මාංශ සඳහා රැගෙන ගිය බවට පළ වූ සුනඛයින් 7 දෙනොගේ කතාව බොරුවක්!

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සංවේදී කතා මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන පළ කිරීම් බොහෝ අවස්ථාවල බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවමාරු කර ගන්නවා. ප්‍රධාන වශයෙන් යම්කිසි ඡායාරූපයක්, වීඩියෝවක් මුල් කර ගනිමින් මෙවැනි සටහන් හුවමාරු වන අතර ඒවා තහවුරු වූ තොරතුරුද, නැද්ද යන වග බොහෝ පිරිස් නොසැලකිලිමත් වනවා. එලෙසින් හුවමාරු වූ වීඩියෝවක් පිළිබඳ සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

චීනයේ සුනඛ මස් සාප්පුවක සේවය කරන සොරුන් විසින් සුනඛයින් 7 දෙනෙකු සොරකම් කර ට්‍රක් රථයකින් රැගෙන යනවිට සුනඛයින් හත් දෙනා ට්‍රක් රථයෙන් පැන ගොස් දින දෙකකින් කිලෝමීටර් 17ක් ගමන් කර නිවසට පැමිණෙන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා සමාජ මාධ්‍ය ගිණුම් වල ද, මෙම වීඩියෝව හුවමාරු වී තිබුණා.

Facebook

මාර්තු 16 වන දින, චීනයේ ජිලින් පළාතේ චැංචුන් හි කාර්යබහුල අධිවේගී මාර්ගයක් දිගේ ගෝල්ඩන් රිට්‍රීවර්ස්, ලැබ්‍රඩෝ සහ පෙකීනිස් සුනඛයන් ද ඇතුළත් බල්ලන් හත් දෙනෙකු ඇවිද යන වීඩියෝවක් කිසිවෙකු විසින් අන්තර් ජාලය වෙත මුදා හැර තිබුණා. ඉදිරිපස සිටි එක් කෝර්ගි බල්ලෙකු මූලිකත්වය ගනිමින්, සෙසු හයදෙනාම රකිමින් කි.මී. 17 ගෙවා අයිතිකරුවෙත පැමිණ ඇති බවට සඳහන් බවට මෙහි සඳහන් වී තිබුණා.

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යද, එමෙන් ම මෙරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මාධ්‍ය වාර්තා මේ පිළිබඳ පළ වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වීඩියෝවේ ආරම්භය

චීන මාධ්‍ය වාර්තා කරන පරිදි, “ලූ ” (Lu) ලෙස හඳුනාගත් පුද්ගලයෙකු චීනයේ ජිලින් (Jilin) ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක රිය පදවමින් සිටියදී මෙම සුනඛයන් පිරිස දැක මුලින්ම මෙම දර්ශනය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

තව ත්, චීන මාධ්‍ය ධාරා මෙම වීඩියෝව ලබා ගත්තේ “ෆෙන්ග් වේ” (Feng Wei) නැමති අන්තර්ගත නිර්මාණකරුවෙකු බවට සඳහන් කරනවා. චීනයේ ටික්ටොක් (TikTok) ලෙස හැඳින්වෙන ඩොයින් (Douyin) හි ඔහු පළ කළ මෙම සුනඛයන්ගේ වීඩියෝවට ලක්ෂ 1.6 කට වඩා වැඩි likes ප්‍රමාණයක් ලැබී තිබුණි. 

චීනයේ ‘City Evening News’ පුවත්පතේ පුවත් වාර්තාවක දැක්වෙන්නේ ෆෙන්ග් සමඟ ගමන් කළ අයෙකු මුලින්ම මෙම වීඩියෝව නිකුත් කළද එයට එතරම් අවධානයක් යොමු නොවූ බවයි. එම පුද්ගලයා ‘ලූ’ වීමට ඉඩ ඇති නමුත්, එම ලිපිවල ෆෙන්ග් සමඟ සිටියේ කවුරුන්ද යන්න නම් කර නොමැත. 

පසුව ෆෙන්ග් ද මෙම වීඩියෝව පළ කර ඇති අතර, ඔහු එයට ස්වයංක්‍රීයව තෝරාගත් පසුබිම් සංගීතයක්(automatically selected background music) එක් කර තිබුණි. පසුව, එම සංගීතය “අනපේක්ෂිත ලෙස එම දර්ශනවලට මැනවින් ගැලපීම නිසා වීඩියෝව ඉතා වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

මාර්තු 20 වන දින ‘ඩාහේ ඩේලි’ (Dahe Daily) පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, ‘ලූ’ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මාර්තු 15 වන දින රාත්‍රී 7 ට පමණ තමා මෙම සුනඛයන් දුටු බවයි. ඔවුන් සිටි දුෂ්කර ස්ථානය සහ ඔවුන්ගේ හැසිරීම අනුව, ඔවුන් මග පෙන්වන (strays) බල්ලන් නොව අතුරුදහන් වූ සුරතල් බල්ලන් විය හැකි බවට තමා සැක කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

“ඔවුන් හරියට අසරණ වුණු සහෝදරයන් පිරිසක් වගේ පෙනුණා. ඒ වගේම ඔවුන්ට යම්කිසි සැකැස්මක් (formation) තිබුණා. ජර්මන් ෂෙපර්ඩ් බල්ලා මැද සිටි අතර කුඩා බල්ලන් ඔහු වටා සිටියා,” යනුවෙන් ලූ එම වාර්තාවේ සඳහන් කර ඇත.

අනුමාන, සත්‍ය තොරතුරු ලෙස පැතිරිලා

‘ඩාහේ ඩේලි’ (Dahe Daily) වාර්තා කළේ, මෙම සුනඛයන් වාහනවල ගැටීමට හෝ ඔවුන්ව මග හැරීමට උත්සාහ කරන රියදුරන් අනතුරට ලක්වීමට ඉඩ ඇති බවට බියෙන්, ලූ මෙම වීඩියෝව උදව් ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බවයි.

වීඩියෝව අතිශය ජනප්‍රිය වූ පසු, මෙම සුනඛයන්, සුනඛයන් ප්‍රවාහනය කරන වාහනයකින් පැන එන්නට ඇති බව ලූ අදහස් දක්වා තිබූ බව ‘ඩාහේ ඩේලි‘ වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, සුනඛයන් කිසියම් වාහනයකින් හෝ කූඩුවකින් පැන යන අයුරු තමා පෞද්ගලිකව නොදුටු බව ලූ පසුව පැහැදිලි කර ඇති බව වාර්තා වේ

සුනඛයන් සොරුන්ගෙන් බේරී පැන ආ බවට අන්තර්ජාලය හරහා පැතිර ගිය ප්‍රකාශ, හුදු අනුමානයන් වෙනුවට සත්‍ය තොරතුරු ලෙස ප්‍රචාරය වූ බව ‘ඩාහේ ඩේලි’ වාර්තා පෙන්වා දෙයි.

මඟ පෙන්වන සුනඛයන් බේරාගැනීමේ කණ්ඩායමක ස්වේච්ඡා සේවිකාවක් වන තෝං විසින් මාර්තු 18 වන දින චැංචුන් (Changchun) ප්‍රදේශයට හිම පතනය වීමෙන් පසු සුනඛයන් සීතලෙන් මිය යනු ඇතැයි යන බිය නිසා අවට ගම්මානවල නිවසින් නිවසට ගොස් විමසීම් කරමින් පෝස්ටර් ඇලවූ බව චීනයේ ‘ජිමු නිවුස්’ (Jimu News) වෙත පවසා ඇත. “බිටර් කොෆී ස්ට්‍රේ ඩොග් සැන්චුවරි” (Bitter Coffee Stray Dog Sanctuary) නම් මෙම සහන කණ්ඩායම මාර්තු 21 වන දින නිකුත් කළ වීඩියෝවකින් මෙය තහවුරු කර ඇත.

‘ජිමු නිවුස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලද පෝස්ටරයේ දැක්වුණේ සුනඛයන් “චුවාන්ෂුවාං අධිවේගී මාර්ගයේ ෂුවාන්යැං දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 17 ක් පමණ දුරින්” දක්නට ලැබුණු බවයි. 

අන්තර්ජාලයේ සඳහන් වන “කිලෝමීටර් 17” පිළිබඳ කතාව මෙයින් පැමිණෙන්නට ඇතැයි පැවසිය හැක.

කෙසේ වෙතත්, ජිලින් පුවත් ජාලය (Jilin News Network) මාර්තු 23 වන දින වාර්තා කළේ සුනඛයන්ගේ වීඩියෝව ගමට කිලෝමීටර් 4 ක් හෝ 5 ක් දුරින් පටිගත කර ඇති බවත්ය.

බල්ලන් 7 දෙනාගෙන් 5 දෙනෙකු නිවසට පැමිණ ඇති බව වාර්තා වේ

ගම්වාසීන්ගේ මඟපෙන්වීම අනුව, සාත්තු සේවිකාවට සුනඛයින් තිදෙනෙකුගේ අයිතිකාරිය සොයා ගැනීමට හැකි විය. ගම්මානයට මිනිසුන් පැමිණ බාධා කරනු ඇතැයි ගම්වැසියන් බිය වූ නිසා ‘ජිමු නිවුස්’ (Jimu News) වාර්තාවේ අයිතිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කර නොතිබුණි.

මෙම කෝර්ජි (corgi), ජර්මන් ෂෙපර්ඩ් (German shepherd) සහ ගෝල්ඩන් රිට්‍රීවර් (golden retriever) යන බල්ලන් තිදෙනා තමාගේ බවත්, ඔවුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ දී තිබූ බවත් ඇය පැවසුවාය. දින හතරක් තිස්සේ ඔවුන්ව සෙවූ ඇය බලාපොරොත්තු අතහැරීමට සිටියදී, මාර්තු 18 වන දින පස්වරුවේ (වෙනත් ලිපිවල මෙම දිනය වෙනස් වේ) කෝර්ජි බල්ලා තනිවම නිවසට පැමිණි බව ඇය ජිමු නිවුස් වෙත පවසා ඇත. ඉන්පසු ඇය අවට ගම්මාන පීරමින් සෙවූ අතර එහිදී තවත් අයෙකුගේ වත්තක සිර කර සිටි බල්ලන් පස් දෙනෙකු සොයා ගැනීමට ඇයට හැකි විය.

සහන කණ්ඩායම මාර්තු 21 වන දින නිකුත් කළ වීඩියෝවකින් පැවසුවේ, කෝර්ජි බල්ලාගේ අයිතිකාරිය මුණගැසුණු පසු හත් දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ බල්ලන් පස් දෙනෙකුම නිවෙස් වෙත පැමිණ ඇති බවයි. මෙම අයිතිකාරිය අනෙක් බල්ලන් දෙදෙනෙකුගේ අයිතිකරුවන්ගේ අසල්වැසියෙකු වූවාය. කෙසේ වෙතත්, සහන කණ්ඩායමේ ස්වේච්ඡා සේවකයන්ට ඉතිරි බල්ලන් දෙදෙනා දැක ගැනීමට නොලැබුණු අතර ඔවුන් සිටින තැනක් පිළිබඳවද තොරතුරක් නොවීය.

ජිමු නිවුස් සහ සහන කණ්ඩායමට අනුව, කෝර්ජි බල්ලාගේ නම “ඩාපං” (Dapang – අර්ථය ලොකු මහතා) වේ. ජර්මන් ෂෙපර්ඩ් බල්ලාගේ නම “සිබාඕ” (Sibao – අර්ථය නිධන් හතරක්) ය. ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලාගේ නම “හුවාංමාඕ” (Huangmao – අර්ථය කහ ලොම්) ලෙස ජිමු නිවුස් වාර්තා කළද, සහන කණ්ඩායම පැවසුවේ එහි නම “චැංමාඕ” (Changmao – අර්ථය දිගු ලොම්) බවයි.

මෙම සුනඛයන් තම අයිතිකරු සමඟ නැවත එක්වන දර්ශන ඇතුළත් වීඩියෝවක් සහන කණ්ඩායම විසින් මාර්තු 19 වන දින ඩොයින් (Douyin) හි පළ කර තිබූ අතර, එහි අයිතිකරුගේ මුහුණ අපැහැදිලි (censored) කර තිබුණි.

බල්ලන් සොරකම් කර නොමැති බව ජිලින් සංචාරක කාර්යාංශය පවසයි

මාර්තු 21 වන දින, ජිලින් ප්‍රාන්ත සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ වීඩියෝවක් පළ කළ අතර, එහි ෆෙන්ග් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක හඬ පටිගත කිරීමක් ලෙස ඇතුළත් කර තිබුණි.

මෙම වීඩියෝවට බල්ලන්ගේ මුල් දර්ශන සහ ඔවුන් තම අයිතිකරුවන් සමඟ නැවත එක්වන සැබෑ දර්ශන මෙන්ම, AI (කෘතිම බුද්ධිය) මගින් නිර්මාණය කරන ලද කොටස් ද ඇතුළත් කර තිබූ අතර ඒ පිළිබඳව වීඩියෝවේ සඳහන් කර තිබුණි. එසේම, ජර්මන් ෂෙපර්ඩ් බල්ලා තුවාල ලබා සිටි බවත් අනෙකුත් බල්ලන් ඌව ආරක්ෂා කළ බවටත් පැතිර ගිය ප්‍රකාශ පිළිබඳව ද එහි කරුණු දක්වා තිබුණි.

ජිලින් සංචාරක කාර්යාංශය

ඊසානදිග චීනයේ අධිවේගී මාර්ගයක් අසල සුනඛයන් හත් දෙනෙකු ගමන් කරන වීඩියෝව සත්‍ය වුවද, එය නීති විරෝධී ප්‍රවාහනයකින් බේරී පලා ආ පිරිසක් බවට සාක්ෂි නොමැති බව බලධාරීන් පවසයි. ජිලින් සංචාරක කාර්යාංශයට අනුව, ලිංගික අවශ්‍යතාවයන් උද්දීපනය වූ ගැහැණු සුනඛයෙක් පසුපස හඹා යාමේදී නිවෙස්වලින් බැහැර වූ සුනඛයන් පස් දෙනෙකු කෝර්ජි සුනඛයෙකුගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිතව ආපසු නිවෙස් බලා ගොස් ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, චීනයේ සුනඛ මස් සාප්පුවක සේවය කරන සොරුන් විසින් සුනඛයින් 7 දෙනෙකු සොරකම් කර, ට්‍රක් රථයකින් රැගෙන යනවිට සුනඛයින් හත් දෙනා ට්‍රක් රථයෙන් පැන ගොස්, දින දෙකකින් කිලෝමීටර් 17ක් ගමන් කර නිවසට පැමිණෙන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වන වීඩියෝව නොමග යන සුළු බවයි. 

එම වීඩියෝවේ දැක්වෙන සුනඛයින් 7 දෙනා දැක්වෙන වීඩියෝව සත්‍ය අවස්ථාවක වීඩියෝවක් වූවත්, ඊට පසුබිම් වූ කතාව ලෙස දක්වා ඇති එම සුනඛ රංචුව මාංශ සඳහා පැහැරගෙන ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර ජිලින් සංචාරක කාර්යාංශයට අනුව ඔවුන් ලිංගික අවශ්‍යතාවයන් උද්දීපනය වූ ගැහැණු සුනඛයෙක් පසුපස හඹා යාමේදී නිවෙස්වලින් බැහැර වූ අවස්ථාවක පටිගත කර ඇති වීඩියෝවක් වේ.

Result Stamp

Title: මාංශ සඳහා රැගෙන ගිය බවට පළ වූ සුනඛයින් 7 දෙනොගේ කතාව බොරුවක්!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *