මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට Gen Zපරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු වෙලා ද ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩුවී ඇති බවත් ඇමෙරිකානු පර්යේෂණයකින් ඒ පිළිබඳව හෙලි වී ඇති බව සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා විසින් ඒ පිළිබඳව ප්‍රකාශ කළ බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා. මේ ඒ පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩුවේ..!අමෙරිකානු පර්යේෂණයකින් හෙළිවෙයි” යනුවෙන් සඳහන් කරමින් අදාල සටහන සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා.

Facebook | Archived Link Lankaleader

ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මේ අයුරින්.

Facebook Facebook Facebook Facebook

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :  

මූලිකවම නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා විසින් මෙම අදහස් දැක්වීම සිදු කර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එහිදී අදාල කරුණ සම්බන්ධයෙන් ඊට අදාලව ඔහු විසින් සමාජ මාධ්‍ය තුළ සටහන් රැසක් හුවමාරු කර ගෙන ඇති ආකාරය දැකගත හැකි වුණා. මේ සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කර ඇති අදහස් දැක්වීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද විකාශය කර තිබූ අතර එම මාධ්‍ය සටහන් ද ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණා. 

ඒ අනුව අප විසින් මෙහි විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් පර්‍යේෂණ ඔස්සේ සොයා බැලීමක් සිදු කළා. 2026 ජනවාරි 15 වන දින ස්නායු විද්‍යාඥ ආචාර්ය ජැරඩ් කූනි හෝර්වාත් (Dr. Jared Cooney Horvath) විසින් එක්සත් ජනපද සෙනෙට් කමිටුව (Senate Committee on Commerce, Science, and Transportation) හමුවේ “Plugged Out: Examining the Impact of Technology on America’s Youth” නම් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා දරුවන්ගේ මොළය තොරතුරු ග්‍රහණය කරගන්නේ ඉතා මතුපිටින් (Skimming) වන බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස සංකීර්ණ ගැටලුවක් දෙස බලා තර්කානුකූලව විසඳුමක් සෙවීමේ හැකියාව අඩුවී ඇති බවත් එහි දැක්වෙනවා. එසේම තාක්ෂණය මගින් සියලු දේ ක්ෂණිකව ලැබීම නිසා ඉවසීමෙන් යුතුව තර්ක කිරීම (Cognitive Endurance) අහිමි වන බව ඔහු පෙන්වා දී තිබෙනවා. ඔහු සෙනට් කමිටුවට ඉදිරිපත් කළ සම්පූර්ණ ලිඛිත වාර්තාව මෙතැනින්.

ආචාර්ය හෝර්වාත් සිය වාර්තාවේ පෙන්වා දෙන්නේ මෙම බුද්ධිමය පසුබෑම සිදුවෙමින් පවතින්නේ සංවර්ධිත ලෝකයේ බවයි.

දරුවන්ගේ සංජානන වර්ධනය එකතැන පල්වීම සහ පසුපසට ගමන් කිරීම සිදුවන්නේ  සංවර්ධිත ලෝකය (Developed world) පුරා බව ඔහු වාර්තාව ආරම්භයේදීම පෙන්වා දෙන අතර 20 වැනි සියවසේ පැවති බුද්ධිමය වර්ධනයේ ප්‍රවණතාව 2000 දශකයේ මැද භාගයේ සිට වෙනස් වී ඇත්තේ බටහිර ජාතීන් (Western nations) තුළ බව ඔහු විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. වැඩි වශයෙන් ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපනයට මුසු කර ඇත්තේ දියුණු රටවල පාසල් පද්ධති තුළ බැවින්, එම රටවල දරුවන්ගේ සාක්ෂරතාව, ගණිතමය හැකියාව සහ ගැඹුරු තර්කනය මෙලෙස පහත වැටී ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

Flynn Effect (ෆ්ලින් ආචරණය)

ආචාර්ය ජැරඩ් කූනි සිය වාර්තාවේ Negative Flynn Effect ගැන පැහැදිලිවම සඳහන් කර ඇති අතර 1800 දශකයේ අගභාගයේ සිට වසර 100 කට අධික කාලයක් සෑම නව පරම්පරාවක්ම පෙර පරම්පරාවට වඩා IQ මට්ටමින් ඉදිරියෙන් සිටි නමුත්, Gen Z යනු තම දෙමාපියන්ට වඩා අඩු බුද්ධි මට්ටමක් (IQ) වාර්තා කළ ප්‍රථම පරම්පරාව බව ඔහු පෙන්වා දෙනවා.

නෝර්වේ හි Ragnar Frisch Centre විසින් 2018 දී ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයට අනුව නෝර්වේ තරුණයන් 730,000 කගේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ 1975 න් පසු උපන් අයගේ IQ අගය පෙර පරම්පරාවලට වඩා පැහැදිලිව පහත වැටී ඇති බවයි. මෙය ජානමය ප්‍රශ්නයක් නොව පාරිසරික තාක්ෂණය, ආහාර, අධ්‍යාපන ක්‍රම ආදිය හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් බව ඔවුන් තහවුරු කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ආචාර්ය ජැරඩ් කූනි සිය වාර්තාවේ PISA (Programme for International Student Assessment) වාර්තාව එනම් ලොව පුරා රටවල් 80 කට අධික සංඛ්‍යාවක වයස අවුරුදු 15 දක්වා දරුවන්ගේ දක්ෂතා මනින පරීක්ෂණයේ 2022 ප්‍රතිඵල මගින් බරපතල පසුබෑමක් පෙන්නුම් කරයි.

