පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ !

Local Government Election 2025

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන ඡන්ද ක්‍රමය තුළයි.

වසර කිහිපයක් පුරා විවිධ හේතු නිසා කල් දැමුණු පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වීමට දින නියම කර තිබෙනවා. 

ඒ සමඟ ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව මැතිවරණ කොමිසම මඟින් අද(27) නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

එදිනට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අය සඳහා අප්‍රේල් 28 සහ 29 තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ.

ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම 2025.4.7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන බව ද දැනුම්දී ඇත.

තැපැල් ඡන්ද පහසුකම් සැලසිය යුත්තේ කවර පාර්ශ්ව වලට ද?

මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින් සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවනවා.

මෙලෙස ඔවුන් හට විශේෂයෙන් මෙම අවස්ථාව ලබාදී ඇත්තේ, අදාල ඡන්ද දිනයේදී, එදිනට තමාට අදාල මැතිවරණ රාජකාරි හෝ අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල අඛණ්ඩව, බාධාවකින් තොරව යෙදීමට ඉඩ කඩ ලබාදීමටයි.

තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ක්‍රම මොනවාද?

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද විමසීම් පැවැත්වෙන දිස්ත්‍රික්කවලට අදාළ සියළුම ඡන්දහිමි නාමලේඛන‍ ප්‍රදර්ශනය කෙරේ.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලේඛන ප්‍රදර්ශනය කෙරේ.
  • සියළුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ග්‍රාම නිලධාරී වසමට අදාල කොටසේ නාමලේඛන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
  • ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේ දී ගෘහයෙන් ගෘහයට බෙදා ඇති බීසී ආකෘති පත්‍රයේ ලදුපතෙහි අලවා ඇති ඡන්දහිමි නාමලේඛනයේ ඒ ඒ ගෘහයට අදාළ ලියාපදිංචි ඡන්ද හිමියන් ගේ ලැයිස්තුව මගින් ද තොරතුරු ලබාගත හැකිය.
  • රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකය අමතා ද ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර එහිදී අදාළ ඉල්ලුම්කරු විසින් ඔහුගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, පදිංචි දිස්ත්‍රික්කය හා ග්‍රාම නිලධාරී වසම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ ඡන්ද කොට්ඨාස අංකය සහ අනුක්‍රමික අංකය ලබාගත හැකිය.

තැපැල් ඡන්දදායකයෙකු වශයෙන් සලකනු ලැබීම සඳහා කරන ලද ඉල්ලීම පිළිනොගන්නා (ප්‍රතික්ෂේප වන ) අවස්ථා මොනවාද?

  • අයදුම්පතේ පරිපාලන දිස්ත්‍රික්කය වැරදි ලෙස සඳහන් කර ඇති විට,
  • තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමිකමක් නොමැති අවස්ථාවක,
  • අයදුම්පතේ සඳහන් තොරතුරු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි තොරතුරු හා නොගැලපෙන විට,
  • නමට ඇති අනුක්‍රමික අංකය අයදුම්පතේ නිවැරදිව සඳහන් කර නොමැති විට,
  • ඉල්ලුම්කරු ඉල්ලුම්පත අත්සන් කර නොමැති අවස්ථාවක,
  • සහතික කිරීමේ නිලධාරී අයදුම්පත සහතික කර නොමැති අවස්ථාවක,
  • තේරීම්භාර නිලධාරී වෙත අයදුම්පත ප්‍රමාද වී ලැබීම නිසා,

ඡන්ද විමසිම් රාජකාරි සඳහා යොදවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති විට

තැපැල් ඡන්ද අයදුම්පත පිළිගත් ‍බව හෝ නොපිළිගත් බව දැන ගත හැකි ක්‍රමය කුමක්ද?

  • සෑම තැපැල් ඡන්ද අයදුම්පතක් සම්බන්ධයෙන්ම අයදුම්පත පිළිගත් බව හෝ නොපිළිගත් බව දන්වා යවනු ලැබේ.
  • මෙම ලිපිය සහතික කිරීමේ නිලධාරීට පිටපතක් ‍සහිතව අදාළ ඡන්ද හිමියා වෙත යවනු ලබයි.
  • අවශ්‍යයයි තීරණය කරනු ලබන අවස්ථාවන්හිදී අදාළ ලිපියේ පිටපතක් ඡන්ද හිමියාගේ පෞද්ගලික ලිපිනය වෙත ද යැවේ.

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දී පැමිණ සිටිය හැකි අය කවුරුන්ද?

  • තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කාර්ය මණ්ඩලය.
  • තරඟ කරනු ලබන අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිත/ බලයලත් නියෝජිත හෝ පත් කරනු ලබන නියෝජිත එක් අයෙක්.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැක්කේ කුමන අවස්ථාවේදීද?

  • තැපැල් ඡන්ද නාම ලේඛනයේ සඳහන් නම් දෙකක් එකම තැනැත්තාට අයත් බවට පෙනී යන විට හෝ අන්‍ය ආකාරයකින් ඒ බව ඒත්තු යන අවස්ථාවක.

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාලව රහස්‍යතා ප්‍රකාශ අත්සන් කරවා ගත යුත්තේ කවර පුද්ගලයින්ගෙන්ද?

  • තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙතින්,
  • තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරියා තේරීම් භාර නිලධාරී / සහකාර තේරීම් භාර නිලධාරී වෙතින් හෝ තමා විසින්ම.

තැපැල් ඡන්දයට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ ඇසුරිනි. වැඩිදුර තොරතුරු ඔබට මෙතනින් කියවිය හැකි ය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ !

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *