දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජෙෆ්රි එප්ස්ටීන් ගොනු වලට අනුව සැබෑ ජෝ බයිඩන් මිය ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ අතර ඒ පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“එප්ස්ටයින් ෆයිල්ස් වලට අනුව සැබෑ ජෝ බයිඩන් මිය ගොස් ඇත. ඔවුන් වචනාර්ථයෙන් කතා කරන්නේ 2019 දී ජෝ බයිඩන් වෙඩි තබා ඝාතනය කර වෙස් මුහුණක් පැළඳ සිටි ශරීර ද්විත්වයක් ආදේශ කිරීම ගැන ය.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා.

2019 වසරේදී ජෝ බයිඩන් වෙඩි තබා ඝාතනය කර ඇති බවටත් ඔහු වෙනුවට වෙස් මුහුණක් සහිත ශරීර ද්විත්වයක් ආදේශයක් භාවිතා කරන බවත් එප්ස්ටීන්ගේ ලේඛන දත්ත ගබඩාව තුළ අන්තර්ගත වන බවට මෙම සටහන තුළ දක්වයි. මෙම සටහන මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය වේදිකාවන් තුළද ප්‍රචාරය වී ඇති අතර මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ කුප්‍රකට මූල්‍යකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ තුළින් එක්සත් ජනපද රජය විසින් නව ලිපිගොනු මිලියන ගණනක් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව, දැනට මිය ගොස් සිටින ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා ඇති ලෝකයේ අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන් පිරිසගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී තිබෙනවා.
“එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හඳුන්වන ලද මෙම ලේඛන නිකුතුවේ නවතම නිකුත් කිරීම පසුගිය ජනවාරි 30 වන දින සිදුවූ අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් සහ රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඇතුළත්.
CBS news, forbes වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින්, ප්‍රසිද්ධියට පත් වූ මෙම ලේඛන පිළිබඳව වාර්තා කර ඇති අතර, ජෝ බයිඩන් සම්බන්ධයෙන් එම වාර්තාවන් හරහා කිසිදු සටහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
Digital Democracy Institute of America ආයතනය විසින් ද ජෝ බයිඩන් සම්බන්ධයෙන් එප්ස්ටයින් ලේඛනවල දක්වා ඇති බවට අසත්‍ය ප්‍රකාශ සංසරණය වන බවට සටහනක් පල කර තිබෙන්නේ මෙලෙසින්.
අප විසින් ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එප්ස්ටීන්ගේ ලේඛන දත්ත ගබඩාව තුළ “Joe Biden Death”, “Joe biden body double or clone” යන වචන ඔස්සේ පරීක්ෂා කළත් ජෝ බයිඩන් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් එම ලේඛන ඔස්සේ හමු වුණේ නැහැ. එම ලිපි ගොනු සඳහා පිවිසීම මෙතනින්.

නමුත්, අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද එප්ස්ටින්ගේ EFTA00173266 අංක දරන වාර්තාවේ (මේ වන විට ඉවත් කර ඇති) ජෝ බයිඩ්න් 2019 මිය ගොස් ඇති බවට හා ඔහුගේ රුවට සමාන ප්‍රතිනිර්මාණයක් සිදු කර ඇති බවට සඳහන් කර තිබූ විද්‍යුත් ලිපියක් දැක ගැනීමට හැකි වුණේ මෙලෙසින්.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ Truth Social ගිණුමෙහි පදනම් විරහිත කුමන්ත්‍රණ න්‍යායක් වන හිටපු ජනාධිපති ජෝ බයිඩන් 2019 දී මරා දමන ලද බවත්, ඔහු වෙනුවට රොබෝ ක්ලෝන ආදේශ කරන ලද බවත් සටහන් කර තිබුණා. ට්‍රම්ප් වසර ගණනාවක් පුරා වැරදි තොරතුරු සහ ඔප්පු නොකළ කුමන්ත්‍රණ න්‍යායන් බෙදා ගැනීමට නිතර යොමු වී ඇති බව ත්, මේ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
2019 වසරේදී ජෝ බයිඩන් මිය ගිය බවට හෝ මේ වන විට පවතින්නේ ඔහුගේ ක්ලෝනයක් බවට කිසිඳු සාක්ෂියක් නොමැත
ඇමරිකානු ජනාධිපතිවරයෙකු වසරකට වරක් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු අතර එම වාර්තා ප්‍රසිද්ධ ලේඛන වේ. ඒ අනුව වයිට් හවුස් හි 2024 වසරේදී බයිඩන් ජනාධිපතිවරයාගේ වෛද්‍ය කෙවින් ඕ’කොනර් විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ඔහු රාජකාරි සඳහා සුදුසු මට්ටමක පසුවන බව තහවුරු කර ඇත. ක්ලෝනයක් හෝ වෙනත් අයෙකු නම් මෙවැනි වෛද්‍ය වාර්තාවලදී ජානමය වෙනස්කම් හසු නොවී සිටිය නොහැක. එම සම්පූර්ණ වෛද්‍ය වාර්තාව මෙතනින්.
2019 සිට 2024 දක්වා ජෝ බයිඩන්ගේ මුහුණේ රැළි, සමේ පැහැය සහ ඇවිදීමේ විලාසය වයසට යෑමත් සමඟ සිදුවන ස්වභාවික ලක්ෂණ පෙන්නුම් කරන අතර, ක්ලෝනයක් හෝ වෙස් මුහුණක මෙම ස්වභාවික පිහිටීම මෙතරම් තාත්විකව පෙන්විය නොහැක.
ක්ලෝණකරණ තාක්ෂණයේ සීමාවන්
විද්‍යාත්මකව බලන කල සත්ත්ව ක්ලෝනකරණය සිදු කළ හැකි වුවත්, මිනිස් ක්ලෝනයකදී මියගිය පුද්ගලයකුගේ වයසට සමාන වැඩිහිටි පුද්ගලයෙකුගේ රුවක් ප්‍රතිනිර්මාණය ක්ෂණිකව සිදු කළ නොහැක්කකි.
2019 දී බයිඩන් මියගියේ නම්, 2019 දී නිර්මාණය කරන බයිඩන් ක්ලෝනයට වයස අවුරුදු 80ක් වීමට තවත් වසර 80ක් ගත විය යුතුය. ක්ෂණිකව වැඩිහිටි ක්ලෝන නිර්මාණය කිරීමේ තාක්ෂණයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැත. ඒ පිළිබඳව Scientific American මගින් සිදු කරන ලද පර්‍යේෂණය මෙතනින්
එසේම ජෝ බයිඩන් ජනතාව සහ මාධ්‍ය ඉදිරියේ සජීවීව කතා කරමින් අදහස් දක්වමින් සක්‍රීය දේශපාලනයේ නිරත වන අතර මෙලෙස දහස් ගණනක් මැද සැබෑ මිනිසකු ලෙස ප්‍රතික්‍රියා දැක්විය හැකි තාක්ෂණයක් සහිත සජීවී ක්ලෝන රූපයක් නිර්මාණය කිරීමට තරම් තාක්ෂණයක් තවමත් ලෝකයේ සොයාගෙන නොමැති බව පර්‍යේෂණ මගින් සනාත වේ. එසේම ක්ලෝනකරණය මගින් ලබාගත හැක්කේ පුද්ගලයාගේ ජානමය ව්‍යුහය (DNA) පමණක් වන අතර එම පුද්ගලයාගේ මතකය, දැනුම, අත්දැකීම් හෝ කතා කරන විලාසය ජාන හරහා මාරු නොවේ. ඒ අනුව බයිඩන්ගේ ක්ලෝනයකට ඔහුගේ දේශපාලන දැනුම හෝ අතීත මතකයන් ස්වභාවිකව නොපිහිටන බව සනාත වේ.
එසේම මිනිස් ක්ලෝනකරණය ලොව පුරා රටවල් 70 කට අධික සංඛ්‍යාවක සදාචාරාත්මක සහ නීතිමය හේතූන් මත තහනම් කර ඇති අතර එවැනි රහසිගත ව්‍යාපෘතියක් වසර ගණනාවක් තිස්සේ ලෝකයාගෙන් වසන් කර පවත්වාගෙන යාම විද්‍යාත්මක ප්‍රජාව තුළ කළ නොහැකි දෙයක් ලෙස සැලකේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Title:එප්ස්ටයින් ගොනු වල ජෝ බයිඩන් මියගිය බවට සඳහන් වනවාද ?
Fact Check By: Pavithra HansaniResult: Insight