2026 පෙබරවාරි 7 “Times of India” සහ “The Guardian” පුවත්පත වාර්තා කර ඇත්තේ බටහිර රටවල බොහෝ මහාචාර්යවරුන් තම සිසුන්ට පැවරුම් ලෙස ලබා දෙන පොත් කියවීමේ ප්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇති බවයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ වත්මන් සිසුන්ට පිටු 200-300 ක පොතක් කියවා අවබෝධ කරගැනීමේ අවධානය (Attention span) නොමැති වීමයි. ඔවුන් කෙටි ලිපි හෝ වීඩියෝ මගින් තොරතුරු සෙවීමට හුරු වී තිබීම ඊට හේතුව ලෙස දක්වා ඇත. 

දියුණු රටවල IQ මට්ටම පහත වැටීම හෙවත් Reverse Flynn Effect  පිළිබඳව මෑතකදී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තා 

Jakob Pietschnig සහ Martin Voracek විසින් 2015 වසරේදී ඉදිරිපත් කළ දශක 10 කට අධික කාලයක් තුළ රටවල් 31 ක පුද්ගලයන් මිලියන 4 කගේ දත්ත විශ්ලේෂණය කර සිදු කරන ලද පර්‍යේෂණය හරහා ඔවුන් නිගමනය කර ඇත්තේ බුද්ධි හැකිලීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ නෝර්වේ, ඩෙන්මාර්කය වැනි ඉතා දියුණු බටහිර රටවල පමණක් බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් තාක්ෂණය සහ අධ්‍යාපනය දියුණු වෙමින් පවතින බැවින් බැවින් එම රටවල බුද්ධි මට්ටම තවමත් ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් ය.

Northwestern විශ්ව විද්‍යාලය විසින් 2023 වසරේදී පල කරන ලද පර්‍යේෂණයක් ඔස්සේ ඇමරිකානු ජාතිකයන් 400,000 කට අධික පිරිසක් යොදාගෙන 2006 සිට 2018 දක්වා කාලය තුළ සිදු කළ දැවැන්ත අධ්‍යයනයක ප්‍රතිඵල ඉදිරිපත් කර ඇත. වසර 12 ක් වැනි කාලයක් තුළ ඇමරිකානුවන්ගේ IQ අගය ලකුණු මට්ටම් තුනකින් පහත වැටී ඇති බව මෙහිදී තහවුරු වී ඇත. විශේෂයෙන්ම වාචික තර්කනය හෙවත් භාෂාව හසුරුවන ආකාරය සහ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සංකීර්ණ රටාවන් තේරුම් ගැනීමේ හැකියාව, ගණිත ගැටලු විසඳීමේ වේගය පහත වැටී ඇති බව මේ හරහා අනාවරණය වී ඇත.  මෙහි ඇති බරපතලම කරුණ වන්නේ පෙර පරම්පරාවලට වඩා ඉතා දියුණු අධ්‍යාපන ක්‍රම සහ පෝෂණය තිබියදීත් බුද්ධි මට්ටම පහත වැටීමයි. මෙය තාක්ෂණය සහ අධ්‍යාපන ක්‍රමයේ ඇති වූ දුර්වලතා නිසා සිදු වූවක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

2021 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ ජාතික මට්ටමින් සිදුකළ ඇගයීම් කිහිපයක් ඔස්සේ 1948 සිට 1990 දක්වා කාලය තුළ IQ අගය ලකුණු 15 කින් ඉහළ ගිය අතර, 2000 වසරෙන් පසු එය ලකුණු 2-3 කින් පහත වැටී ඇති බව හෙළි වී තිබේ. මෙයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ “Cognitive Offloading” හෙවත් මොළයෙන් කළ යුතු වැඩ ඩිජිටල් උපාංගවලට පැවරීමයි. උදාහරණයක් ලෙස, සිතා බලා ගණන් සෑදීම වෙනුවට කැල්කියුලේටර් භාවිතය සහ තොරතුරු සෙවීමට Google භාවිතය නිසා මොළයේ තර්කන හැකියාව (Neuroplasticity) දුර්වල වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. 

PISA 2022 – සංජානන හැකියාවන් පිළිබඳ ගෝලීය දත්ත

ලෝකයේ රටවල් 81 ක ශිෂ්‍යයන් මිලියන ගණනකගේ දක්ෂතා ඇසුරින් සකසන ලද මෙම වාර්තාවේ OECD දත්තවලට අනුව, 2012 වසරෙන් පසු ලෝකයේ දියුණු රටවල සාමාන්‍ය ලකුණු මට්ටම (IQ) (ගණිතය සහ කියවීම) පෙර නොවූ විරූ ලෙස පහත වැටී ඇති බව අනාවරණය වී තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය වැනි රටවල පවා ඉතිහාසයේ වාර්තා වූ අඩුම ලකුණු මට්ටම් 2022 දී වාර්තා වී ඇති අතර තාක්ෂණය පාසල්වලට හඳුන්වා දීමෙන් පසු ශිෂ්‍යයන්ගේ ස්වයං විනය සහ ගැඹුරු අවධානය (Deep attention) ගිලිහී ගොස් ඇති බව මෙම වාර්තාවේ සාරාංශයයි.

Avatar

Title:මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට Gen Z පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු වෙලා ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *