මේ දිනවල ගෑස් පෝලිම්වල ඡායාරූප ලෙස හුවමාරු වූ පැරණි ඡායාරූපයක්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ගෑස් හිඟයක් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් පුවත් වාර්තා වීමත් සමඟ, ගෑස් පෝලිම් පිළිබඳ කතාබහක්, මීට වසර කිහිපයකට පෙර සිදුවීම්වලට ඈඳා ගනිමින් යළිත් සමාජයේ තැනින් තැන ඇසෙන්නට පටන් ගෙන තිබේ. මෙවැනි වටපිටාවක් තුළ පැරණි  ගෑස් පෝළිම්වල ඡායාරූපයක් ද යළි හුවමාරු වී තිබුණි. මේ අපි ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පුනරුදේ පෝලිම් යුගය ආරම්භ වූ වගයියන තේමාවෙන් මෑතක දී දැකගන්නට ලැබුණු ගෑස් පෝලිමක දර්ශන පෙළක් බව හඟවමින් ඡායාරූප සටහනක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

FB | Archived

“65% ක ජනතා කැමැත්ත.. මාලිමාවෝ වගේ හිතමු.. ඒකට ගෑස් පෝලිම කියන්ඩ එපා. ගෙදර ගෑස් ඉවර වුණු පිළිවෙලට මිනිස්සු කඩේ ළඟ හිටං ඉන්නවා… සරලයි” යන සඳහන ද සහිතව ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් දිගු පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙන ඉහත ඡයරුපයම හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්. 

Facebook | Archived Link

මෙම ගෑස් පෝලිම කුමන ස්ථානයක පෝලිමක් ද යන්න මෙහි සඳහන් කර නොමැති අතර මේ දිනවල රටේ දක්නට ලැබුණු දිගු ගෑස් පෝලිමක් බව හැඟී යන අයුරින් මෙම ඡායාරූපය සමාජ මාධ්‍යට මුදා හැර ඇත්තේ, පෙබරවාරි 19 වැනිදාය.  

ඒ අනුව මේපිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා 

රටේ ඇතැම් ප්‍රදේශවල ගෑස් හිඟයක් හටගෙන තිබූ බවටත්, ක්‍රමයෙන් ඒ ඒ ප්‍රදේශවලට ගෑස් ලොරි පැමිණි බවටත් මීට දින කිහිපයකට ඉහත සිටම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. එම දර්ශනවලට අනුව පාරිභෝගික ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින ආකාරයක් ද දැකගත හැකියි. 

කෙසේ වෙතත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවූ බවත් තවත් නැව් දෙකක් පෙබරවාරි 25, 28 දිනවලදී දිවයිනට ළඟා වීමට නියමිත බවත් එම වාර්තාවල සඳහන් වුණා. පෙබරවාරි 23 වැනිදා ද රටේ ඇතැම් ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇති බවට මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. එසේම 22 වනදා පැමිණි මෙට්‍රික් ටොන් 3900ක ගෑස් ප්‍රමාණය මේ වනවිට පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම උපුටා දක්වමින් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණා. 

පැරණි ඡායාරූප සහ දර්ශන මේදිනවල ගෑස් පෝලිම් බවට හඟවමින් සමාජ මාධ්‍යට මුදා හැරලා 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සහ දර්ශන මේ දිනවල දැකගත හැකි ගෑස් පෝලිම්වල දර්ශන සහ ඡායාරූප ද යන්න පිළිබඳව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා. 

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය මීට වසර කිහිපයකට ඉහත පැවති ගෑස් අර්බුදය දැක්වෙන ඡායාරූපයක් ද යන සැකය මත අප එය Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව අදාළ ඡායාරූපය 2022 වසරේ මාර්තු පළ කරන ලද ගෑස් පෝලිමක ඡායාරූපයක් බවට මෙලෙස තහවුරු විය. 

ගෑස් හිඟයක් ඇති වූයේ ඇයි? 

මීට දින කිහිපයකට ඉහතදී ඇති වූ ගෑස් හිඟයට ප්‍රධාන හේතුව ලාෆ් සමාගම වෙළඳපොළට සිය ගෑස් සැපයුම නතර කිරීම බවට මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර ලාෆ් සමාගම උපුටා දක්වමින් අදාළ පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, හම්බන්තොට අපනයන ආනයන ගබඩා පර්යන්තය දේශීය ගෑස් සැපයුම වෙනුවෙන් භාවිත කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවයි. එම ගබඩා පර්යන්තය දේශීය මෙහයෙුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීම වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමග නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවට ද සමාගම පැවසූ බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වුණා. 

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ 

විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ, ලාෆ් සමාගමේ ගෑස් සැපයුම අඩාල වීම හමුවේ එම ගෑස් පරිහරණය කළ පාරිභෝගිකයන් ද ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට පෙළඹීම හමුවේ ලිට්රෝ ගෑස් සඳහා වන ඉල්ලුම මේ වන විට ඉහළ ගොස් ඇති බවයි. 

රටේ ගෑස් අවශ්‍යතාවෙන් 80%ක් පමණ සම්පූර්ණ කරන්නේ, ලිට්‍රෝ සමාගම බවත් ඉතිරි  20%ක් ලෆ් සමාගම විසින් සම්පූර්ණ කරන බවයි. ලාෆ් සමාගම අඛණ්ඩ සැපයුම්කරුවෙකු සමග ගිවිසුම්ගතවී නොමැති බවත් අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා සිය කරුණු පැහැදිලි කිරීමේදී වැඩිදුරටත් මෙලෙස පවසා තිබුණා.  “හම්බන්තොටට ගෙන එන ගෑස් වලින් 20%ක් ඒ ගොල්ලොන්ට වෙළෙදපොලට විකුණන්න පුළුවන්. ඉතිරි 80% අපනයනය කරන්න ඕන. ඒක තමයි එතැන පහසුකම දීලා තියෙන කොන්දේසිය. දැන් මෙහෙම අවස්ථා දෙකක තුනක ගත්තට පස්සේ මේ සමාගම හිතනවා අර්බුදයක් හදලා ප්‍රෙශර් එකක් ආපුවහම හම්බන්තොට ආපු ගෑස් ඔක්කොම තමන්ට විකුණ ගන්න දෙයි කියලා. ව්‍යාපාරික වශයෙන් එවැනි කූට වැඩවලට යන එක සමාගමකට ගැලපෙන්නෙ නෑ.’’

ලාෆ් ගෑස් සිය පාරිභෝගිකයින්ට අවශ්‍ය සැපයුම ලබාදීමට අසමත් වන්නේ නම්, ලිට්‍රෝ සමාගම මගින් මාර්තු 12 වැනිදා සිට එම පිරිසට අවශ්‍ය ගෑස් සහ සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් එම සමාගම ජනතාවගේ සිලින්ඩර් සඳහා මුදල් ආපසු ගෙවීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා උපුටා දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙලෙස වාර්තා කර තිබුණා. 

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් නිවේදනයක්

වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පෙබරවාරි 19  නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය මගින් සමාගම පාරිභෝගික ජනතාවට දැනුම්දී ඇත්තේ, ප්‍රමාණවත් ගැස් තොග සුරක්ෂිත කර ඇති බැවින් අනවශ්‍ය ලෙස ගෑස් මිලදී ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.  ගැස් හිඟයක් පිළිබඳ මෙම ගැටලු තාවකාලිකව හටගෙන ඇත්තේ, ලිට්‍රෝ ගෑස් සඳහා හදිසි ඉල්ලුම වැඩිවීමත්,  පෙබරවාරි  14 සිට දින දෙකක කාලයක් ගැස් සැපයුමට බාධා ඇති වීමත් හේතුවෙන් බවයි. ඒ අනුව සාමාන්‍ය බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

  • පෙබරවාරි 17 සහ 18 දිනවලදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 284,000ක් බෙදාහැරීම
  • 19 වැනිදා සිට සෙනසුරාදා දක්වා (21) තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩර් 351,000 ක් බෙදා හැරීමට පියවර ගැනීම  
  • අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග ඇණවුම් කර ඇති බවත් මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් 3ක් පැමිණිමට නියමිතයි.

ඒ අනුව ඉදිරියේදී කිසිදු ආකාරයේ ගෑස් හිඟයක් ඇති නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

Facebook

මේ අතර ලිට්‍රෝ සමාගමෙන් ද අප මේ වනවිට  ගෑස්  බෙදා හැරීමේ තත්ත්වය පිළිබඳව විමසීමක් සිදු කළා. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, මේ වනවිට ගෑස් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඊයේ (23) දිනයේත් මෙට්‍රික් ටොන් 3900ක නෞකාවක් දිවයිනට ළඟා වූ බවත් ඉන් සිලින්ඩර්ස් ලක්ෂ 3ක් වෙළඳපොළට මුදා හැරි බවයි. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති තත්ත්වය විසඳී ඇති බවයි. නැව් පැමිණ ඇති බවත් වෙළඳපොළට ගෘහස්ත ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදුවන බවත් ය. නිවේදනයේ සඳහන් පරිදි ලිට්‍රෝ ගෑස් සඳහා හදිසි ඉල්ලුම වැඩිවීමත්,  පෙබරවාරි  14 සිට දින දෙකක කාලයක් ගැස් සැපයුමට බාධා ඇති වීමත් පසුගිය දින කිහිපයේ ගෑස් ප්‍රශ්නයට හේතුවූ බව ද ඇය සඳහන් කළා. 

ලාෆ් සමාගමෙන් නිවේදනයක් 

සමාගමේ විධායක නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, තාවකාලික හිඟය පිළිබඳව මෑතකදී ඇති වූ ගැටලු විසඳීමට සහ අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා මේ වනවිට සමාගම අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. හම්බන්තොට ආනයන පර්යන්තයේ මෙහෙයුම් සීමාවක් හේතුවෙන් සැපයුම් සීමාව පැන නැගී ඇති බවත් එය නිත්‍ය ආනයන සැපයුම්වලට තාවකාලිකව බලපා ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය. ඒ අනුව  පර්යන්තය මුදා හැරීම සහ මෙහෙයුම් නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා රජයේ බලධාරීන් සමග ක්‍රියාකාරීව සම්බන්ධීකරණය කරමින් සිටින බව ද පෙබරවාරි 19 වැනිදා නිකුත් කළ අදාළ නිවේදයේ වැඩිදුරටත් සඳහන් වේ. තොග සුරක්ෂිත කර ඇති අතර අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

මේ අතර ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා උපුටා දක්වමින්  ඊයේ (23) මාධ්‍ය වාර්තා කර තිබුණේ, ගෑස් 3500mt සහිත නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ළඟා වන බවත්, 28 වැනිදා සිට කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින බවත් ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපයේ රට තුළ ගෑස් සඳහා දිගු පෝලිම් ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ ඇතැම් ඡායාරූප, මීට වසර කිහිපයකට ඉහත ගෑස් පෝලිම්වල දර්ශන සහ ඡායාරූප බවයි.   

Avatar

Title:මේ දිනවල ගෑස් පෝලිම්වල ඡායාරූප ලෙස හුවමාරු වූ පැරණි ඡායාරූපයක්!

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *