ඉරාන නෞකා බේරා ගැනීම නිසා ට්‍රම්ප්, ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

අමෙරිකාවේ ප්‍රහාර හමුවේ ඉරාන රාජ්‍යයට අයත් නෞකාවන් බේරා ගැනීමට සහය ලබා දීම හේතුවෙන් අමෙරිකාව විසින් නව තීරුබදු පනවා ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඇමරිකාවට පහර දුන් සතුරු නැව් වල නාවිකයන් බේරා ගත් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි තීරුබදු පනවනවා. – ඇමරිකානු  ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

ඉහත තේමාවෙන් හුවමාරු වූ තව ත්, සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අමෙරකාව, ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අති වූ යුදමය තත්ත්වය හමුවේ, අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් පසු මෙරට ගාලු වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාව වන IRIS Dena ගිලී යාමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරාන නාවිකයින් 32 දෙනෙකු බේරා ගනු ලැබුවා.

කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන දෙවන නෞකාව වන IRIS Bushehr ලෙස හැඳින්වෙන නෞකාව ටැන්කර් වර්ගයේ යුද සැපයුම් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 12ක් පමණ දුරින් මුහුදේ නැංගුරම් ලා ඇති අතර නෞකාවේ එක් නාවිකයෙකු යම් ආපදාවකට ලක් වී ඇති බව ත්, එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතා සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන්ගේ එක් එංජිමකට ආපදාවක් සිදු වී ඇති බැවින් දෙවන නෞකාවට ද, සහය වීම සඳහා අදාළ ක්‍රියාපටිටපාටියන් සම්බන්ධයෙන් සාකච්ඡා කොට ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමට පියවර ගැනුනා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පැහැදිලි කරන ජනාධිපති අනුර කුමාර දිසානායක. වීඩියෝව මෙතනින්. පුවත් ලිපියක් මෙතනින්.

මෙම තත්ත්වය මත අමෙරිකාව ලංකාවට දැඩි තීරුබදු පනවා ඇත්ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා. නමුත් කිසිදු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍යක් හෝ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි මව්බිම පුවත් ලිපියක හෝ මෙරට අනෙක් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් හෝ වාර්තා කර නොතිබුණි.

එමෙන් ම අප මේ පිළිබඳ වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා The White House වෙබ් අඩවිය මෙන් ම මීට පෙර රටවල් සම්බන්ධයෙන් තීරුබදු පැනවීම පිළිබඳ ප්‍රකාශ කළ ට්‍රම්ප්ගේ Donald J.Trump හැනඩලය සහිත, Truth Social සමාජ මාධ්‍ය ගිණුම ද, පරීක්ෂා කර නමුත්, ලංකාවට තීරුබදු පැනවීම පිළිබඳ ප්‍රකාශ කළ බවට හෝ සටහන් කළ බවට දැක ගන්නට නොලැබුණි.

ගෝලීය ආර්ථික ස්වාධීනත්වය ප්‍රකාශනයක කොටසක් ලෙස ට්‍රම්ප් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට 2025 අප්‍රේල් මස 44% අන්‍යෝන්‍ය තීරුබදු පනවන බවට ප්‍රකාශ කරනු ලැබුවා. පසුව 2025 ජූලි මස සාකච්ඡාවලින් පසු, මෙය 30% දක්වා අඩු කරන ලදී.

තවදුරටත් ශ්‍රී ලංකා රජය  රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අනුගමනය කරමින් 2025 අගෝස්තු වන විට බදු අනුපාතය නැවතත් 20% දක්වා අඩු කරගන්නා ලදී.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධිත අනුපාත රැසකින් ශ්‍රී ලංකාවට 20%  ක තීරු බදු හිමි වී තිබේ.

2026 පෙබරවාරි 20 වන දින එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ පනවන ලද තීරුබදු ඉවත් කළ අතර, ඉහළ තීරුබදු පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද පරිපාලනය 1974 වෙළඳ පනතේ 122 වන වගන්තිය ක්‍රියාත්මක කරනු ලැබීය. 122 වගන්තිය එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට ජාත්‍යන්තර ගෙවීම් ගැටලු විසඳීමට ඉඩ සලසා දී තිබේ. මේ හේතුවෙන්  ශ්‍රී ලංකාව වෙනස් තීරුබදු තුනකට මුහුණ දීමට සිදු වන අතර ඒවානම්,  10% 122 වගන්තියේ තීරුබදු, 232 වගන්තියේ තීරුබදු සහ Favored Nation  (MFN) තීරුබදු වේ.

122 වගන්තියේ තීරුබදු වලංගු වන්නේ දින 150 ක් සඳහා පමණක් වන අතර, වගන්තියට අනුව ජනාධිපතිට මෙම අනුපාතය 15% දක්වා ඉහළ දැමීමේ හැකියාව පවතී. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් කරන අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% ක් විය.

2025 දී හඳුන්වා දුන් ‘Liberation Day’ තීරුබදු ක්‍රමයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ ඵලදායී තීරුබදු අනුපාතය ඉහළ නැංවීය. 2025 දෙසැම්බර් අවසානය වන විට, IEEPA සහ 232 වගන්තියේ තීරුබදු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාව මත එක්සත් ජනපදයේ ඵලදායී තීරුබදු අනුපාතය 21% කින් වැඩි විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ඉරාන නැව් ශ්‍රී ලංකාව විසින් ගලවා ගැනීමේ කාලය තුළ එනම්, මේ දක්වා 2026 මාර්තු 7 වන දින තෙක්  ක්‍රියාත්මක වන්නේ අමෙරිකාව විසින් මෙරටට පනවන ලද 122 වගන්තියේ තීරුබදු ප්‍රමාණය වේ. ඉරාන නැව් ගලවා ගැනීමෙන් පසු විශේෂයෙන් නව බදු පනවන ලද බවට කිසිදු නිල තොරතුරුක් නොමැත.

නමුත්, රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි, ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මාර්තු 6 දිනැති එම කේබලයේ සඳහන් වූයේ, ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඩෙනා නෞකාවේ දිවි ගලවා ගත් අය සහ දෙවන ඉරාන නෞකාවක් වන IRIS Bushehr හි කාර්ය මණ්ඩලය ඉරානයට ආපසු නොයැවිය යුතු බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් ශ්‍රී ලංකාව අවම කළ යුතු බව එහි සඳහන් විය.

නමුත්, IRIS Dena ඉරාන යුද නෞකාවෙන් දිවි ගලවා ගත් අය මෙන්ම ශ්‍රී ලංකාවේ භාරයේ  පසුවන දෙවන ඉරාන නෞකාවක කාර්ය මණ්ඩලය ද නැවත ගෙන්වා නොගන්නා ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයක සඳහන් වන බව රොයිටර් පුවත් සේවය ඊයේ(06) වාර්තා කර තිබුණේ, මෙලෙසින්.

විදෙස් අමාත්‍යාංශය

අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විදෙස් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර විදෙස් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉරාන නැව් බේරා ගැනීමෙන් පසු නව තීරුබදු වැඩි කරන බවට කිසිදු දැනුම් දීමක් සිදුව නොමැති බවයි.

අමෙරිකානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අප මේ පිළිබඳව අමෙරිකානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුරු සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරාන නෞකා බේරා ගැනී‍මෙන් පසු ශ්‍රී ලංකාවට, අමෙරිකාව විසින් නව තීරු බදු පනවන බව නිවේදන කර ඇතැයි පෙන්වා දෙන පුවත් අසත්‍ය බවයි. එවැනි නිවේදනයක් අමෙරිකානු රජය විසින් මෙතෙක් පළ කර නොමැති අතර අමෙරකානු ජනාධිපතිවරයා විසින් හෝ එවැනි නිවේදනයක් පළ කර නොමැත. එමෙන් ම මෙම පුවත මව්බිම පුවත්පතේ පළ නොවූ එහි පුවත් ආකෘතියට නිර්මාණය කර ඇති ව්‍යාජ සටහනක් වේ.

Avatar

Title:ඉරාන නෞකා බේරා ගැනීම නිසා ට්‍රම්ප්, ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *