අතීත රජ දවස සීගිරි ගල මුදුනට පැමිණීමට යොදාගත් කර්කටක යන්ත්‍රයක් ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික වැදගත්කමකින් යුත් ජාත්‍යන්තර වශයෙන් පවා වැදගත්වන ස්ථාන හා බැඳුණු සිදුවීම් හා සම්බන්ධයෙන් පවා සමාජය නොමග යවන සුළු ආකාරයේ සඳහන් සහිතව දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා දැකගත හැකියි. මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය පිළිඹිබු කරන ලෝක ප්‍රසිද්ධ සීගිරිය සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රජවරුන් සීගිරි ගල මුදුනට පැමිණි කර්කටක යන්ත්‍රය සොයා ගනී යන සඳහන සහිතව මෙම වීඩියෝව පළ කර ඇති සමාජ මාධ්‍ය පරිශීලකයා පවසන්නේ, එදා රජවරු සීගිරි පර්වවතය මුදුවට පැමිණ ඇත්තේ, මෙම යන්ත්‍රය යොදා ගනිමින් බවයි.  සීගිරි ගලේ අනෙක් පසට වන්නට පිහියා ඇති මෙම කර්කටක යන්ත්‍රය මේ දක්වා කිසිවෙකු විසින් දැක නොමැති බවත්  ඔහු එම වීඩියෝව මගින්  පවසයි. 

Facebook 

ටික්ටෝක් ඔස්සේ ද එම වීඩියෝව බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම කෙටි වීඩියෝ සත්‍ය එකක් යැයි සිතමින් බොහෝ පිරිසක් එය ගිණුම් වෙත හුවමාරු කර ගෙන තිබූ අතර තවත් පිරිසක් මෙහි සත්‍යතාව මෙලෙස ප්‍රශ්න කර තිබුණා.

ඒ අනුව ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති මෙම වීඩියෝවේ නිර්වද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සීගිරිය යනු 5 වන සියවසයේ ඉදිකරන ලද බව සැලකෙන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති, ශ්‍රී ලංකා ඉතිහාසයේ අභිමානය ලෙව හමුවේ විදහා දක්වන, දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති විස්මිත නිර්මාණයකි.

කෙසේනමුත් සීගිරි පර්වවතය මුදුණට  රජවරුන් පැමිණි බව කියමින් ෆේස්බුක් වෙත මුදාහැර ඇති ඉහත වීඩියෝවේ පෙන්නුම් කරන යන්ත්‍රය එතරම් පැරණි යන්ත්‍රයක් නොව බව බැලූ බැල්මට ද පැහැදිලිව දැකගතහැකියි.  

තව ද සමාජ මාධ්‍ය පරිශීලකයා පවසන පරිදි රජවරුන් සීගිරි ගල මුදුනට පැමිණි කර්කටක යන්ත්‍රය හෝ එවැනි කිසියම් යන්ත්‍රයක් කොටස් හෝ සොයා ගැනීමක් සිදු වී තිබුනේ නම් , එවැනි පුවතක් පිළිගත් මාධ්‍ය ධාරා ඇතුළු බොහෝ මාධ්‍ය විසින් වාර්තා කළ යුතු ය. එහෙත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ සොයා ගැනීමක් සිදු කර ඇති බවට කිසිදු මාධ්‍යයක් වාර්තා කර නොමැත.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දැනට පාලනය වන සීගිරිය ව්‍යාපෘතිය භාර කළමනාකරු  

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝව සම්බන්ධයෙන් අප මාධ්‍ය සංස්කෘතික අරමුදලේ සිගිරිය ව්‍යාපෘති කළමනාකරුගෙන් සිදුකළ විමසීමේ දී සඳහන් කර සිටියේ එහි දැක්වෙන්නේ රජවරුන් සීගිරි ගල මුදුනට පැමිණි කර්කටක යන්ත්‍රයක් නොව, සීගිරි සංරක්ෂණ කටයුතුවලදී අවශ්‍ය කරන ගඩොල් යනාදී ද්‍රව්‍ය ඉහළට රැගෙන යාම සඳහා ඉදි කරන ලද සෝපානයක් බවයි.

ප්‍රාදේශීය වාර්තාකරුවන්

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව පිලිබඳ කරුණු තහවුරු කර ගැනීම සඳහා අප සීගිරිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. වාර්තාකරුවන් පැවසුවේ, වීඩියෝවේ දක්නට ඇති සෝපානය, කර්කටක යන්ත්‍රයක් ලෙස හඳුන්වා තිබීම සම්පූණයෙන්ම අසත්‍යයක් බවයි. කර්කටක යන්ත්‍රයක් පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වුවද ඒ පිළිබඳ නිත්‍ය වශයෙන්ම තහවුරු කරන සාධක හමුවී නොමැති බව ඔවුන් කියා සිටියා.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරා විද්‍යා දෙපාර්තමනේතුව එක්ව සිදුකරන සීගිරිය සංරක්ෂණ කටයුතුවලදී ඊට අවශ්‍ය කරන ගඩොල් ඇතුළු ද්‍රව්‍ය සීගිරිය දකුණු දොරටුවේ අලිගල නම් ස්ථානයේ ඉහළට ගෙන යාම සඳහා මීට වසර කිහිපයකට පෙර ඉදි කරන ලද සෝපානයක් අදාළ වීඩියෝවෙන් දැක්වෙන බවයි. මෙය මෝටරයකින් ක්‍රියාත්මක වන බවත් මෙම වීඩියෝවේ සෝපානයට අමතරව දැකගත හැක්කේ එම මෝටරය බවත් වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

කර්කටක යන්ත්‍රය පිළිබඳ ජනප්‍රවාද – නිල සාක්ෂි හමුවී නැහැ 

කාශ්‍යප රජතුමා සීිරිගි පර්වතය උඩට පහසුවෙන් යා හැකි ගමන් ක්‍රමයක් තිබී ඇති බවත් රජතුමාට ගමන් කිරීමට තිබූ එම යන්ත්‍රය කර්කටක යන්ත්‍රයක් විය හැකි බවත් බවටත් ඇතැම් බ්ලොග් වෙබ් වාර්තා සහ කෙටි වීඩියෝ පළකර තිබුණා. එසේ වීමට අනුමාන කරමින් කුඩා track පද්ධතියක් ගලේම කොටලා ඇති අයුරු ද ඔවුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත් මෙවැනි කරුණක් සනාථ කෙරෙන හෝ එලෙස යන්ත්‍රයක් යොදාගනිමින් රජවරු සිගිරිය ගල ඉහළට ගිය බව කියන යන්ත්‍රයක කොටස් මෙතෙක් සොයා ගෙන ඇති බවට කිසිදු වාර්තාවක නොමැති අතර ඒ පිලිබඳ අදහස් දක්වමින් පළවූ වීඩියෝවක් මෙතනින්. මේ පිළිබඳ පළ වී ඇති වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතනින් සහ මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘රජවරුන් සීගිරි ගල මුදුනට පැමිණි කර්කටක යන්ත්‍රය සොයා ගනී’ යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන වීඩියෝව නොමඟ යවන සුළු වීඩියෝවක් බවයි.එම දර්ශනයේ දැක්වෙන්නේ, සීගිරිය සංරක්ෂණ කටයුතුවලට අවශ්‍ය කරන ගඩොල් ඇතුළු ද්‍රව්‍ය ඉහළට රැගෙන යාම සඳහා මෑතක දී ඉදිකරන ලද සෝපානයකි.  

Avatar

Title:එදා රජවරුන් සීගිරි ගල මුදුනට පැමිණි කර්කටක යන්ත්‍රය ද මේ? 

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *