දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් පිරිස් යම් සිදුවීමක සුළු කොටසක් හෝ ඡායාරූපයක් හෝ දෙකක් පමණක් යොදාගනිමින්, විවිධ නිගමනයන්ට එළැඹ, ඒවා සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා බහුලව භාවිත කරනු ලබයි. මේ එලෙසින්, ජනපති අනුරගේ යාපනය ගමනේ දී දකින්නට ලැබුණු ඡායාරූප කිහිපයකට වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් ඒවා සමාජගත කිරීමක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරේ සංචාරය සඳහා අලුත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගෙන ඇති බව කියමින් ඡායාරූප කිහිපයක් ද සහිතව මෙම සටහන පළ කර තිබේ.
ජනාධිපතිවරයා ආරක්ෂක රැකවල් මැද සුදු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයකින් ගොස් කෝවිලක් අසලින් බසින අයුරු දැක්වෙන ඡායාරූප දෙකක් සහ අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය සහිත තොරතුරු ද සහිතව මෙම සටහන පළ කර ඇත්තේ, පහත දැක්වෙන උපහාසය දනවන සුළු සටහන ද සහිතවයි.
“අලුත්ම බඩු… අපේ ජනාධිපතිට ඇවිත් තියෙන්නෙ… මේවයෙ ගිහින් තමයි බෞද්ධයන්ට සිල් ගන්න තහනම් කරේ… කවුරුහරි දීපු එකක් වෙන්න ඇති. අපේ බදු සල්ලිවලින් ගත්තා වෙන්න බෑ. ජනාධිපතිතුමාගේ සපත්තු දෙකේ ඉඳලා හැමෝම දෙන ඒවානේ තියෙන්නේ… ගැම්මක් තමයි ඉතිං
කලින් ජනාධිපතිලා පස්ස තියපු ඒවයෙ පස්ස තියන්න බැරි නිසා අලුතෙන්ම එකක් ගෙනාවා කියලා කවුරුහරි කියාගෙන ආවොත් දෙන්නේ වම් පයින් මුන් කැවුම් විසිවෙන්න…… ඉණට වැරහැලි… කුසට සාගිනි. “

එම අදහසින්ම ජනපතිගේ භාවිතය සඳහා 2024 වසරේ නිෂ්පාදිත නව මෝටර් රථයක් ලබාගෙන ඇති බව හඟවමින් පහත පරිදි තවත් සටහන් පෙළක් ම හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

ඇතැම් වෙබ් පුවත් වාර්තා වල ද මෙම වාහනයේ ඡායාරූප සමඟ වාර්තා කර තිබුනේ “ජනාධිපතිවරයා යාපනය සංචාරයේදී අලුතින්ම ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ රථයකින් ගමන් කරන අයුරු” යනුවෙනි.

සැලකිය යුතු පිරිසක් අතරේ හුවමාරු වී තිබූ මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මාධ්‍ය හරහා සංසරණය වන සටහනේ ඇති ඡායාරූපවල ජනාධිපතිවරයා පැහැදිලිව දැකගත හැකි අතර ජනපතිගේ උතුරේ සංචාරය සිදුවූ දිනවලට සමගාමිව හුවමාරු වී තිබුණා. ඒ අනුව අප ජනාධිපතිවරයා පසුගිය ජනවාරී මාසයේදී යාපනයේ සිදු කළ සංචාරය වෙත අවධානය යොමු කළා.
කෙසේ වෙතත් යාපනය සංචාරය අතරතුරදී සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ මෝටර් රථයකින් ජනාධිපතිවරයා ගමන් කළේ ද යන්න පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කර බැලුව ද එවැනි දර්ශන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇති බවක් දැකගත නොහැක.
ඒ අනුව අප මේ පිළිබඳව අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට පියවර ගත්තා.
ජනාධිපති මාධ්‍ය අංශය
සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපවල නිර්වද්‍යතාව පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, ජනවාරි 16 වැනිදා ජනාධිපතිවරයා නාගදීප විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසා, ඉන් අනතුරුව, දූපතේ ම පිහිටා ඇති කෝවිලේ ආගමිකවතාවත් සඳහා පිටත්ව ගිය බවයි.
එහිදී ජනාධිපතිවරයා කෝවිල වෙත පිටත්ව ගියේ නාගදීප විහාරධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන්ගේ රථයෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළා.
මේ අතර ජනාධිපතිවරයා නාගදීප විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසා සිටි ආකාරය ඡායාරූප ද සහිතව ජනාධිපති මාධ්‍ය අංශය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමි
මේ අතර අප කළ විමසීමකදී නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් පැවසුවේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඡායාරූපවල දැක්වෙන රථය තමන්ගේ පෞද්ගලික රථය බවයි. උන්වහන්සේ ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාගදීප විහාරස්ථානයට පැමිණි පසුව කෝවිලට පිටත්ව යාම සඳහා තමන්ගේ පෞද්ගලික රථය ලබාදුන් බවයි.
මේ අතර වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට මුදා හරිමින් නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් පවසන්නේ, තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයෙකු බවත්, එහෙත් ඇත්ත කතාකරන බවත්, ජනපති අනුරගේ නාගදීප ගමනේ දී යොදාගත් වාහනය ගැන ව්‍යාජ අර්ථකතනයන් සමාජ මාධ්‍ය ඔස්සේ ලබාදී ඇති බවයි.
ජනවරි 16 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතා, නාගදීප විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතව සිය සුවදුක් විමසා කෝවිලට පිටත්ව ගිය බවත්, එම අවස්ථාවේ ජනාධිපතිවරයාට කෝවිලට පිටත්ව යාම සඳහා තමන්ගේ පෞද්ගලික රථය ලබාදුන් බව පවසන එම වීඩියෝව පහතින්.
https://www.facebook.com/reel/860140813471956
ජනාධිපතිවරයා නාගදීප විහාරස්ථානයේ සහ නාගපූෂණී අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරතවන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ඔස්සේ පළකර තිබුණා.
ඡායාරූපවල දැක්වෙන රථය නාගදීප විහාරාධිපති හිමිගේ බවට තහවුරු වන සාධක
ජනාධිපතිවරයාගේ අලුත්ම රථය බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල දැක්වෙන රථය නාගදීප විහාරාධිපති හිමියන්ගේ නාගදීප විහාරාධිපති හිමියන්ගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදීද තහවුරු වේ. ජනවාරි 22 වනදා විහාරධිපති හිමියන්ගේ සිය රථය අසල පෙනී සිටින ඡායාරූපයක් මෙලෙස ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණා.

මතභේදයට තුඩු දී ඇති යාපනය තිස්ස විහාරයේ ඉදිකිරීම නිරීක්ෂණයට ගිය අවස්ථාව දැක්වෙන පහත ඡායාරූප නිරීක්ෂණයේදී ද සමාජ මාධ්‍ය සටහන්වල සටහන්වල සංසරණය වන සුඛෝපපෝභී රථය නාගදීප විහාරාධිපතිගේ බවට තහවුරු වේ. මාධ්‍යවේදීයෙකු විසින් පසුගිය 02 වැනිදා සිය X ගිණුමේ එම ඡායාරූප පළ කර තිබුණා.


ජනවාරි 16 වැනිදා ඡායාරූපය ජනවාරි 02 වැනිදා ඡායාරූපය
තිස්ස විහාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා නාගදීප විහාරාධිපති හිමියන් ජනවාරි 02 වැනිදා අදාළ රථයෙන් ගොස් තිස්ස විහාරයට ගොස් තිබූ මාධ්‍ය වාර්තා නිරීක්ෂණයේදී ද මෙලෙස තවදුරටත් තහවුරු වේ.
ප්‍රාදේශීය වාර්තාකරුවන්
අප සිදු කළ විමසීමකදී අප යාපනය වාර්තාකරු ද ප්‍රකාශ කළේ, නාගදීප විහාරයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විහාරාධිපති හිමිගේ පෞද්ගලික රථයෙන් ජනාධිපතිවරයා නාගපූෂණී අම්මාන් කෝවිලට පිටත්ව ගිය බවයි.
මේ අතර නාගදීප පුරාණ රජමහා විහාරාධිපතිට අයත් මෝටර් රථයේ “නාගදීප විහාරාධිපති” යනුවෙන් තිබූ පුවරුව සංස්කරණය කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම යොදාගනිමින් පළවූ උපහාසාත්මක සටහන් පෙළක් පිළිබඳව 2021 වසරේ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් සිදුකළ අතර එහි ලිපිය මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා උතුරේ සංචාරය සඳහා අලුතින්ම ආනයනය කරන ලද සුඛෝපභෝගී රථයක් භාවිත කර ඇති බවට වන සටහන් නොමඟ යවන සුළු බවයි.
උතුරේ සංචරය අතරතුර, ජනාධිපතිවරයා නාගදීප විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවී, විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසා, එම දූපතේම පිහිටි කෝවිල වෙත යෑමට භාවිත කර ඇත්තේ, නාගදීප විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික රථය වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, ජනාධිපතිවරයා එම රථයෙන් ගොස් කෝවිල අසල බසින අයුරු දැක්වෙන ඡායාරූපයකි.
Title:ජනාධිපතිවරයා උතුරේ සංචාරය කළේ, අලුත්ම සුඛෝපභෝගී රථයකින් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


