දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිට්වා සුළි කුණාටුවෙන් තම නිවෙස විනාශ වූ පවුලකට රජය විසින් ඉදි කර දුන් නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට අප්‍රේල් 14 වන දා පෙරවරුවේ එක්ව තිබුණා. අදාළ සැමරුම මීට පෙර පටිගත කළ එකක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ද හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ජනපතිගේ අවුරුදු සැමරුම කළින් පටිගත කළ එකක් ?” යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මීට අදාළ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.
අදාළ සැමරුමේදී ලබාගත් ඡායාරූපයක එම ස්ථානයේ සිටින අයෙකුගේ ජංගම දුරකථනයේ වේලාව 11:10 ලෙස දැක්වෙන බවත්, 11:10ට කිසිඳු නැකතක් නොමැති බවත් ලිප ගිනි මෙලවීමේ නැකත තිබුණේ උදෑසන 10:51ට බවත් ඒ අනුව මෙය සජීවී දර්ශනයක් නොව කළින් සැළසුම් කර රූගත කරන ලද දර්ශන පෙළක් බවත් සමාජ මාධ්‍ය සටහන තුළ සඳහන් වනවා. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Rebuilding Sri Lanka යටතේ දිට්වා ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ සමාරම්භක වැඩසටහන ජනවාරි 09 දින අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබුණා.
ඒ යටතේ ඉදි කළ, නව නිවෙසක පැවැත්වුණු අලුත් අවුරුදු සැමරුමක් සඳහා අප්‍රේල් 14 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ වූ බව දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද අදාළ සටහන ඡායාරූපද සහිතව පළ කර තිබුණේ මෙලෙසින්.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද අප්‍රේල් 14 වන දිනයේ ජනාධිපතිවරයා අදාළ අවුරුදු සැමරුමට එක් ව තිබූ ආකාරය වාර්තා කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් තවත් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ජනපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුම සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් පල කර ඇති සටහන් තුළ අන්තර්ගතව ඇති ඡායාරූපයක එක් පුද්ගලයකු අත ඇති ජංගම දුරකථනයක වේලාව 11.10 යනුවෙන් සටහන් ව තිබුණේ මෙලෙසින්.

මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර ආහාර පිසීම සහ ලිප ගිනි මෙලවීමට අදාළ නැකැත් චාරිත්‍රය යෙදී තිබුණේ අප්‍රේල් 14 උදෑසන 10.51 ටයි. එම නැකැත් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් පළ කළ නැකැත් සීට්ටුව මෙතනින්. කෙසේ නමුත් අදාළ ඡායාරූපය කිරි ඉතිරෙන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් වන අතර, දුරකථනයේ දැක්වෙන වේලාව ලිප ගිනි මෙලවීමේ නැකතේ සිට විනාඩි 19 කට පසු වේලාවයි.
බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබුණේ, මෙම වේලාවට කිසිදු නැකතක් නොතිබුණු බව පවසමින්. මෙය මීට පෙර පටිගත කර තිබූ බවයි. කෙසේ වෙතත් ජනපති අනුර කුමාර දිසානායක මහතා අලුබද්ද ගම්මානයේදී සිදු කළ අවුරුදු සැමරුමේ සජීවි වීඩියෝව කිසිදු රාජ්‍ය නාලිකාවක හෝ සජීවී විකාශය නොවී තිබුණි.
ඒ අනුව ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නැකැත් චාරිත්‍ර අතර ලිප ගිනි මෙලවීම නැකතේදී අගමැති නිල නිවසේ අගමැතිනිය ප්‍රමුඛ ඇමතිවරුන් සමගින් ගම්පහ සිට එම නාලිකාවේ සේවක පිරිසක් ද, ස්වාධීන රූපවාහිනියේ HD මැදිරිය සහ ‘කෝපි කඩේ’ රූගත කිරීම් සිදු කරන (ස්වාධීන නාලිකාව හරහා විකාශය වූ මෙගා ටෙලි නාට්‍ය) සිට එහි සේවක පිරිසක්ද, සමගින් සජීවිව එම චාරිත්‍රය සිදු කරන අයුරු සහ කිරි ඉතිරෙන අවස්ථාවේ සජීවි විකාශය සිදු කර තිබෙනු නිරීක්ෂණය වූ අතර එහිදී කිරි ඉතිරෙන වේලාවන් සඳහන් වී තිබූ ආකාරය අප පරීක්ෂා කිරීමට පියවරගනු ලැබුවා.
ලිපි ගිනි මොලවන අවස්ථාවේ දර්ශන

කිරි ඉතිරෙන අවස්ථාවේදී දර්ශන
කෝපි කඩේ පරිශ්‍රයේ වේලාව 11:05:27 ලෙස

ගම්පහ නිවසේදී වේලාව 11:04:06 ලෙස

ITN HD මැදිරිය 11:06:43 ලෙස

ඒ අනුව ඉහත ජනපති අනුර සිටින අවස්ථාවේ ඡායාරූපය ලිප ගිනි මෙලවීමේ සිට කිරි ඉතිරීම වන විට 11.10 පමණ කාලයක් ගත විය හැකි බවට අනුමාන කළ හැකියි.
අදාළ ඡායාරූප වල පෙනී සිටින ජනපතිවරයා සහ අනෙකුත් මහජන නියෝජිතයන් ද, නිවැසියන් ද මෙවර අලුත් අවුරුද්දේ සුබ වර්ණය ලෙස නම් කර තිබූ රතු පැහැ ඇඳුම් වලින් සහ ඇතැම් පුද්ගලයන් සරම් වලින් සැරසී සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
අදාළ අවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයන් තුල ජනාධිපතිවරයා විසින් ජනතාව වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරන ආකාරය අන්තර්ගතව තිබුණේ මෙලෙසින්.
එසේම අදාළ මාධ්‍ය වාර්තාකරණයන් තුළ ජනපතිවරයා විසින් අදාළ නිවැසියන් සමඟ ආහාර අනුභවය සහ ගනුදෙනු චාරිත්‍ර සිදුකරන ආකාරයද අන්තර්ගතව තිබුණේ මෙලෙසින්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
අප විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා ඊයේ දින එනම් අප්‍රේල් 14 ගල්නෑව ප්‍රදේශයේ රජය විසින් අලුතින් ඉදි කර දුන් නිවසක අලුත් අවුරුදු සැමරුමට එක්ව සිටි බවයි. මෙම දර්ශන මීට පෙර පටිගත කළ ඒවා බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය ප්‍රචාරයන් බව ද ඔවුන් සඳහන් කර සිටියා.
ගල්නෑව කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරුන්ගේ පරිපාලන නිලධාරී
අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා ගල්නෑව කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරුන්ගේ පරිපාලන නිලධාරී නිමල් බණ්ඩාර මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ ඊයේ දින එනම් අප්‍රේල් 14 වන දා ජනාධිපතිතුමන් ගල්නෑව කොට්ඨාසයේ රජය විසින් අලුතින් ඉදි කරන ලද නිවසෙහි අලුත් අවුරුදු සැමරුමට පැමිණි බවත්, තමාද එම අවස්ථාවට සම්බන්ධ වූ බවත්, ජනාධිපති තුමන් එම නිවසේදී අවුරුදු නැකැත් චාරිත්‍ර ද ඉටු කළ බවත් ය.
ජනාධිපති මාධ්‍ය අංශය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කළේ ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 14 වන දිනයේ දිට්වා සුළි කුණාටුවෙන් නිවෙස විනාශ වූ පවුලකට රජය විසින් ඉදි කර දුන් නව නිවෙසක පැවති අලුත් අවුරුදු සැමරුමක් සමග සම්බන්ධ වූ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නිල පුවත් වාර්තාකරණයන් සිදු වූ බවත්, අදාළ දර්ශන පටිගත කරන ලද දර්ශන ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය සහ නොමග යවන සුළු ඒවා බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ජනපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු සැමරුමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් එම දර්ශන පෙර පටිගත කළ දර්ශන පෙලක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. අදාළ අවස්ථාව සම්බන්ධයෙන් පලකර තිබූ නිල ඡායාරූප තුළ කිරි ඉතිරෙන අවස්ථාවේ එක් පුද්ගලයකු අත ඇති ජංගම දුරකථනයක වේලාව 11.10 යනුවෙන් දැක්වුන ද, අදාළ වේලාව ලිපගිනි මෙලවීමේ නැකතේ සිට විනාඩි 19 කට පසු වේලාව වන බැවින්, ලිප ගිනි මෙලවීමේ සිට කිරි ඉතිරීම දක්වා විනාඩි 19 ක පමණ වෙලාවක් ගත වී ඇති බව අනුමාන කළ හැකියි. ජනාධිපතිවරයා අප්‍රේල් 14 වන දින අදාළ නිවසේ අවුරුදු සැමරුමට එක් වූ බව ගල්නෑව කොට්ඨාසයේ ග්‍රාමනිලධාරී වරුන්ගේ පරිපාලන නිලධාරී, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කර තිබෙනවා.


