අප්‍රේල් 10 වැනිදා පුනරීන්වල සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් අරඹනවා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වර්තමානයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ වේදිකාවක් බවට පත් කර ගෙන ඇති ආකාරයක් පෙන්නුම් කරයි. මෙලෙස ව්‍යාජ තොරතුරු පළ කිරීමේදී ඒවායෙහි සත්‍යතාවක් ඇති බවට හැඟවීම සඳහා ඇතැම් අවස්ථාවල රටේ පමණක් නොව ජත්‍යන්තරව පිළිගත් චරිත පවා ඈදා ගන්නා ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස පළ කරන ලද සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ලෝක යුද්ධයක් පවතින අවස්ථාවක වුවද රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවන බව හැඟී යන අයුරින් පළ කර ඇති මෙම සටහනෙන් ප්‍රකාශ වන්නේ, ලබන අප්‍රේල් 10 වැනිදා පුනරීන්හි සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිත බවයි. 

එය ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව හා මාලිමා රජයේ සැලසුමකට අනුව 100% රාජ්‍ය ව්‍යවසයකත්වය මත වසරක් වැනි කෙටි කාලයක් තුළ ගොඩ නගා ජාතියට පැවරෙන බවත්  පළමු අදියර යටතේ මාසිකව සල්ෆියුරික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 100 නිපදවීමටත් ඍජු රැකියා 300 ජනනය කිරීමටත් සැලසුම් කර ඇති  බව ද එහි සඳහන් ය. මූලික අදියරේදී සියලුම නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කරන බවත් ඉන් වාර්ෂිකව ඩොලර් මිලියන 200ක් පමණ ආදායමක් අපේක්ෂා කරන බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙය විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ඝෘජු අධීක්ෂණය යටතේ සිදුවන බවයි. 

මේ අතර තොරතුරු මූලාශ්‍රයක් පිළිබඳ හෝ සඳහනක් නොමැති මෙම සටහනේ අන්තර්ගත කරුණු සත්‍ය බවට විශ්වාසය පළ කරමින් විශාල පිරිසක් එය හුවමාරු කර ගෙන ඇති ආකාරය ද නිරීක්ෂණය වේ.  

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි 100% රාජ්‍ය ව්‍යවසයකත්වය යටතේ අප්‍රේල් 10 වැනිදා පුනරීන්හි සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක ඉදි කිරීම් ආරම්භ කෙරෙන්නේ නම්, ඒ පිළිබඳව රාජ්‍ය මාධ්‍ය ඇතුළු වෙනත් මාධ්‍ය ධාරාවල මෙන්ම රජයේ නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හෝ යම් පමණක හෝ පූර්ව ප්‍රචාරණයක් සිදු කර තිබිය යුතු නමුත් කිසිදු මාධ්‍ය ධාරාවක් ඔස්සේ තවත් දින කිහිපයකින් සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක් ඉදි වන බවට වාර්තා කර නොමැත.

ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව මෙම කර්මාන්තශාලාව ඉදිවන බවට සඳහන් වීම තුළ ජනාධිපතිවරණයට පෙර ප්‍රචාරක රැලිවලදී ජනාධිපතිවරයා එවැනි පොරොන්දුවක් දී තිබුණේ ද යන්න පරීක්ෂා කර බැලූ අතර එහිදී 2024 ජූලි 14 වැනිදා අනුර කුමාර දිසානායක මහතා ගම්පහ තරුණ රැළියකදී පරන්තන් රසායනික කම්හල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති බව නිරීක්ෂණය විය. පරන්තන්හි රාසායනික කර්මාන්තශාලාව යළි ආරම්භ කරන බවත් එහි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට අදහස් කරන බවත් පවසන අනුර කුමාර දිසානායක මහතා ඒ හරහා උත්පාදනය වන රැකියා අවස්ථා පිළිබඳව ද එහිදී සඳහන් කරයි. 

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන් පරිදි පුනරීන්හි සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක් ඉදි කරන බවක් ඔහු එහිදී ප්‍රකාශ නොකරන අතර පරන්තන් කර්මාන්ත ශාලාව යළි අරඹා එහි  සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව පමණක් ප්‍රකාශ කරයි. 

වසර 40කට පසු පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ඇරඹේ 

පැවති යුදමය වාර්තාවරණය හමුවේ 1985 වසරේදී වසාදැමුණු පරන්තන් රසායනික කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා 2026 ජනවාරි 22 මුල්ගල් තැබුණේ,  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි. 

රුපියල් මිලියන 6900ක අයෝජනයකින් පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී  යළි ඉදිවන මෙම කර්මාන්තශාලාව මාස 30කින් ඉදිකිරීමට නියමිත අතර මෙම කර්මාන්තශාලාවේ මඟින් දේශීය වෙළඳපොළ ඉල්ලීම සංතෘප්ත කිරීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතයි.

1985 වසරේදී කර්මානත ශාලාව වසා දැමීමට පෙර එහි දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් කෝස්ටික් සෝඩා, ද්‍රව ක්ලෝරීන් ප්‍රධාන නිෂ්පාදන ලෙස සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ මේස ලුණු අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කළ  කර තිබිණ. විස්තර මෙතැනින්, මෙතැන් සහ මෙතැනින් 

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව යළි ඉදි කර එහි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය අරඹන බව ප්‍රකාශ කළ ද ජනවාරි මාසයේ මුල්ගල් තැබුණු කර්මනතශාලාවේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන බවට වාර්තා නොමැත. 

සී/ස පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානන්දන් නෙසරාජන් 

සී/ස පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානන්දන් නෙසරාජන් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ සත්‍යතාවක් නොමැති බවයි.  තව ද පුනරීන් ප්‍රදේශයේ එවැනි රසායනික කර්මාන්ත ශාලාවක් ඉදි නොවන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.  

මේ අතර පසුගිය ජනවාරි මාසයේ ඉදි කිරීම් ආරම්භ කළ පරන්තන් රසායනික කර්මන්තශාලාව තුළ ඉදිරියේදී සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන්නේ දැයි අප සභාපතිවරයාගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කළේ, එහි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා නොකරන බවයි. 

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

ඉහත සමාජ මාධ්‍ය සටහනට අනුව පුනරීන් කර්මාන්ත ශාලාව විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ඝෘජු අධීක්ෂණය යටතේ සිදුවන බව එහි සඳහන්වී තිබූ නිසා අප ඒ පිළිබඳ විමසීම සඳහා මහාචාර්යවරයා  දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.  මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන තමන් සහ රජය අපහසුතාවට පත් කිරීම ම අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.

තව ද සමාජ මාධ්‍යයේ දැක්වෙන පරිදි පුනරීන්හි එවැනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමේ  කිසිදු සූදානමක් නොමැති අතර  පොස්පේට් පොහොර නිෂ්පාදනය සහ සල්ෆියුරික් නිෂ්පාදනය සඳහා වන කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සූදානම් කරමින් පවතින බව මහාචාර්යවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම ව්‍යාපෘතියට අදාළව අභිලාෂ (EOI) කැඳවා අවසන් බවත් අවසාන වටයට තේරී සිටින ආයෝජකයින්ගෙන් මේ වනවිට යෝජනාව සඳහා ඉල්ලීම (RFP) කැඳවා ඇති බවයි. 

තව ද මහාචාර්යවරයා සඳහන් කළේ,  එක් අවස්ථාවක පරන්තන්හි සල්ෆියුරික් නිෂ්පාදනය කිරීමෙන් පසු එසේ නිෂ්පාදනය කරන සල්ෆියුරික් අම්ලය, එප්පාවල පොස්පේට් කර්මාන්තශාලාව ඉදිකිරීමෙන් පසු එම ස්ථානයට ගෙන ඒමට අදහසක් තිබූ නමුත් උද්ගත වියහැකි ගැටලුකාරී තත්ත්වයන් සලකා කර්මාන්ත ශාලා දෙකම එකම ස්ථානයක ඉදි කිරීමට යෝජනා වූ බවයි. 

සල්ෆියුරික් කර්මාන්තශාලාවේ අවශ්‍යතාව පැහැදිලි කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ, මෙරට ඇති පොස්පේට් දීර්ඝ කාලීන භෝග සඳහා සුදුසු වුවත් කෙටි කාලීන භෝග සඳහා භාවිත කළ නොහැකි බැවින් එලෙස භාවිත කිරීමට නම්, ඒවා Single Superphosphate බවට පත්කළ යුතු බවත්, ඒ සඳහා සල්ෆියුරික් අම්ලය අවශ්‍ය කරන බවත් ය. 

මේ අතර මහාචාර්යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, පොස්පේට් ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව පළමු අදියර යටතේ සල්ෆියුරික් පිටරටින් ආනයනය කර පොස්පේට්වලින් සුපර් පොස්පේට්  නිෂ්පාදනය කිරීම සහ දෙවැනි අදියර යටතේ සල්ෆියුරික් කර්මාන්ත ශාලාව ඉදි කර පොස්පේට් පොහොර නිෂ්පාදනය ඇතුළු අනෙකුත් කර්මාන්ත අවශ්‍යතා සඳහා එමගින් සල්ෆියුරික් අම්ලය සපයා ගැනීමයි. කෙසේ වෙතත් ඉදිරිපත්වී සිටින ඇතැම් ආයෝජකයින් කර්මාන්ත ශාලා ද්විත්වයම එකම අවස්ථාවේ ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.   

මේ අතර පරන්තන් කර්මාන්තශාලාව පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, එය  රාජ්ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ඉදි කරන බවත් එහි හයිඩ්‍රොක්ලෝරික්, ක්ලෝරින් වැනි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර පරන්තන් කර්මාන්ත ශාලාවේ දැනට සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේ තීරණයක් නොමැති බව ද ඔහු සඳහන් කළා.   

සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසන්නේ, සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන සාවද්‍ය තොරතුරු ඇතුළත් ව්‍යාජ සටහනක් බවයි. 

Facebook 

 ජනාධිපති මාධ්‍ය අංශය 

මේ අතර අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය ද ප්‍රකාශ කළේ, පුනරීන්හි සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක් ඉදිවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යක් බවයි.  

ලොව විශාලතම තෙත් වායු සල්ෆියුරික් අම්ල කර්මානත ශාලාවේ ඡායාරූපයක් 

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපයේ කඳු සහිත ස්ථානයක් පෙන්නුම් කරන අතර ඒ අනුව එම ස්ථානය පුනරීන්හි  ස්ථානයක් නොවන බව බැලූ බැල්මට පෙනී යයි.  ඒ අනුව එම ස්ථානය කුමක්ද යන්න සිදු කළ පරීක්ෂාවේදී  තහවුරු වූයේ, සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය සල්ෆියුරික් අම්ල ටොන් 300,000 ක නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත  චීනයේ පිහිටි ලොව විශාලතම තෙත් වායු සල්ෆියුරික් අම්ල කර්මානත ශාලාවේ ඡායාරූපයක් බවයි.  ඡායාරූප සහිත වාර්තා මෙතැනින් සහ මෙතැනින්

සල්ෆියුරික් අවශ්‍යතාව සපුරා ගන්නේ ආනයනය මගින්  

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සල්ෆියුරික් අවශ්‍යතාව සපුරා ගනු ලබන්නේ ආනයනය මගින් වන අතර පසුගිය වසර කිහිපය ඇතුළත ඉන්දියාව, චීනය, මැලේසියාව, ප්‍රංශය වැනි රටවලින් මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කර ඇති බව දත්ත අනුව පෙන්නුම් කරයි. විස්තර මෙතැනින් සහ මෙතැනින්  

කාර්මික සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය පිළිබඳ කෙටි විශ්ලේෂණය

සල්ෆියුරික් අම්ලයේ කාර්මික නිෂ්පාදනය සාමාන්‍යයෙන් Contact Process නම් ක්‍රියාවලියට  සම්බන්ධ වන අතර එයට පහත පියවර ඇතුළත් වේ:

  1. සල්ෆර් හෝ සල්ෆයිඩ් ලෝපස් දහනය කිරීම:
    • සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) නිපදවීම සඳහා ඔක්සිජන් ඉදිරියේ සල්ෆර් දහනය කරයි.
    • S+O2→SO2S + O₂ → SO₂S+O2→SO2
  2. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් බවට පරිවර්තනය:
    • පරිවර්තකයක වැනේඩියම්(V) ඔක්සයිඩ් උත්ප්‍රේරකයක් භාවිතයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් පසුව සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් (SO₃) බවට ඔක්සිකරණය වේ.
    • 2SO2+O2⇌2SO32SO₂ + O₂ ⇌ 2SO₃2SO2+O2⇌2SO3
  3. සල්ෆියුරික් අම්ලය සෑදීම:
    • සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ අවශෝෂණය කර ඔලියම් (H₂S₂O₇) සාදයි.
    • SO3+H2SO4→H2S2O7SO₃ + H₂SO₄ → H₂S₂O₇SO3+H2*SO4→H2+S2O7
    • පසුව සල්ෆියුරික් අම්ලය සෑදීමට ඔලියම් ජලය සමග තනුක කරනු ලැබේ.
    • H2S2O7+H2O→2H2SO4H₂S₂O₇ + H₂O → 2H₂SO₄H2*O7+H2O→2H2*SO4

සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනයට අදාළව මීට පෙර සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින් 

Also Read : මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයට අප්‍රේල් 10 වැනිදා පුනරීන්හි සල්ෆියුරික් කාර්මාන්ත ශාලාවක් ඉදි කිරීම සඳහා රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. එවැනි සූදානමක් නොමැති බව තහවුරු වීම තුළම අදාළ සමාජ මාධ්‍ය සටහනේ අන්තර්ගත අනෙකුත් තොරතුරු ද අසත්‍ය බව ගම්‍යමාන වේ. මේ අතර 2026 ජනවාරි මාසයේදී පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් යළි ඇරඹුණ ද එම කර්මාන්තශාලාව කේන්ද්‍ර කරගනිමින් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේ සූදානමක් නැත.  විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාට අනුව පොස්පේට් පොහොර නිෂ්පාදනය සහ සල්ෆියුරික් නිෂ්පාදනය සඳහා වන කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලයේ කප්පල්තුරෙයි ප්‍රදේශයේදී ඇරඹීමට නියමිතව ඇත. 

Result Stamp

Title: අප්‍රේල් 10 වැනිදා පුනරීන්වල සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් අරඹනවා ද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *