6 ශ්‍රේණියේ මොඩියුලයේ සිදුවීම පිටුපස රනිල් පත් කළ නිලධාරීන් සිටින බවට CIDය අගමැතිනිය දැනුවත් කරලා ද? 

Education False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ, නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ පුවත මේ දිනවල රටේ වඩාත්ම අවධානය යොමුවී ඇති සිදුවීමයි. මෙකී සිදුවීම මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වන වටපිටාවක, එහි විමර්ශනයන්ට අදාළව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදුකළ ප්‍රකාශයක් බව කියමින් සමාජ මාධ්‍යයේ ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වුණා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූපයක් ද සහිතව පළකර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, පෙළ පොත්වලට සමලිංගික වෙබ් අඩවිවල මූලාශ්‍ර ඇතුලත් කිරීම පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරන ලද නිළධාරින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම්දී ඇති බවට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව තමන්ට වරද පටවන්න එපා යනුවෙන් එතුමිය පවසා ඇතැයි ද දැක්වෙන අදාළ සටහනක් පහතින්. 

Facebook | Archived Link

සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් අතරේ මෙය බෙදාගෙන ඇති අතර මෙය සත්‍ය ප්‍රකාශයක් බවට විශ්වාස කරමින් විශාල පිරිසක් අදහස් පළ කර ඇති ආකාරයක් ද මෙලෙස දැකගත හැකියි.  

ඊට සමානව පළ වී තිබූ තවත් සටහනක් කිහිපයක් පහතින්. 

Facebook| Archived Link             Facebook| Archived Link

මෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට මෙලෙස පියවර ගත්තා.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් සඳහන් වීමේ සිදුවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු තවත් පාර්ශව කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදු කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ, එකී පැමිණිලිවලට අදාළව විමර්ශන දියත්වෙමින් පවතින වටපිටාවක් තුළයි. 

ඒ අනුව රටේම අවධානය යොමුව ඇති එකී විමර්ශනවලට අදාළව මෙවැනි ප්‍රකාශයක් අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කර තිබේ නම්, එය ප්‍රධාන ධාරාවේ ඇතුළු සියලුම මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතු වුවත් අප සිදු කළ පරීක්ෂාවේදී කිසිදු මාධ්‍යයක් මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බව පැහැදිලි විය.  

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව අප අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමේදී මාධ්‍ය අංශය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය සටහනක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් ද සිදු කර නොමැති බවයි. තව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආග්‍රාමාත්‍යවරියට එලෙස තොරතුරු වාර්තා කිරීමක් සිදු කර නොමැති බව ද අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය කියා සිටියා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය

මේ අතර අප කළ විමසීමේදී පොලිසිය ප්‍රකාශ කළේ,  6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් සඳහන් වීමට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාළ අවසාන ප්‍රගතියට  මෙතෙක්  ලැබී නොමැති බවයි.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් සඳහන් වීමට අදාළව CID විමර්ෂණ අවසන් වී නැහැ

නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් එහි අඩංගු බව තහවුරු වීමෙන් පසු, අලුතින් මුද්‍රණය කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක් බෙදා හැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 30 වැනිදා නිවේදනය කර තිබුණා. 

මේ අතර 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට අදාළව නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ සිදුවීමට අදාළව පාර්ශ්ව කිහිපයක් පසුගිය 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදුකර තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළ අතර පසුව මාධ්‍යට අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ මෙය කිසියම් පාර්ශවයක කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව සැකයක් පවතින බවයි. 

අධ්‍යාපන අමාත්‍යාංශ සීමවෙන් ඔබ්බට ගිය වෙනත් පාර්ශවයක පෙළඹවීමක් , සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලන ලෙස අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව ද ලේකම්වරයා සඳහන් කළා. 

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් බොහෝ පිරිසක් අධ්‍යපාන බලධාරීන්ට චෝදනා එල්ල කරමින් පැවසුවේ, මෙම සිදුවීමේ සියලු වගකීම් අධ්‍යාපන බලධාරීන් භාර ගත යුතු බවයි.  

පසුගිය 4 වැනිදා රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රශ්නගත මොඩියුලය සම්බන්ධයෙන් දීර්ඝ අදහස් පළ කිරීමක් සිදු කළා. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මේ පිළිබඳ මූලික කරුණු විමසීමට ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවත්, ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය මට්ටමෙන් තවත් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. තව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවත් එහි නියෝග අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. 

6 ශ්‍රේණිය මොඩියුලයේ ප්‍රශ්නගත සිදුවීම කඩාකප්පාල්කාරී ක්‍රියාවක් දැයි එහිදී මාධ්‍යෙව්දීන් අග්‍රාමාත්‍යතුමිය විමසීමක් සිදු කල අතර  ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, ඒ පිළිබඳව දැනගැනීමට හැකිවන්නේ, සීඅයිඩී විමර්ශනය තුළින් බවයි.  ඒ  සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවමත් සිදුවෙමින් පවතින පසුබිමක ඒ පිළිබඳ නිගමනයක් ලබා දිය නොහැකි බවයි. 

“අපිට සැකයක් තියෙනවා මේක සිද්ධ වුණ විදිහ, ප්‍රතිසංස්කරණවලට විරුද්ධ අය එළියෙ සමාජගත කරන්න උත්සාහ කරපු යම් කතාවක් තියෙනවා. ඒකත් එක්ක ගැලපෙන විදිහට මේක සිද්ධ වුණ එක ගැන අපිට යම් සැකයක් පවතිනවා. ඒ නිසා තමයි අපි මේක CID යට භාර දුන්නේ, අපි හිතනවා CIDය නිවැරදි පරීක්ෂණයක් කරලා තොරතුරු ලබා දෙයි කියලා, එතකල් අපි මේක ගැන විවෘත මනසිකින් බලනවා’’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

තව ද එම මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, රජයේ, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතනවල එකම අරමුණ වුණේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා  දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම බවත් ඒ සඳහා වන ප්‍රතිසංස්කරණවල වෙනත් කිසිදු අරමුණක් ගැබ්වී නොමැති බවත් ය. 

මූලික පරික්ෂණ වාර්තාව, අධ්‍යාපන අමාත්‍යංශයට භාරදෙයි 

ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ පරික්ෂණ වාර්තාව පසුගිය 3 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබුණා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ,  පත් කරනු ලැබූ කමිටුවේ මූලික පරීක්ෂණ වාර්තාව මත පදනම්ව වැරැද්ද සිදු කළ අයට එරෙහිව නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී සිදුවනු ඇති බවයි.  

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, තවමත් මේ පිළිබඳ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කර නොමැති බවත්, එය ම අභ්‍යන්තරව සිදු වන පරීක්ෂණයක් බැවින් මූලික විමර්ශන වාර්තාවක් පමණක් බව ත්, සඳහන් කළා. මේ පිළිබඳව නිසි තොරතුරු ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය පසුගිය 1 වැනිදා තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වුණා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය):

අපගේ  කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත්වීමේ සිදුවීම පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරන ලද නිළධාරින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  අග්‍රාමාත්‍යවරියට දැනුම් දී ඇති බවට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇතැයි, කියමින් සංසරණය වන  සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය ඒවා බවයි. මෙකී විමර්ශනවලට අදාළව තොරතුරු කිසිවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත. 

Avatar

Title:6 ශ්‍රේණියේ මොඩියුලයේ සිදුවීම පිටුපස රනිල් පත් කළ නිලධාරීන් සිටින බවට CIDය අගමැතිනිය දැනුවත් කරලා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *