නිදහස් දින, නිදහස් චතුරශ්‍රයේ ඔසවපු බෞද්ධ කොඩිය ගලවලාද ? 

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් මෙරට 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පසුගිය පෙබරවාරි 04 වන දා පැවැත්වුණා. නිදහස් උත්සවය මුවාවෙන් නිදහස් චතුරස්‍රයේ ඔසවා තිබූ බෞද්ධ කොඩිය ගලවා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් පල වී තිබුණා. විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ලෝකෙම බෞද්ධ කොඩිය නිර්මාණය කරපු මේ රටේ නිදහස් දිනයේදී 2600වෙනි සම්බුධත්ව ජයන්තිය සිහි වෙන්න නිදහස් චතුරශ්‍රයේ ඔසවපු බෞද්ධ කොඩිය ගලවලා” -විමල් වීරවංශ-  යනුවෙන් සඳහන් කරමින් අදාල සටහන සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා.

Facebook | Archived Link

විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සිහි කිරීමට නිදහස් චතුරශ්‍රයේ ඔසවන ලද බෞද්ධ කොඩිය නිදහස් උත්සවය මුවාවෙන් ඉවත් කර ඇති බවත්, දින තුනක් ඇතුළත එය නැවත එසවීමට අවශ්‍ය බවටත් හිටපු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය මෙම සමාජ මාධ්‍ය සටහන් තුළ අන්තර්ගත වනවා. ඒ අනුව සැබෑ ලෙසම මෙම සිදුවීම කුමක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

2011 වසරේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ 08/2011 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ සියලුම රජයේ කාර්යාල, ආයතන හා ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කළ යුතු බව දක්වා තිබෙනවා. 2011 චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ සම්බුද්ධත්ව ජයන්ති සතිය (2011 මැයි 14 – 20) සඳහාය. ඉන් පසුව එම කොඩිය “ස්ථිරවම” (Permanently) එසවිය යුතු බවට වෙනත් ප්‍රසිද්ධ චක්‍රලේඛයක් නිකුත් වී නැතත් එයින් ඇරඹි සම්ප්‍රදාය අනුව නිදහස් චතුරශ්‍රයේ බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කිරීම ආරම්භ වී තිබෙනවා. 

නිදහස් චතුරශ්‍රයේ පැවැත්වුණු පසුගිය නිදහස් උත්සවය අවස්ථාවේ බෞද්ධ කොඩිය ඔසවා තිබුණේද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් නිදහස් දින සැමරුම් උත්සවයේ දර්ශන පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වූයේ බෞද්ධ කොඩිය නොව ජාතික ධජය එහිදී ඔසවා ඇති බවයි.

නමුත් පසුගිය ජනවාරි 29 වන දින නිදහස් චතුරස්‍ර පරිශයේ සිදු කරන ලද නිදහස් උත්සව දිනයට සමගාමීව සිදු කෙරුණු පෙර පුහුණු අවස්ථාවල, බෞද්ධ කොඩිය එහි දර්ශනය වන බව පෙර පුහුණු පිළිබඳ මාධ්‍ය වාර්තා කළ අවස්ථාවකදී දැක ගන්නට ලැබෙනවා.

Facebook

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය  විසින් නිදහස් උත්සව දිනට පසු දින එනම්, 2025.02.05 වන දින නිදහස් චතුරශ්‍රයේ බෞද්ධ කොඩිය ඔසවා ඇති ආකාරය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

2025 පසුගිය වසරේද, නිදහස් චතුරස්‍රයේ සැමරූ නිදහස් දින  ශ්‍රී ලංකා ධජය හෝ බෞද්ධ ධජය ඔසවා ඇති බව දැක ගන්නට නොලැබුණි එම වීඩියෝව මෙලෙසින්.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි 2021 වසරේ 73 වන ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සමරා තිබූ බැවින් අප එහි වීඩියෝ අවස්ථා ද, පරීක්ෂා කළ අතර එම නිදහස් දින සැමරුමේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජය ඔසවා ඇති බවට දැක ගන්නට ලැබුණා.

කෙසේ වෙතත් නිදහස් සැමරුම් දින බෞද්ධ ධජය ඔසවා නොතිබීම පිළිබඳ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමක් කළා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂක ආර්.එස්.ආර්. රණවක මහතා

අප විසින් සිදුකළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික උත්සවයකදී ජාතික ධජයට උපරිම ගෞරවය සහ ප්‍රමුඛතාවය ලබා දිය යුතු බැවින් ජාතික කොඩිය එසවීම සඳහා යොදා ගන්නා කණුව බෞද්ධ කොඩිය ඔසවන කණුවට වඩා පහත් මට්ටමක පිහිටා තිබීම නිසා, ජාතික ධජයට වඩා ඉහළින් වෙනත් ධජයක් දෘශ්‍යමාන වීම වැළැක්වීමට මෙම තාවකාලික ඉවත් කිරීම සිදු කර ඇති බවත්, නිදහස් උත්සවය අවසන් වීමෙන් පසු එදිනම ඉතා ඉක්මනින් බෞද්ධ කොඩිය නැවත එසවීමට කටයුතු කරන ලද බවත්ය. එය මේ වසරේ පමණක් සිදු වූ දෙයක් නොවන බවත් පසුගිය වසරේදීත් මෙලෙස නිදහස් උත්සව අවස්ථාවේදී තාවකාලිකව බෞද්ධ කොඩිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ 2011 වසරේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව සම්ප්‍රදායානුකූලව නිදහස් චතුරශ්‍රයේ ඔසවනු ලබන බෞද්ධ කොඩිය පසුගිය නිදහස් දින සැමරුම වෙනුවෙන් තාවකාලිකව ඉවත් කර එදිනම නැවත ඔසවා ඇති බවයි. ජාතික උත්සවයකදී ජාතික ධජයට උපරිම ගෞරවය සහ ප්‍රමුඛතාවය ලබා දිය යුතු බැවින් ජාතික කොඩිය එසවීම සඳහා යොදා ගන්නා කණුව බෞද්ධ කොඩිය ඔසවන කණුවට වඩා පහත් මට්ටමක පිහිටා තිබීම නිසා, ජාතික ධජයට වඩා ඉහළින් වෙනත් ධජයක් දෘශ්‍යමාන වීම වැළැක්වීමට මෙම තාවකාලික ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

Avatar

Title:නිදහස් දින නිදහස් චතුරශ්‍රයේ ඔසවපු බෞද්ධ කොඩිය ගලවලාද ? 

Fact Check By: Pavithra Hansani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *