දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 8 දෙනොගේ වටයට සුදුසුකම් ලබා සිටිය ද ඊට පෙර එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී T20 තරග 3 ම පරාජය වීම හමුවේ ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩකයින් ඇතුළු පාලනාධිකාරියට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද යම් ආකාරයේ අප්‍රසාදයක් එල්ලවන අයුරු දැකගත හැකි වුණා. මේ එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සම්බන්ධව සංසරණය වූ සටහන් පෙළක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අසරණ ගොවි මහතා යන සඳහන සහිතව පෙබරවාරි 02 වැනිදා ෆේස්බුක් වෙත මුදා හැර ඇති මෙම ඡායාරූපයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු, හිටපු තුන්ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය ක්‍රිකට් තරගයක් අතරතුර දෑත් එකතු කර උඩබලාගෙන වඳිමින් යමක් ඉටුකර දෙනමෙන් දෙවියන් යදින ආකාරයක් දිස් වේ.


Facebook | Archived Link Facebook | Archived Link
දවසේ ඡායාරූපය යන සඳහන් සහිතව මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද මෙලෙස පළ කර තිබුණා.

මෙහි සත්‍යතාව විමසා ලද පාඨක ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පෙබරවාරි 02 වැනි දා පළ කර ඇති බැවින් මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වැනිදා ආරම්භ වූ T20 ලෝක කුසලානයේ තරගයකට අදාළ ඡායාරූපයක් විය නොහැකියි. එකී අනුමානය මත පිහිටා අප ඊට පෙර පැවති සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලිය වෙත අවධානය යොමු කළේ ය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව පෙබරවාරි 02 වැනිදා පැවති දෙවැනි තරගයේ දර්ශන සමීපව නිරීක්ෂණය කිරීමට අප පියවර ගත්තා. එම දර්ශනවලට අනුව ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ 13 වැනි පන්දුවාරයේදී එංගලන්ත නායක හැරී බෘෘක්ගේ කඩුල්ල දවා ගන්නා අතර එම දැවීයාමෙන් පසු කැමරාව ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය වෙතට යොමුවේ. එහිදී ඔහුගේ මුහුණේ ඉරියව් අනුවෙ, සතුට මුසු වූ නොසන්සුන්බවක් පෙන්නුම් කරන අතර හැරී බෘෘක් දැවී යාමට පෙර මතීෂ යොමු කළ පන්දු දෙකටම බෘෘක් විසින් 6 පහර දෙකක් එල්ලකර තිබීම නිසා සනත් ජයසූරියගෙන් එවැනි ප්‍රකාශනයක් සිදුවූවා විය හැකියි.
කෙසේ වෙතත් සනත් දෙවියන් යදින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයට එම අවස්ථාවේ දර්ශනය සමාන බව බැලූ බැල්මට පෙන්නුම් කළ ද ඔහු අහස දෙස බලා වඳිමින් දෙවියන් යදින ආකාරයක් පෙන්නුම් නොකරයි. සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ සහ තරගයේ සජීවි දර්ශනවල එම අවස්ථාවෙන් ලබා ගත් ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්.

මෙම අවස්ථා දෙක සමීපව නිරීක්ෂණය කිරීමේදී දර්ශනවලින් උපුටා ගත් ඡායාරූපයේ පිටුපස වෝකිටෝකි එකක් ද සහිතව ආරක්ෂක නිලධාරියෙකු සිටගෙන සිටින අයුරු දැකගත හැකියි. එහෙත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ආරක්ෂක නිලධාරියා දැකගත නොහැකි නමුත් ආරක්ෂක නිලධාරියාගේ අතේ තිබූ වෝකිටෝකියේ ඇන්ටනාව මෙලෙස දැකගත හැකියි.

ඒ අනුව මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සකසන ලද්දක් බවට වන අනුමානය මත පිහිටා අප අදාළ ඡයාරූපය AI පරීක්ෂක මෙවලමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. එහිදී සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සංස්කරණය කරන ලද්දක් බව තහවුරු විය.

තවදුරටත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප එම ඡායාරූපය Google Gemini ඔස්සේ ද පරීක්ෂා කර බැලූ අතර එහිදී ද ප්‍රකාශ වූයේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සකසන ලද ඡායාරූපයක් වීම් වැඩි හැකියාවක් පවතින බවයි.

2026 T20 ලෝක කුසලානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම
20 යි 20 ලෝක කුසලානයට පෙර පැවති ශ්‍රී ලංකා – එංගලන්ත 20යි 20 තරග 3න් ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර එම තරගවලදී ක්‍රීඩකයින් තරග කළ ආකාරය පිළිබඳ මෙරට ක්‍රීඩාලෝලීන් පළ කළේ, දැඩි අප්‍රසාදයකි. කෙසේ වෙතත් 2026 T20 ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී කඩුලු 8ක ජයත් වාර්තා කරමින් ලෝක කුසලනයේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සමත්ව සිටී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර දෙන මෙන් ඉල්ලමින් පුහුණුකාර සනත් ජයසූරිය දෑත් එක් කර අහස දෙස බලමින් දෙවියන් යදින බව කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. මේ අතර සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය, ලෝක කුසලානයට පෙර එංගලන්ත කණ්ඩායම සමග පැවති 20 යි 20 දෙවැනි තරගයේදී මතීෂ පෙරේරා එංගලන්ත නායක හැරී බෘෘක්ගේ කඩුල්ල බිඳ දැමීමෙන් පසු සනත් ජයසූරිය සතුට මුසු වූ නොසන්සුන්බවක් පෙන්නුම් කරන අවස්ථාවේ දර්ශනයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයක් සංස්කරණය කරමින් සමාජ මාධ්‍යයේ පළ කරන ලද්දකි.
Title:ශ්‍රී ලංකා පුහුණුකරු සනත් තරගයක් ජයග්‍රහණය කර දෙන මෙන් ඉල්ලා දෙවියන් යදින අවස්ථාවක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


