදුවන අතර, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනා බලාත්මක වීමට පෙර ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එය සමාලෝචනය කර අනුමත කළ යුතු වේ.

2026 සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි-මාර්තු) සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා. එම යෝජනාවලියෙන් රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තු 11.57%කින් ඉහළ දැමීමට ලංවිම යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනාවලට අනුව ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහළ දැමීමට නියමිතයි. මෙම යෝජනාවලිය දෙසැම්බර් 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති අතර, කොමිසම එය අධ්‍යයනය කර මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව සඳහන් කර තිබෙනවා.

ජනවාරි දෙවැනි සතියේ මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර, සති 06ක කාලයක් තුළ අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි. මෙම සංශෝධනය මගින් ලංවිම ආදායම රුපියල් බිලියන 13කට වැඩි මුදලකින් ඉහළ දැමීමට අපේක්ෂා කෙරෙන බවත්, එය ගෘහස්ථ, කර්මාන්ත සහ වෙනත් කාණ්ඩවල ගාස්තුවලට බලපාන බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලනික වශයෙන් දැඩි විරෝධතාද එල්ල වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලි බිල වැඩි කිරීම විදුලි බල මණ්ඩලයේ වුවමනාව මත සිදු කරන ලද බවටත්, එයට ආණ්ඩුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවටත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

Avatar

Title:විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලට රජයේ සම්බන්ධයක් නැති බවට බලශක්ති ඇමති ප්‍රකාශයක් කළා ද?

Fact Check By: Pavithra Hansani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *