දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ඊට අදාළව ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවම නියමවූ අරගලකරුවන් 12 දෙනාට ජනාධිපති සමාව දීම ගැන සලකා බලමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බවයි. Newshub ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතියට සමාන බැවින් බැලූබැල්මට මෙය ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටිවේ පළකරන ලද්දක් බවට හැඟී යයි.

Claim 2:
මරණ දඬුවම ලැබූ 12 දෙනා අතර මාලිමාවේ කිසිවෙකු නොමැති බවටත්, ජවිපෙ සහ පෙරටුගාමී පිරිස් පමණක් සිටින බවටත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසා ඇති බව කියමින් මෙම සටහන සංසරණය වන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ද ඡායාරූපයක් සහිතවයි. සටහන Newswire ආකෘතියට සමාන බැවින් බැලූ බැල්මට මෙම සටහන Newswire ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් බවට හැඟී යයි.

Claim :
සජබ හා එජාප හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකුත් මරණ දුඬුුුවම දුන් පිරිස අතර වන බවට සඳහන් කරමින් සටහනක් ද, හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන්වල නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Fact Check 1:
විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව ප්‍රමුඛ පෙළේ ඇතුළු සියලුම මාධ්‍ය විසින් වාර්තා කර තිබූ අතර රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ දර්ශන ද සහිතව අදාළ පුවත මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
ඊයේ (11) ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වූ අදාළ ඝාතනයේ මරණ දඬුවම නියම වූ වරදකරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සහිත සමාජ මාධ්‍යයේ දැක්වෙන ආකාරයේ සටහනක් Newshub.lk ෆේස්බුක් පිටුවේ හෝ වෙබ් අඩවියේ පළ කර නොමැති බව අප සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වුණා. තව ද ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නියම වූ පිරිසට ජනාධිපති සමාව දීමට සලකා බලන බවට ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, එය ද මාධ්‍යවල සිරස්තල සහිතව ප්‍රමුඛතම පුවතක් විය යුතු ය. එහෙත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් හෝ නඩු තීන්දුවට අදාළව කිසිදු ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්තා කර නොමැත.
ජනාධිපති මාධ්‍ය අංශය
සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සම්බන්ධව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන් කියා සිටියේ එම සටහන ව්‍යාජ සටහනක් බවයි. ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර කියා සිටියේ, ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
Fact Check 2:
මේ අතර හිටපු මන්ත්‍රී අමරකීර්ති සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවේ විත්තිකරුවන් සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිදුකළ බව කියන ප්‍රකාශයක් සහිත සටහනක් Newswire නිල ෆේස්බුක් පිටුවේ හෝ වෙබ් අඩවියේ දක්නට නොමැති බව අප කළ සොයා බැලීමේදී පැහැදිලි වූ අතර ඔවුන් සිය ආකෘතිය භාවිත කරමින් සංසරණය වන සටහන පිළිබඳව නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා. ඔවුන් පවසන්නේ, සිය ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතිය භාවිත කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍යක් බවත් නිල ෆේස්බුක් පිටුවේ එවැන්නක් පළ නොකළ බවත් ය.

වෙනත් මාධ්‍යක් ඔස්සේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් පළකර තිබුණේ දැයි විමසා බැලීමට අප කටයුතු කළ අතර වෙනත් කිසිදු මාධ්‍ය ධාරාවක හෝ එවැනි ප්‍රකාශයක් සහිත සටහනක් පළ කර නොතිබිණ.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව අප කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවත් තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ය. මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනේ අන්තර්ගතය හෝ සඳහන් කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

Fact Check 3:
අමරකීර්ති ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු සිටින බවට කිසිදු පිළිගත් මාධ්‍යක් විසින් තොරතුරු වාර්තා කර නොමැත. ඇතැම් මාධ්‍ය වාර්තාවල නඩු තීන්දුවෙන් වරදකරුවන් කෙරුණු පුද්ගලයින්ගේ නම් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබූ නමුත් එම කිසිදු වාර්තාවක හෝ ඔවුන් අතරින් දෙදෙනකු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්
බවට වාර්තා කර නොමැත. මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු, ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ රියැදුරන්, වෙළෙඳ ආයතන සේවකයන් ඇතුළු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් හිටපු මන්ත්‍රී අමරකීර්ති ඝාතනය සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි බවයි.
මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ගම්පහ අධිකරණ වාර්තාකරු සම්බන්ධ කර ගත් අතර ඔහු ද තහවුරු කර කියා සිටියේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හෝ දේශපාලනික වශයෙන් සුවිශේෂීත්වයක් සහිත පුද්ගලයින් කිසිවෙක් වරදකරුවන් අතර නොමැති
බවයි.
මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයෙන් අප විමසීමක් සිදු කළ අතර එහි මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, සිය පක්ෂය නියෝජනය කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මරණ දඬුවම හිමිවූ වරදකරුවන් අතර නොමැති බවයි.
හිටපු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ වරදකරුවන් 12කට මරණ දඬුවම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ සිදුවීමේ නඩුවේ විත්තිකරුවන් 41 දෙනා අතරින් 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (11) මරණ දඬුවම් නියම කළා. වරදකරුවන් වූ තවත් සිව් දෙනෙකුට අවුරුදු 5කට අත්හිටවනු ලැබූ මාස 6 බැගින් සිරදඬුම් නියම කළ අතර විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. බෙදුණු තීන්දුවක් ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අතර සභාපති විනුසුරු සහන මාපා බණ්ඩාර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා සිටියේ, විත්තිකරුවන් 39 දෙනා නිදොස්කොට නිදහස් කරන බවයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවන් වන රසන්ත ගොඩවෙල සහ රශ්මි සිංගප්පුලි යන විනිසුරුවන් දෙදෙනා විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කර සෙසු විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම නඩුවේ විත්තිකරුවන් අතරින් දෙදෙනකු නඩු විභාගය අතරතුර කාලයේ මියගොස් තිබූ අතර තවත් විත්තිකරුවන් දෙදෙනකු අධිකරණය මගහැර සිට තිබුණා.
2022 වසරේ ගාලුමුවදොර අරගලය පැවති සමයේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා අරගලියගහ මන්දිරයේ සිට පොළොන්නරුව බලා යමින් සිටියදී නිට්ටඹුව නගරයේ විරෝධතාවල නිරත පිරිසකගේ ප්‍රහාරයට ලක් වුණා. මෙම පහර දීම්වලින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරිවරයා ජීවිතක්ෂයට පත්වුණා. මීට අදාළව වැඩිවිස්තර මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වූ අරගලකරුවන් 12 දෙනාට ජනාධිපති සමාව දීම ගැන සලකා බලමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
මේ අතර නියෝජ්‍ය අමත්‍ය චතුරංග අබේසිංහ මහතා ද සමාජ මාධ්‍ය සංසරණය වන ආකාරයට මරණ දඬුවම ලැබූ 12 දෙනා අතර මාලිමාවේ කිසිවෙකු නොමැති බවටත්, ජවිපෙ සහ පෙරටුගාමී පිරිස් පමණක් සිටින බවටත් වන ප්‍රකාශයක් සිදු කර නොමැත.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් දෙකම පුවත් වෙබ් අඩවි දෙකක නිල සමාජ මාධ්‍ය සටහන් ආකෘති ව්‍යාජ ලෙස යොදා ගනිමින් සමාජය නොමග යැවීමේ අරමුණින් සකසන ලද අසත්‍ය සටහන් වේ.
Title:අමරකීර්ති ඝාතනයේ වරදකරුවන් ගැන ජනපති සහ නි. ඇමති චතුරංග ප්‍රකාශ සිදු කර නැහැ
Fact Check By: Sagarika ChathumaliResult: False


