දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉරාන අයිරිෂ් ඩේනා නෞකාව සමග සමස්ත ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුවද්දී තවත් ඉරාන නෞකාවක් වන අයිරිෂ් බුෂෙර් නෞකාව සහ එහි පිරිස් මුදවා ගැනීමට ද ශ්‍රී ලංකාව විසින් මෙහෙයුමක් දියත් කරන්නට වුණා. මෙවැනි පසුබිමක් තුළ සමාජ මාධ්‍යයන්හි අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකි වුණා. එවැනි අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මුහුදුබත් වූ ඉරාන නෞකාව වෙනුවෙන් අප හට මානුෂීය ආධාර ලබාදීමට නොහැකි වූ බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. යුද්ධයට උපකාර කිරීම නොව, මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම අපගේ වගකීමක් බවත්, මේ මොහොතේද දරුවන් 300 ක් සිටින නෞකාවක් අපට උදව් කල හැකි මුහුදු සීමාවේ තිබෙන බවත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. එම දෙවන ඉරාන නෞකාවේ සිටින ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් බවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණේ මෙලෙසින්.

එසේම අදාල නෞකාවේ ලමුන් 300 ක් සිටින බවට තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය තුළ පලවී තිබුණා.



Facebook Facebook Facebook Facebook
සැබෑ ලෙසම මුදවාගත් අයිරිෂ් බුෂෙර් නෞකාවේ ළමුන් 300ක් සිටියාද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජීත් පී. පෙරේරා විසින් අදාල ප්‍රකාශය සිදු කර ඇත් ද යන්න තහවුරු කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළා. එහිදී 2026.03.05 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේදී අදාල ප්‍රකාශය සිදු කර ඇති බව තහවුරු වුනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදාල ප්‍රකාශය සිදු කරන අවස්ථාව ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ඉන්දියාවේ විශාඛා පට්නම්හි පැවති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන අයිරිෂ් බුෂෙර් නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණි බවත්, එම නෞකාවේ සිටි පිරිස් විසින් මෙරට වරායක් වෙත ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙස මාර්තු 4 සහ 5 දෙදින තුළ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, අයිරිෂ් ඩේනා නෞකාව වෙත ප්‍රහාරයක් එල්ල වීමත් සමග අයිරිෂ් බුෂෙර් නෞකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණු පසුබිමක නෞකාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මෙරට බලධාරීන්ට සිදු වූ බවත් ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය අමතමින් අදාල නෞකාව මෙරට වෙත භාරගන්නා බව ප්‍රකාශ කළ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අදාල පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.
නාවික නිලධාරීන් 208 දෙනෙකු රැගත් ඉරාන නාවික හමුදාවට අයත් අයිරිෂ් බුෂෙර් නෞකාව ශ්‍රී ලංකාවෙන් මානුෂීය ආධාර ඉල්ලා සිටි බවත් ඒ අනුව මාර්තු 5 වන දින නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවත් දක්වමින් ඉරාන මාධ්‍ය විසින් අදාල පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්. මෙහි සිටි නාවික නිලධාරීන් 208 දෙනාගෙන් 84 දෙනෙකුම පුහුණු වන තරුණ නිලධාරීන් (කැඩෙට්වරුන්) බවත්, ඔවුන්ව ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බවත් එම පුවත ඔස්සේ තහවුරු කර ඇති නමුත් අදාල නෞකාවේ ළමුන් 300 ක් සිටි බවට කිසිඳු සඳහනක් ඉරාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ නැහැ.

අයිරිෂ් බුෂෙර් නෞකාවේ සිටින පිරිස කොළඹ වරායට රැගෙන එන ලද අවස්තාවේ වීඩියෝ පටයක් BBC මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර එම වීඩියෝව තුළ ද ළමුන් 300 ක් සිටින බවක් දකින්නට ලැබෙන්නේ නැහැ.
නෞකාව තුළ දරුවන් 300 ක් සිටින බව අසත්‍යක්! – ජනාධිපති අනුර කුමාර දිසානායක
අයිරිෂ් බුෂෙර් නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සහභාගී වූ මාධ්‍ය හමුවේදී අයිරිෂ් බුෂෙර් නෞකාවේ දරුවන් 300 දෙනෙකු සිටින බවට පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විසින් මතු කළ කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් විමසා සිටි අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ නෞකාව තුළ දරුවන් 300 දෙනෙකු සිටින බව සම්පූර්ණයෙන් අසත්‍ය කරුණක් වන බවයි. ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව තහවුරු කරන ලද අවස්ථාවේ වීඩියෝව මෙතනින්. නෞකාවේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලිව සඳහන් කර ඇති අතර 208 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර ඇති බවත්, නිලධාරීන් 53 දෙනෙක්, කැඩෙට් නිලධාරීන් 84ක් ජ්‍යේෂ්ඨ නාවිකයන් 48 සහ නාවිකයන් 23ක් ඒ අතර වන බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර තිබෙනවා. එම පිරිස කොළඹ වරාය වෙත රැගෙන ඒමටත්, ඉන් අනතුරුව නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ද, ජනාධිපති අනුර කුමාර පැවසූ කරුණුම සනාථ කරමින් සදහන් කළේ, එම නෞකාව තුළ ළමුන් 300ක් නොසිටි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා
2026.03.06 වන දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් ඊට පෙර දින සිදු කළ අයිරිෂ් බුෂෙර් නෞකාවේ දරුවන් 300 ක් සිටි බවට වන ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්ණ කළ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර සිටියේ තමා විසින් දරුවන් ලෙස අදහස් කළේ නෞකාවේ සිටි කැඩෙට්වරුන් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
https://www.youtube.com/clip/Ugkx9X8jx4ppswSEh4GGkx6x7Vt5QjoFgT7D
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව විසින් මුදවාගත් දෙවන ඉරාන නෞකාව වන අයිරිෂ් බුෂෙර් නෞකාවේ ළමුන් 300 ක් සිටි බවට සිදුකරන ලද ප්‍රකාශ සහ ඒ බව දක්වමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. අයිරිෂ් බුෂෙර් නෞකාවේ සිටි 208 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලද නිලධාරීන් 53 දෙනෙක්, කැඩෙට් නිලධාරීන් 84ක් ජ්‍යේෂ්ඨ නාවිකයන් 48 සහ නාවිකයන් 23ක් ඒ අතර වන බව ජනාධිපති අනුර කුමාර තහවුරු කරනවා.


