දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
යම් යම් සිදුවීම් අනවශ්‍ය කලබලයක් ඇති කරන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිරන්තරයෙන් සිදුවන්නක්. මේ දිනවලත් දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා කිඹුලන් සිටිනා බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා සංසරණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
කිඹුලෙක්, මිනිසුන් දියේ ගිලෙන ආකාරය අනුකරණය කරමින්, තමන්ව බේරා ගැනීමට පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම සඳහා තම දෑත් දිගු කර මිනිසුන් ගොදුරු කරගන්නා බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල ලෝකය පුරා සංසරණය වෙමින් තිබෙනවා.
එම වීඩියෝව ම Tik Tok සහ Instergram ඔස්සේ ද පළ කර තිබුණේ මේ අයුරින්.
කෙසේ වෙතත් ලෝකය පුරා ම සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සහිතව සමාජ මාධ්‍ය සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද පළ වී තිබූ අතර එම තොරතුර බොහෝදෙනා අතර බෙදාගෙන ද තිබුණා.
එහි සඳහන් කර තිබූ සටහන මෙසේ ය.
“දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා කිඹුලන් ඉන්න පුලුවන් ද?
පසුගිය වසරේදී ,ඉන්දුනීසියාවේ “බැරිටෝ” ගඟේ පිහිනන කිඹුලෙකුගේ අමුතු හැසිරීමක් පෙන්වන වීඩියෝවක් සමාජ ජාලා වල ප්‍රචලිත වුනා 😶🌫️
එහි දැක්වෙන ආකාරයට, කිඹුලෙකු තම අත් ජලයෙන් උඩට ඔසවා දියේ ගිලෙන මිනිසෙකු ආකාරයෙන් ජලය තුල දඟලයි.
මෙය දුටු මිනිසෙක් , කෙනෙකු ජලයේ ගිලෙනවා යැයි වරදවා වටහාගෙන උදව් කිරීම සඳහා ජලයට බැස ඒ දෙසට පිහිනා යාමටද උත්සහ කල බව සමහර වෙබ් අඩවිවල වාර්තා කර ඇත. (තහවුරු කර නොමැත)
කෙසේවෙතත් මෙම කිඹුලාගේ දර්ශනය යම්තාක් දුරට බියජනක වන අතර හොඳින් නිරික්ෂණය කිරීම තුලින් කිඹුල් අතක සහ මිනිස් අතක වෙනස මිනිසුන්ට හඳුනාගත හැකි වනු ඇත.
සමහර අය විසින් අනුමාන කරන්නේ මෙය කිඹුලන් විසින් ගොදුරු තමා වෙතට ලඟා කරගැනීම සඳහා යොදාගන්නා උපක්‍රමයක් වියහැකි බවයි 👀
නමුත් මෙය එක් කිඹුලෙකුගේ චර්යාවක් නිසා මේ පිලිබඳව ස්ථිරවම පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති අතර
බොහෝදුරට මෙය සත්වයාගේ ස්නායු ආබාධයක් හෝ වෙනත් ආබාධ තත්වයක් නිසා සිදුවූවක් විය හැකි බව වාර්තා වේ.
ඩයිනෝසරයන් සිටි යුගයේ සිට විවිධ පරිණාමයන්ට ලක්වෙමින් පැවත එන සත්ව කොට්ඨාසයක් වන කිඹුලන් සතුව යම්තරමක සහජ බුද්ධියක් ඇති බව සමහර පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව පැවසේ 👀
මෙම කිඹුලන් වසරකට මිනිස් ජීවිත 160 – 180 අතර ප්‍රමාණයක් බිලිගන්නා බව වාර්තා වල සඳහන් අතර ,පසුගිය වසරේ එය 167 ක් ලෙස දැක්වේ !
මෙය කිඹුලන්ගේ සාමාන්‍ය චර්යාවක් හෝ යම් අබාධයක ලක්ෂණ වියහැකිබව බොහෝ පර්යේෂකයන් විසින් පවසන අතර , අනියත බියක් ඇතිකරගතයුතු නැති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.”
එබැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පරීක්ෂා කිරීමක් අප සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉන්දුනීසියාවේ “බැරිටෝ” ගඟේ පිහිනන කිඹුලෙකුගේ අමුතු හැසිරීමක් පෙන්වන වීඩියෝවක් සමාජ ජාලා වල ප්‍රචලිත වී තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට, කිඹුලෙකු තම අත් ජලයෙන් උඩට ඔසවා දියේ ගිලෙන මිනිසෙකු ආකාරයෙන් ජලය තුල දඟලන අතර ඒ හරහා බේරා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ගොදුරු කරගන්නා බවට සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සඳහන්ව තිබෙනවා.
මෙම සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වීමත් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණා. එම මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම වාර්තා කර තිබුණේ සිද්ධියට අදාළ විශේෂඥ අදහස් ද සමඟින්.
කිඹුලන් ඔවුන්ගේ බුද්ධිය සඳහා ප්‍රසිද්ධ වන අතර “නවීන දඩයම්කරුවන්” ලෙස සැලකෙන නමුත් ඔවුන් හිතාමතාම මිනිසුන්ව ජලයට ඇද දැමිය හැකි බවට ඇති අදහස විශේෂඥයින් මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව මිසූරි විශ්ව විද්‍යාලයේ ව්‍යාධි විද්‍යාව සහ ව්‍යුහ විද්‍යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය කේසි හොලිඩේ පවසන්නේ, කිඹුලෙකු විපතට පත්වන විට හිතාමතාම ක්‍රියා කිරීම පිළිබඳ සංකල්පය “උමතු” බවයි.
LAD Bible වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, සත්ව විද්‍යාඥ ග්රැහැම් වෙබ් මෙම අදහස කිසිදු සත්‍ය පදනමක් නොමැති සම්පූර්ණ නිර්මාණාත්මක දෙයක් බව පවසා තිබෙනවා. කිඹුලාගේ වලිගය වෙනත් සත්ත්වයෙක් අල්ලාගෙන තිබීම නිසා හෝ එය සාමාන්‍යයෙන් පිහිනීමට නොහැකි වීම නිසා ඇති වූ තත්වයක් ද විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.
ඕස්ට්‍රේලියාවේ චාල්ස් ඩාවින් විශ්ව විද්‍යාලයේ මානව හා කිඹුල් ගැටුම පිළිබඳ පර්යේෂකයෙකු වන බ්‍රැන්ඩන් සයිඩ්ලියු, පවසන්නේ,කිඹුලාගේ මුඛයේ ගොදුරක් සිටින්නට ඇති බවත්, එම නිසා මෙවැනි අසාමාන්‍ය හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකි බවත් ය.
ඒ අනුව කිඹුලාගේ මුඛයේ ගොදුරු අයිතම කිහිපයක් තිබෙන්නට ඇති බවත්, සමහර ගංගාවල කිඹුලන් දිය යට කැරකෙන විට බ්‍රැන්ඩන් සයිඩ්ලියු එවැනි කිඹුලන් දැක ඇති බවත් උන්ගේ හකුවල ආහාර ඇති විට උන් දෑත් ඉහළට ඔසවාගෙන සිටිනු මෙලෙස පෙනෙන්නට ඇති බවත් ඔහු පෙන්වාදෙනවා.
එය බ්‍රැන්ඩන්ගේ අනුමානය වන බවත් එය ස්නායු රෝගයක් වීමට ඉඩ බවත් ඔහු පවසනවා.
එමෙන් ම ඔහු මීට පෙර ‘ අසාමාන්‍ය ‘ හැසිරීම් දැක ඇති නමුත්, ඒ සියල්ල සඳහා සාධාරණ පැහැදිලි කිරීමක් ඇති බවයි.
මෙම වීඩියෝව වටා ගොඩනැඟී ඇති වැරදි තොරතුරු හේතුවෙන් කිඹුල් ගහනය කළමනාකරණය කරන කෙරෙහි එය බලපෑ හැකි බව ද බ්‍රැන්ඩන් වැඩිදුරටත් පවසනවා.
ඕස්ට්‍රේලියාවට වඩා අඩු කිඹුලන් සංඛ්‍යාවක් සිටින ඉන්දුනීසියාවේ වාර්ෂිකව කිඹුලන් විසින් දළ වශයෙන් පුද්ගලයින් 100 ක් පමණ මිය යන බව විශේෂඥයා තවදුරටත් පැවසීය.
ඔහු මෙසේ ද පවසනවා. කිඹුලන් බොහෝ බුද්ධිමත් නමුත් ඔවුන් නිසැකවම ගොදුර ආකර්ෂණය කර ගැනීම සඳහා දියේ ගිලෙන පුද්ගලයෙකු අනුකරණය නොකරනු ඇති බවයි.
කිඹුලන් දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා සිදුවීම් වාර්තා වී තිබෙනවා ද?
ලොව පුරා වාර්ෂිකව කිඹුලන් 1,000 ක් පමණ මිය යන බවට ගණන් බලා තිබෙනවා.
කිඹුලන් නිසා සිදුවන භයානකම මරණ බොහෝ විට සිදුවන්නේ ඉහළ කිඹුල් ගහනයක් සහ මිනිස් ක්‍රියාකාරකම් ඇති ප්‍රදේශවල වන අතර, බීබීසී වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ගෝලීය වශයෙන් වැඩිම කිඹුල් ප්‍රහාර සංඛ්‍යාවක් ඇතිවන බවත්, ගුස්ටාව් නම් කිඹුලෙකු බුරුන්ඩි හි පුද්ගලයින් 300 කට වඩා මරා දමා ඇති බවත්ය. (මූලාශ්‍ර, මූලාශ්‍ර)
නමුත් ලෝකයේ මෙතෙක් කිඹුලන් දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා සිදුවීම් වාර්තා වී ඇති බවට සාක්ෂි නොමැත.
ශ්‍රී ලංකාවේ කිඹුලන්ගෙන් වූ ජීවිත හානි
ශ්‍රී ලංකාවේ, අනෙකුත් මිනිස්-වනජීවී ගැටුම් හා සසඳන විට කිඹුල් ප්‍රහාර සාපේක්ෂව දුර්ලභ වුවද, 2017 දී අරුගම්බේ බොක්කෙහි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකුගේ මරණය සහ 2020 දී නිල්වලා ගඟේ පොලිස් නිලධාරියෙකුගේ මරණය ඇතුළු මරණ අවස්ථා තිබෙනවා. (මූලාශ්‍ර, මූලාශ්‍ර)
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නෙ, කිඹුලෙකු දියේ ගිලෙන ආකාරයේ ඉන්දුනීසියාවේ සිදුවූ සිදුවීමක වීඩියෝව සමඟ සංසරණය වන සටහන්වල දැක්වෙන ආකරයේ කිඹුලෙක්, මිනිසුන් දියේ ගිලෙන ආකාරය අනුකරණය කරමින්, තමන්ව බේරා ගැනීමට පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙලෙස තම දෑත් දිගු කර මිනිසුන් ගොදුරු කරගන්නා බවට පළවන තොරතුරු පදනම් විරහිත බවයි.
එවැනි සිදුවීමකින් සිදුවූ ජීවිත හානියක් පිළිබඳව හෝ මෙතෙක් සාක්ෂි වාර්තා වී නොමැති අතර විශේෂඥයින් පෙන්වාදෙන්නේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ මෙම කිඹුලාගේ හැසිරීම, උන්ගේ හකුවල ආහාර ඇති විට ඇති වන තත්වයක් හෝ කිඹුලාගේ ස්නායුවල ඇති හානියක් මත ඇති විය හැකි තත්වයක් බවයි.

Title:දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා කිඹුලන් ඉන්න පුළුවන්ද?
Written By: Piumika LakshaniResult: Insight
