ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් ගැන පවසන නොමග යවන සුළු සටහන් පෙළක්!

False Internatioanl Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සෞදි අරාබිය උග්‍ර ජල ගැටලුවකට මුහුණ පාමින් සිටින බවත් ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහරාජය ආශ්‍රිත සහ නකලස් ආශ්‍රිත ජලය සෞදි අරාබිය වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවත් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ශ්‍රි ලංකාවෙන් පිරිසිදු ජලය සෞදි අරාබියට අපනයනය කරන්න සියල්ල සූදානම්…අපේ රටට මාසිකව ඩොලර් මිලියන 25 ක ආදායමක්” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

ඊට සමාන තවත් සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook Facebook Facebook 

සැබෑ ලෙසම ශ්‍රී ලංකාව සෞදි අරාබියට පිරිසිදු ජලය අපනයනය කිරීමේ සූදානමක් පවතී ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 මාර්තු 28 වන දින  සිට ඇති වූ යුධ ගැටුම් මධ්‍යයේ ඉරානය සෞදි අරාබිය සහ අනෙකුත් ගල්ෆ් රටවල බලශක්ති සැපයුම් දාම, හමුදා කඳවුරු සහ සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. යුධමය තත්වය හමුවේ මැදපෙරදිග රටවල ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය හැකි බවත්, ඉරානය විසින් ලවණ ඉවත් කිරීමේ කම්හල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පහර දුන්නොත්, ගල්ෆ් කලාපය පුරා ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කරන බවට ඉරානය විසින් තර්ජනය කළද විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කටාර්හි ජල පිරිපහදු  මධ්‍යස්ථානවලට එල්ල වූ සෘජු ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් තහවුරු කර නැහැ. 

කෙසේ නමුත් මාර්තු 7 සහ 8 යන දිනවල, ඉරානයේ සහ බහරේනයේ ලවණ ඉවත් කිරීමේ කම්හල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වී තිබෙන අතර ඉරානයේ ලවණ ඉවත් කිරීමේ කම්හලකට එක්සත් ජනපදය පහර දුන් බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබෙනවා. එසේම බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ එහි බලාගාරයට ඉරාන ඩ්‍රෝන යානයක් පහර දුන් බවයි. බහරේනයේ ලවණ ඉවත් කිරීමේ කම්හලට සිදු වූ හානිය ගම්මාන තිහක පමණ ජල සැපයුමට බලපෑ බව වාර්තා වනවා. ගැටුම් අතරතුර ලවණ ඉවත් කිරීමේ කම්හල්වලට මිසයිල ආශ්‍රිත හානි සිදු වූ බව කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා නැහැ

මෙවැනි පසුබිමක් තුළ සෞදි අරාබිය විසින් ශ්‍රී ලංකාවෙන් පිරිසිදු ජලය ආනයනය කිරීමේ සූදානමක් පවතී ද යන්න සමබන්ධයෙන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සෞදි අරාබියේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් හමු වුණේ නැහැ.

සෞදි අරාබිය 2030 වන විට රටේ මුළු ජල ඉල්ලුමෙන් 90% ක් ලවණ ඉවත් කිරීම හරහා සපුරාලීමට අපේක්ෂා කරන අතර ඉතිරි 10% භූගත හා මතුපිට ජලයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා

සෞදි අරාබිය ලොව විශාලතම ලවණ ඉවත් කළ ජලය නිපදවන රටක් වන අතර සෞදි පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය 2030 වන විට රටේ මුළු ජල ඉල්ලුමෙන් 90% ක් ලවණ ඉවත් කිරීම හරහා සපුරාලීමට අපේක්ෂා කරන අතර ඉතිරි 10% භූගත හා මතුපිට ජලයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

අනාගතයේදී තවදුරටත් ලවණ ඉවත් කළ ජලය මත ගල්ෆ් කලාපයේ යැපීම  වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා

අනාගතයේදී තවදුරටත් ලවණ ඉවත් කළ ජලය මත ගල්ෆ් කලාපයේ යැපීම  වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. විශේෂයෙන්  සෞදි අරාබිය ඉදිරි වසරවලදී අමතර බලාගාර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 80 ක් පමණ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

විදේශ කටයුතු අමාත්‍යාංශය

අප විසින් සිදු කළ විමසීමේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම් එස්. එන්. එම් සකීෆ් මහතා විසින් සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාශය එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවයි.

අධ්‍යක්ෂ අපනයන කෘෂිකර්ම – අපනයන සංවර්ධන මණ්ඩලය

අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනක් සංජීව මහතා විසින් සඳහන් කළේ මෑතකාලීනව ඇති වූ යුධමය තත්වයට පෙර සිට ඇතැම් ශ්‍රී ලාංකික සමාගම් ගල්ෆ් කලාපය වෙත සාමාන්‍ය ප්‍රමාණයෙන් ආහාර පාන අපනයනය කිරීමේ ක්‍රියාවලීන්වල නිරත වූ බවත්, නමුත් මෙම අවස්ථාවේ දී යුධමය තත්වය මත පදනම්ව සෞදි අරාබිය වෙත ජලය අපනයනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව විසින් සෞදි අරාබිය වෙත පිරිසිදු ජලය අපනයනය කිරීමට සූදානම් යනුවෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. සෞදි අරාබිය විසින් 2030 වන විට සමස්ත ජල අවශ්‍යතාවයෙන් 90%ක් ලවණ ඉවත් කිරීමට හරහා සපුරා ගැනීමට සැලසුම් කර ඇති අතර සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සැලසුමක් මේ වන විට නොමැති බවට ජනාධිපති මාධ්‍ය අංශයත්, එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවට විදේශ කටයුතු අමාත්‍යංශය ත් අපනයන සංවර්ධන මණ්ඩලයත් තහවුරු කර තිබෙනවා.

Result Stamp

Title: ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් ගැන පවසන නොමග යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *