පේරාදෙණිය රෝහලේ දී අඩි 03 ක කොණ්ඩයක් සහිත දරුවෙක් උපත ලබලා ද ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජය නොමඟ යැවීමේ අරමුණින් දරුවන් මුල් කරගත් සංවේදී කරුණු ආශ්‍රයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදා හරින සිදුවීම් බහුලව නිරීක්ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය තොරතුරු සීඝ්‍රයෙන් සමාජගත වීම ද  සිදු වනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ එලෙස ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ යුතු කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පේරාදෙණිය රෝහලේදී මවක් විසින් අඩි තුනක කොණ්ඩයක් සහිත දරුවකු බිහි කර ඇති බව දක්වමින් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ ෆේස්බුක් සටහන සත්‍යයක් ලෙසට විශ්වාස කරමින් බොහෝ පිරිසක් එය හුවමාරු කර ගෙන තිබුණා.

Facebook Facebook Facebook Youtube Youtube 

තවත් බොහෝ දෙනෙක්  මව සහ දරුවාට සුබ ප්‍රාර්ථනා කරමින් නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කර තිබුණේ මෙලෙසින්.

අතිශය විරල සිදුවීමක් ලෙස හඳුනාගත හැකි මෙම සිදුවීම සැබෑ ලෙසම සිදු වූවක් ද යන්න තහවුරු කරගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අතිශය විරල ගණයේ එවැනි උපතක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු මෙරට මාධ්‍යවල මෙන්ම විදෙස් මාධ්‍ය වල පවා ඒ පිළිබඳව වාර්තා වී තිබිය යුතු යි. නමුත්  එවැනි පුවතක් කිසිදු  මාධ්‍යක් විසින් වාර්තා කර නොමැති බව අප සිදු කළ මූලික කරුණු පරීක්ෂාවේදී තහවුරු වුණා. ඒ අනුව අප මේ සම්බන්ධයෙන් ඝෘජුවම පේරාදෙණිය රෝහලෙන් විමසීමක් සිදු කළා. 

පේරාදෙණිය ශික්ෂණ රෝහල 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන  ආකාරයට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මවකට අඩි 3ක් දිග කෙස් කළඹක් හිමි දරුවෙක් උපත ලබා ඇත් දැයි අප පේරාදෙණිය රෝහලෙන් විමසීමක් සිදු කළා. එහිදී රෝහල් ප්‍රකාශිකාවක පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බවත් පේරාදෙණිය රෝහලේ එැවනි දරු උපතක් සිදු නොවූ බවත් ය. එම අසත්‍ය සටහන හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියා.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය අප විසින් කෘතිම බුද්ධි හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කර පරීක්ෂා කරන ලද අතර එහිදී තහවුරු වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

උපතින් පසු වැඩිම දිගක් සහිත හිසකෙස් වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ නිතාරා විග්නේෂ් (2024) නමැති බිළිඳියගෙනි. ඇගේ කොණ්ඩයේ දිග අඟල් 16.5 කි.

ලොව දිගුම ජන්මානුගත හිසකෙස් සහිත ළදරුවා ලෙස ලෝක වාර්තාව 2024 සැප්තැම්බර් 24 වන දින ඉන්දියාවේ තිරුවාරූර් (තමිල්නාඩු) හිදී නිතාරා විග්නේෂ් විසින් ලබා ගෙන තිබෙනවා. මාස 8 යි දින 22 ක් වන විට නිතාරා විග්නේෂ් අඟල් 16.5 ක් දිගු හිසකෙස් සහිත වී ඇති අතර, දිගුම සංජානනීය හිසකෙස සහිත ළදරුවා ලෙස මීට පෙර පිහිටුවා තිබූ අඟල් 15.5 ක වාර්තාව බිඳ දමා මේ හරහා නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

Youtube

කෙසේ නමුත් උපදින විට අඩි තුනක් (අඟල් 36ක්) පමණ දිග කොණ්ඩයක් සහිත දරුවන් ගැන ලොව පුරා කිසිදු නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයක් නොමැත. අලුත උපන් බිළිඳකුගේ සාමාන්‍ය උස අඟල් 18-20ක් (අඩි 1.5ක් පමණ) වන බැවින්, දරුවාගේ ශරීරයට වඩා දෙගුණයක් දිග කොණ්ඩයක් සහිතව උපත ලැබීම ජීව විද්‍යාත්මකව සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම සිදුවීමක් ලෙස හදුනාගත හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පේරාදෙණිය රෝහලේ දී මවක් අඩි 03ක කොණ්ඩයක් සහිත දරුවෙකු බිහි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. එවැනි දරු උපතක් සිදු නොවූ බව ට පේරාදෙණිය ශික්ෂණ රෝහල තහවුරු කළා. ඒ අනුව මෙම සටහන් සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර පළ කරන ලද සටහන් බව හඳුනා ගත හැකියි.

Result Stamp

Title: පේරාදෙණිය රෝහලේ දී අඩි 03 ක කොණ්ඩයක් සහිත දරුවෙක් උපත ලබලා ද ?

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *