මැද පෙරදිග යුධ ගැටුම් වලට අදාළ දර්ශන ලෙස දක්වමින් හුවමාරුවන නොමග යවන සුළු සටහන් පෙළක් !

Internatioanl Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැද පෙරදිග උද්ගත වූ යුධ තත්වය තුළ ඊට සමගාමීව ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වීමේ තත්වයක් ද ඇති වී තිබෙනවා. මැද පෙරදිග යුධ ගැටුම් සහ එහි ප්‍රතිඵල ලෙස දක්වමින් නොමග යවන සුළු වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1 ;

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ඊශ්‍රායල නිවසකට ප්‍රහාර, ටෙල් අවිව් ජනාකීර්ණ ප්‍රදේශ සඳහා ප්‍රහාර මාලාවක්, එහි සමීප දර්ශන මාධ්‍යයට” යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

Facebook |Archived Link

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පෙබරවාරි 28 සිට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි ගොඩනැගිලි සහ වාහන වලට දැඩි හානි ඇති වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. කෙසේ නමුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඉහත වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍යය විසින් ටෙල් අවිව් වෙත සිදු වූ හානි සම්බන්ධයෙන් දැක්වෙන කිසිඳු පුවතක් තුළ වාර්තා කර තිබුණේ නැහැ. 

අදාළ වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී දෙපස ඇති නිවෙස් වලට කිසිඳු හානියක් නොමැති බව දැකගන්නට ලැබෙනවා. මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත්නම් එක ළඟ නිවාස කිහිපයක් තිබියදී එක් නිවෙසක් වෙත පමණක් හානි ඇති වීම සිදු විය නොහැකියි.

2026 ජනවාරි මාසයේදී  කැලිෆෝනියාවේ එල්ක් ග්‍රෝව් හි නිවසක ඇති වූ ගින්නක්

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී අනාවරණය වූයේ අදාළ සිදුවීම 2026 ජනවාරි මාසයේදී  කැලිෆෝනියාවේ එල්ක් ග්‍රෝව් හි නිවසක ඇති වූ ගින්නක් බවයි. ගින්න හටගෙන ඇත්තේ ගරාජයක වන අතර, වාහනයක ඇති වූ ගින්නක් ගරාජය පුරා පැතිර ගොස් තිබෙනවා. කොසුමන්ස් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන භටයින් විසින් තවදුරටත් ගින්න පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කර තිබෙනවා. අදාළ සිදුවීමෙන් එක් සිවිල් වැසියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. මේ බව සඳහන් කරමින් 2026 ජනවාරි 31 වන දින 916 Times මඟින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Claim 2 ;

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ඇමරිකානු නැවක් හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සහ කිරීමේදී ඉරානය එම උත්සහය ව්‍යර්ථ කර නැව ප්‍රාණ ඇපයට ගත් බව මාධ්‍යයට වාර්තා වේ” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ වීඩියෝව සම්බන්ධයෙන්ද කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉකුත් පෙබරවාරි 28 වන දින සිට මැදපෙරදිග යුද්ධය උත්සන්න වීමත් සමග ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට කටයුතු කර තිබුණා. යුද්ධය ඇරඹීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකා 95% කින් පමණ පහත වැටුණු අතර ඒ හරහා ගමන් කිරීමට අවසර ලබා දී තිබුණේ ඉරානයේ ඉන්ධන රැගත් නෞකාවන්ට සහ මිත්‍ර රටවල නෞකාවන්ට පමණයි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කට තිබුණේ මෙලෙසින්.

ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආරම්භ වූ පෙබරවාරි 28 වන දින සිට හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා වෙත ප්‍රහාර එල්ල වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ නමුත් ඉහත සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන වීඩියෝව කිසිඳු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් මෑතකාලීනව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරානය විසින් පහර දුන් බව කියන ඇමරිකානු නෞකා සම්බන්ධයෙන් දක්වමින් වාර්තා කර තිබුණේ නැහැ.

2019 වසරේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය බ්‍රිතාන්‍ය තෙල් නැවක් අත්පත් කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූපරාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අනාවරණය වූයේ අදාළ වීඩියෝව මෑතකදී එනම් මේ වසරේදී සිදු වූ සිදුවීමකට අදාළ වීඩියෝවක් නොව 2019 වසරේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී බ්‍රිතාන්‍ය තෙල් නැවක් අත්පත් කර ගන්නා ආකාරය දැක්වෙන ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC ) විසින් නිකුත් කර ඇති වීඩියෝවක් බවයි. “ජාත්‍යන්තර සමුද්‍රීය නීතිවලට ගරු නොකිරීම හේතුවෙන් හෝමොස්ගන් වරාය සහ සමුද්‍රීය සංවිධානයේ ඉල්ලීම පරිදි විප්ලවවාදී ආරක්ෂකයින් විසින් ස්ටෙනා ඉම්පෙරෝ ටැංකිය රාජසන්තක කරන ලදී,” යනුවෙන් සඳහන් කරමින් IRGC විසින් අදාළ දර්ශන නිකුත් කර තිබෙනවා.  Aljazeera මාධ්‍ය ආයතනය විසින් 2019 වසරේ ජූලි මස 20 වන දින අදාළ පුවත පල කර තිබුණේ මෙලෙසින්.

එසේම Press TV විසින් ද 2019 ජූලි 20 වන දින අදාළ පුවත වාර්තා කර තිබුණා.

Claim 3 ;

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ඊශ්‍රායල ජාතිකයන් බෝට්ටුවලින් රටින් පැන යති.ඊශ්‍රායලයේ පදිංචිකරුවන් නීතිවිරෝධී ලෙස සයිප්‍රසයට පලා යමින් සිටිති. ජීවිතය ගලවා ගැනීමට” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

යුධමය පසුබිමක් තුළ සන්සුන්, ස්ථාවර සහ යුද්ධයෙන් ඈත්වීම සොයන ඊශ්‍රායල ජාතිකයින් සයිප්‍රසය වෙත ආකර්ෂණය වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. කෙසේ නමුත් ඊශ්‍රායල ජාතිකයන් බෝට්ටු හරහා සයිප්‍රසය වෙත පලා යන බව දක්වන කිසිඳු වාර්තාවක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ නැහැ.

පිලිපීනයේ පුද්ගලයන් පිරිසක් තොටුපළකින් එතෙර වීම සඳහා යාත්‍රාවකට ගොඩවන ආකාරය දැක්වෙන වීඩියෝවක්

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී අනාවරණය වූයේ අදාළ වීඩියෝව පිලිපීනයේ පුද්ගලයන් පිරිසක් තොටුපළකින් එතෙර වීම සඳහා යාත්‍රාවකට ගොඩවන ආකාරය දැක්වෙන බවයි. අදාළ වීඩියෝව 2026 මාර්තු 8 වන දින පිලිපීනයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක පළ කර තිබූ අතර පිලිපීන භාෂාවෙන් එහි සටහනක් ද තබා තිබුණා. එම සටහන ඔස්සේ අදහස් කර තිබුණේ “අද වැටුප් දිනය නිසා මගීන් ගොඩක් ඉන්නවා” යනුවෙනි.වීඩියෝවේ ශීර්ෂ පාඨය ඔස්සේ,”ඇලන් – සුර්සොගොන් පාලමට රජයෙන් අරමුදල් සැපයිය යුතුයි, නමුත් වත්මන් පරිපාලනය දූෂිතයි” යනුවෙන් සටහනක් තබා තිබුණා.

Instagram

පැසකාඕ සිට පිලිපීනයේ බුරියාස් දූපත දක්වා මගීන් ප්‍රවාහනය කරන යාත්‍රාවක් දක්වමින්  යූ ටියුබ් හි පල කර තිබූ වීඩියෝවක් මෙතනින්. එම වීඩියෝවේ දැක්වෙන යාත්‍රාව එහි පසුබිම් පරිසරය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන යාත්‍රාව සහ එහි පසුබිම් පරිසරය සමාන බව නිරීක්ෂණය කළ හැකියි.

Claim 4 ;

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

අද, ඉරාන හයිපර්සොනික් මිසයිල ටෙල් අවිව්, ජෙරුසලම, හයිෆා සහ අනෙකුත් ස්ථානවලට එකතැන පල්වෙන ආකාරයෙන් එල්ල කරන ලදී. සතුරා ඔවුන්ට මෙතරම් විශාල ප්‍රහාරයක් අපේක්ෂා කළේ නැත. මරණ සංඛ්‍යාව 3,600 දක්වා ළඟා වී ඇති බවත් තුවාල ලැබූවන් තවත් බොහෝ දෙනෙකු සිටින බව කියයි යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් හුවමාරු වී තිබුණා.

Facebook |Archived Link

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පෙබරවාරි 28 සිට උත්සන්න වූ යුධ ගැටුම් මධ්‍යයේ ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්නට වුණා. ටෙල් අවිව් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් සිදු කළ වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

නමුත් එම කිසිඳු වාර්තාවක් තුළ ඉහත සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ටෙල් අවිව් වෙත එල්ල ප්‍රහාරයක් ලෙස දක්වන වීඩියෝව දැකගන්නට ලැබුණේ නැහැ.

ඊශ්‍රායලයේ අරාඩ් නගරයට 2026 මාර්තු 22 සෙනසුරාදා එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් සිදු වී ඇති හානිය දැක්වෙන වීඩියෝවක්

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී අනාවරණය වූයේ අදාළ වීඩියෝව ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැක්වෙන වීඩියෝවක් නොව දකුණු ඊශ්‍රායලයේ අරාඩ් නගරයට 2026 මාර්තු 22 සෙනසුරාදා එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් සිදු වී ඇති හානිය දැක්වෙන වීඩියෝවක් බවයි.  අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත්, ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, 19 දෙනෙකු මධ්‍යස්ථ තුවාල ලබා ඇති බවත්, 55 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් අදාළ වීඩියෝව වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Claim 5 ;

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

ගිනි ගන්නා ඊශ්‍රායලය, ඊශ්‍රායලයේ විවිධ තැන්වලට බෝම්බ වැටේ. ගිනි ගැනීම් වාර්තා වේ” යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පෙබරවාරි 28 සිට උත්සන්න වූ යුධ ගැටුම් මධ්‍යයේ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්නට වුණා. එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් සිදු කළ වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

නමුත් එම කිසිඳු වාර්තාවක් තුළ ඉහත සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝව දැකගන්නට ලැබුණේ නැහැ.

ඉරානය විසින්  පලස්තීනය වෙත එල්ල කරන අද මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵල දැක්වෙන වීඩියෝවක්

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී අනාවරණය වූයේ අදාළ වීඩියෝව ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් නොව ඉරානය විසින්  පලස්තීනය වෙත එල්ල කරන අද මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵල දැක්වෙන වීඩියෝවක් බවයි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් අදාළ වීඩියෝව දක්වමින් Tehran Times විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok

Result Stamp

Title: මැද පෙරදිග යුධ ගැටුම් වලට අදාළ දර්ශන ලෙස දක්වමින් හුවමාරුවන නොමග යවන සුළු සටහන් පෙළක් !

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *