කීල්ස් සුපර් සහ ආර්පිකෝ වෙතින් පැය ගණනකින් මුදල් ඉපැයිය හැකි මාර්ගගත රැකියා ලබාදෙනවා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ආර්පිකෝ සුපර්සෙන්ටර් විසින් සහ කීල්ස් සුපර් යන සුපිරි වෙළඳසැල් මඟින් පැය කිහිපයකින් මුදල් ඉපැයිය හැකි මාර්ගගත රැකියා ලබාදෙන බවට සඳහන් කරමින් සබැඳි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

කීල්ස් වෙතින් සහ ආර්පිකෝ වෙතින් පැය කිහිපයක් ජංගම දුරකතන ඔස්සේ වැඩ කර රුපියල් 15,000ත් 30,000ත් අතර මුදලක් ඉපැයිය හැකි බව සඳහන් කරමින් ඊට ලියාපදිංචි වීමට සබැඳියක් ද සහිතව සමාජ මාධ්‍ය සටහන් සංසරණ වී තිබුණේ මේ  අයුරින්.

මෙම සටහන් එකම ආකෘතියක් ඔස්සේ විවිධ විශාල වැටුප් ප්‍රමාණයන් පැය ගණනක් සඳහා ලබාදෙන බවට සඳහන් කරමින් පළකර තිබෙනවා.

ඇතමුන් මෙම සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව විමසමින් ද සටහන් පළ කර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

සැබවින් ම පැය කිහිපයක් වැඩ කර මෙවැනි ඉහළ මුදලක් දෛනිකව ඉපැයිය හැකි මාර්ගගත රැකියා කීල්ස් සහ ආර්පිකෝ වෙතින් ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප පළමුව කීල්ස් සුපර් ආයතනයේ සහ ආර්පිකෝ ආයතනයට අදාළ විවිධ ව්‍යාපාරවල නිල ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කළ නමුත් ඒවායෙහි ඉහත දැක්වෙන අයුරින් ලබාදෙන රැකියා අවස්ථා සඳහා දැන්වීම් පළ කිරීමක් සිදුව නොතිබුණි.

කීල්ස් සහ ආර්පිකෝ යන ආයතනවලට අදාළ ලින්ක්ඩින් ගිණුම් තුළ ද පරීක්ෂා කළ නමුත් ඒවා ඔස්සේ ද මේ ආකාරයේ රැකියා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු නොතිබුණි.

එබැවින් අප මෙම සබැඳි සහ ඒවා පළ කර ඇති ගිණුම් පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වන්නේ, මෙම රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු පළ කර ඇත්තේ, නිල නොවන වෙනත් ගිණුම්වලින් බවයි. එනම් මෙම දැන්වීම් ආර්පිකෝ හෝ කීල්ස් ආයතනවලින් පළ කළ දැන්වීම් නොවන බව පෙනී යනවා. 

එමෙන් ම මෙම දැන්වීම් සියල්ල එකම ආකෘතියකට සංසරණය වන බව ද පෙනී යනවා. 

කීල්ස් ආයතනයේ දැන්වීම පළ කර ඇත්තේ, Interviewer 205 නම් ගිණුමකින් වන අතර එහි Profile Picture සඳහා යොදාගෙන තිබෙන්නේ Daraz ආයතනයේ ලාංඡනයයි.

ඒ අනුව මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ දැන්වීමක් බව තහවුරුවනවා.

ආර්පිකෝ ආයතනයේ දැන්වීම ද නිල නොවන ගිණුමකින් පළකර තිබුණේ මෙලෙසින්. එයද Daraz ආයතනයේ ලාංඡනය සහිතව Moustapha Warrington නම් ගිණුමකින් පළ කර තිබීම තුළ ව්‍යාජ එකක් බව තහවුරු වනවා.

වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා අප මේ සම්බන්ධයෙන් කීල්ස් සුපර් ප්‍රධාන කාර්‍යාලයෙන් සහ ආර්පිකෝ සුපර්සෙන්ටර් ප්‍රධාන කාර්‍යාලයෙන් විමසීමක් සිදුකළා. 

කීල්ස් සුපර් ආයතනය

කීල්ස් ආයතනය පෙන්වාදෙන්නේ, පැය 2ක් 3ක් වැනි කෙටි කාලයක් නිවසේ සිට සිදුකළ හැකි රැකියා අවස්ථාව කීල්ස් සුපර් ආයතනයේ නොමැති බවයි. රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම් ඔවුන්ගේ ලින්ක්ඩින් ගිණුමේ සහ ෆේස්බුක් පිටුවේ මෙන් ම ඇතැම් අවස්ථාවල විවිධ රැකියා අවස්ථා පළ කළ හැකි වෙබ් පිටු ඔස්සේ පළ කරනු ඇති බවයි. පුවත්පත් තුළ ද දැන්වීම් පළකරන අවස්ථා ද පවතින බවයි ඔවුන් පවසන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පළවන අමතර රැකියා අවස්ථාලෙස සඳහන් දැන්වීම් ව්‍යාජ ඒවා බව කීල්ස් සුපර් ආයතනයෙන් තහවුරු කරනු ලැබුවා.

ආර්පිකෝ සුපර්සෙන්ටර්

ආර්පිකෝ සුපර්සෙන්ටර් හෝ ආර්පිකෝ වෙනත් ව්‍යාපාරවලට අදාළව පැය කිහිපයකින් විශාල මුදලක් ඉපැයිය හැකි ඔන්ලයින් රැකියා අවස්ථා නොමැති බවයි එම ආයතනය අප වෙත පැවසුවේ.

මෙම සබැඳි මඟින් ඔබේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම

මෙවැනි රැකියා අවස්ථා පිළිබඳ සඳහන් කරමින් දක්වා තිබෙන සබැඳි පරීක්ෂා කිරීමේදී පෙනීගියේ ඒ ඔස්සේ පෞද්ගලික තොරතුරු ලබාගන්නා බවයි.

මීට පෙර ද අප මෙවැනි අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කර ඇති අතර මෙවැනි ආකාරයට ඔබේ පෞද්ගලික සංවේදී තොරතුරු රැස් කරන බව පෙන්වාදී තිබෙනවා. 

මේවා තතුබෑම් ප්‍රහාර (Phishing Attack) ලෙස ද හඳුන්වන අතර  අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වන අතර එය එක්තරා ආකාරයක සයිබර් ප්‍රහාරයකි.

එබැවින් තහවුරු කර නොගත් ප්‍රායෝගික නොවන මෙවනි දැන්වීම්වලට නොරැවටී යම් රැකියා අවස්ථාවක් නම් එය නිල ෆේස්බුක් ගිණුම්වලින්, වෙබ් අඩවි වලින් හෝ අදාළ ආයතන අමතා තහවුරු කරගෙන ඔබගේ අයදුම්පත් යොමු කිරීමට සැලකිලිමත්වන්න.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, කීල්ස් සහ ආර්පිකෝ ආයතන වෙතින් නිවසේ සිට පැය 2ක් 3ක් වැනි කාලයක් මාර්ගගත ලෙස වැඩ කර විශාල මුදලක් ඉපැයිය හැකි බවට දක්වමින් සංසරණය වන රැකියා අවස්ථා සහිත දැන්වීම් ව්‍යාජ සබැඳි සහිත ඒවා වන බවයි.

ඒ ඔස්සෙ පුද්ගලික දත්ත ලබාගැනීම සිදුවන අතර නිල නොවන ගිණුම් ඔස්සේ මේවා පළ කර ඇත.

Avatar

Title:කීල්ස් සුපර් සහ ආර්පිකෝ වෙතින් පැය ගණනකින් මුදල් ඉපැයිය හැකි මාර්ගගත රැකියා ලබාදෙනවා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *