දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රජයේ ප්‍රධාන පෙලේ මැති ඇමතිවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ සහ අදහස් දැක්වීම් බවට හඟවමින් ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය වල ආකෘතීන්ද උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වනවා එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1:සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
” අධිකරණ තීන්දුවකින් වරදකරු නොකර කුමාර ජයකොඩි ඇමැතිතුමාට හොරෙක් කියන්න බෑ – අගමැතිනිය කියයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සිදු කරන ලද බවට පැවසෙන අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි චෝදනා 2014 වසර තෙක් අතීතයට දිව යන අතර 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කරන ලද අවධියේ දී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
එසේම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වන දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදී තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සහ කුමාර ජයකොඩි මහතා වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවට අදාළවයි. අග්‍රාමාත්‍යතුමිය විසින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ මෙවැනි පසුබිමකදී ය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය හරහා වාර්තාකර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇත්ද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරික්ෂා කළත් එවැන්නක් හමු වුණේ නැහැ.
එසේම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෑත කාලීනව සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමු කළ අතර එම ප්‍රකාශ අතරතුරදී හෝ අග්‍රාමාත්‍යතුමිය විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් අදහස් පලකර තිබුණේ නැහැ. අග්‍රාමාත්‍යතුමිය විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශ සහ අදහස් දැක්වීම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මාධ්‍ය ලේකම් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ මාධ්‍ය ලේකම් විසින් තහවුරු කළේ මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදු කර නොමැති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පල කිරීමක් සිදු කර තිබුණා
කෙසේ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් සිදු කරන ලද විමසීමකට අදාළව අදහස් පල කිරීමක් සිදු කර තිබුණා. ජනාධිපතිවරයා විසින් එහිදී සඳහන් කරන්නේ කවර හෝ අමාත්‍යවරයෙක්ට අමාත්‍යවරයාගේ විෂය පථය උපයෝගී කරගෙන කුමන හෝ අධිකරණයක නඩුවක් පැවරේ නම් පහුවදා තමා විසින් ඔහු ඉවත් කරන බවයි. ජයකොඩි අමාත්‍යවරයා විසින් උද්ගත ව ඇති ගැටලුව 2014 වසරේ ඔහු රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් සිටින විට ඇති වූ ගැටලුවක් බවත් ඔහු අමාත්‍යවරයකු ලෙස සිටින විට ඇති වූ ගැටලුවක් නම් හෙටම තමා විසින් ඔහුව ඉවත් කිරීමට කටයුතු කරන බවත් ජනපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එම සම්පූර්ණ ප්‍රකාශය මෙතනින්.
Claim 2:සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“තෙල් නැව් ප්‍රමාද විය හැකි නිසා ගුවන් මගින් හෝ ඉන්ධන රැගෙන ඒමට ඇති හැකියාව පිළිබඳව අපි සොයා බලමින් ඉන්නවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළවී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මැදපෙරදිග යුධ තත්වය හමුවේ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය තුළ තෙල් නැව් ප්‍රමාදවිය හැකි නිසා ගුවන් මගින් හෝ ඉන්ධන රැගෙන ඒමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් පල කර තිබූ මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන දිනමිණ පුවත් ආකෘතියෙන් නිර්මාණය කර තිබීම හේතුවෙන් අදාළ සමාජ මාධ්‍ය සටහන දිනමිණ නිල ෆේස්බුක් පිටුව තුළ පල කර ඇත් ද යන්න අප මූලිකව පරීක්ෂා කළ නමුත් එවැනි සටහනක් දිනමිණ නිල ෆේස්බුක් පිටුව තුළ දැකගන්නට ලැබුණේ නැහැ.
ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් මෑතකදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප අවධානය යොමු කළා.
ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා මහජනතාව ඉන්ධන කළමණාකරණයකින් යුතුව පරිභෝජනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ. එම සම්පූර්ණ ප්‍රකාශය මෙතනින්.
තවත් අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මැදපෙරදිග යුධ තත්වය හේතුවෙන් මෙරටට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති අතර එම අවස්ථාවන්වලදී ද ඉහත අකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් ප්‍රකාශ කිරීම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මාධ්‍ය ලේකම් – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් සඳහන් කළේ ඉහත ආකාරයේ ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරය විසින් සිදු කර නොමැති බවයි.
දිනමිණ පුවත් ආකෘතිය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක්
අදාළ සමාජ මාධ්‍ය සටහන දිනමිණ නම භාවිතා කරමින් හුවමාරු වන අසත්‍ය පුවතක් බව තහවුරු කරමින් දිනමිණ පුවත්පත මගින් සමාජ සටහනක් පල කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


