දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාවට ලැබුණු ණය වාරික තුනෙන් එකක් සොරාගෙන ඇති බව දක්වමින් සටහන් පෙළක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ අනුව ආණ්ඩුව, IMF මුදල් සොරකම් කර ඇතැයි විවිධ අර්ථකථන ද එක් විය. IMF ණයෙන්, කොටස මෙසේ අතුරුදහන් වී තිබුනේ ද යනාදී ප්රකාශයන්හි, සත්‍ය අසත්‍යතාව Fact Crescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

මෙම සටහන පහත ආකාරයෙන් ද පුළුල්ව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය:



Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5 | Facebook 6
කරුණු විමර්ශනය (Fact Check):
‘IMF ණයෙන් තුනෙන් එකක් හොරු අරන්’ යන අදහස මුලින්ම මතු වූයේ ප්‍රධාන ධාරාවේ පුවත් සිරස්තල කිහිපයකිනි. එම පුවත් වල සම්පූර්ණ අන්තර්ගතය කුමක්ද යන්න අප පරීක්ෂා කළෙමු. අදාළ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බැලිය හැක.
එම පුවත් වල මූලික වශයෙන් වාර්තා වී තිබුණේ මෙසේය:
- 2023 වසරේ සිට ව්‍යාජ ආනයන මුවාවෙන් බැංකු හරහා, ජාත්‍යන්තර ටෙලිග්රැෆික් මුදල් හුවමාරු (TT) ක්‍රමය භාවිතයෙන්, ඉතා සූක්ෂම ලෙස මුදල් විදේශගත කර ඇති බවක්.
- ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ, මෙලෙස රටෙන් පිට වී ඇති මුදල ඩොලර් බිලියනයකට ආසන්න බවක්.
- ආනයනයට අත්තිකාරම් ලෙස මෙම ගෙවීම් සිදු කර ඇතත්, ඒ හරහා කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය වී නොමැති බවක්, සහ
- මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව බවයි.
මෙම වංචාව සත්‍ය බව ස්වාධීන මූලාශ්‍ර කිහිපයකින් තහවුරු වේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ වාර්තා EconomyNext හා Daily FT ඔස්සේ බැලිය හැක. එමෙන්ම පොදු ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ පරිදි, එක් විමර්ශනයකින් හෙළි වූයේ එක් සමාගමක් ගනුදෙනු 953ක් හරහා රටවල් 26ක සමාගම් 256කට රුපියල් බිලියන 12.89ක් (ඩොලර් මිලියන 42.7ක්) පිටතට යවා ඇති බවයි. මෙම හෙළිදරව්වලින් පසු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් තැබූ නව ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අංක 06/2026 ද බලාත්මක විය. එනම් වංචාවක් සිදුව ඇති බව සැබෑ ය; එය රජය විසින්ම විමර්ශනය කරමින් සිටී.
එහෙත් අදාළ මාධ්‍ය වාර්තා වල පැහැදිලිව සඳහන් වූයේ, 2023 සිට රටින් පිට කර ඇති ඩොලර් බිලියනයකට ආසන්න මුදල, IMF ණයෙන් තුනෙන් එකකට ‘සමාන’ ප්‍රමාණයක් බව මිස, IMF ණයෙන් කොටසක් සොරාගත් බව නොවේ. එනම් ‘තුනෙන් එකක්’ යනු මුදලේ ප්‍රමාණය හඳුන්වා දීමට යොදාගත් සැසඳීමක් පමණි.
කෙසේ වුව, සමහර පුවත් සිරස්තල තුළ ‘සමාන මුදලක්’ යන අර්ථය ලබා දෙන කොටස අන්තර්ගත ඇතුළත් නොවීම නිසා ඒවා අසම්පූර්ණ හා නොමඟ යවන සුළු අර්ථකථනයන්, සමාජ මාධ්‍ය සටහන් තවදුරටත් විකෘති කරමින් ඉහත සටහන් පළවී ඇති බව පෙනී යනවා.
පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය (2026 ජූනි)
“ඊළඟ දූෂණය, මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියන් එකට ආසන්න ප්‍රමාණයක්. ආසන්න වශයෙන් රුපියල් බිලියන 300ක් ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තියෙනවා. නමුත් භාණ්ඩ ඇවිල්ලා නෑ. මේ තුළ කුඩු සල්ලි තිබෙනවා, දූෂණයෙන් උපයගත්තු සල්ලි තිබෙනවා, අපරාධවලින් උපයගත්තු ධනය තිබෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයට පත් කරලා තිබෙනවා.
දැන් අපි ඒක වැලැක්වීම සඳහා රෙගුලාසි පනවමින් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනගෙන තිබෙනවා. කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. අපේ රටේ දූෂණයෙන් උපයාගත් ධනය තමයි ඩොලර් විදියට එළියට ගිහින් තියෙන්නේ.”
ජනාධිපතිවරයා මෙම වංචනික මුදල IMF ණයෙන් තුනෙන් එකකට සමාන යැයි හෝ IMF මුදල් සොරකමක් යැයි කිසිසේත් ප්‍රකාශ කර නැත. ඔහු කී පරිදි එය දූෂණයෙන් හා අපරාධවලින් උපයාගත්, බැංකු හරහා පිට කළ මුදල් ය.
මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් අප කළ විමසීමේදී ඇය, IMF ණය ලෙස ලැබුණු මුදලින් තුනෙන් එකක් සොරාගත් බවට වන ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළාය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයෙන් (PDMO) ද තහවුරු වූයේ, IMF වෙතින් ලැබුණු කිසිදු ණය මුදලක් සොරකම් වී නොමැති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රතිචාරය
ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කළේ, IMF ණය වාරික ලෙස ලැබුණු මුදල් සොරකමක් සිදුව නොමැති බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ, බැංකු හරහා විදේශගත කළ ඩොලර් බිලියනයකට ආසන්න දූෂිත මුදල්, IMF මුදල් නොවන අතර, මාධ්‍ය එය වාර්තා කිරීමේදී එහි ප්‍රමාණය IMF ණයෙන් තුනෙන් එකකට සමාන යැයි සැසඳීමක් ලෙස පමණක් සඳහන් කර ඇති බව ද ඔවුහු අවධාරණය කළහ. එම සැසඳීම පදනම් කරගෙන නොමඟ යවනසුලු සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී ඇති බව ද ඔවුන් ද පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පැහැදිලි කිරීම
භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් ඩොලර් බිලියනයකට ආසන්න (රුපියල් බිලියන 300ක් පමණ) මුදලක් රටින් පිට කිරීමේ වංචාව පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකදී විස්තර කළේය. සම්මුඛ සාකච්ඡාව බැලීමට (Facebook reel)
ඔහු කී පරිදි, ආනයන අපනයන පාලන රෙගුලාසි යටතේ පවතින අත්තිකාරම් ගෙවීම් ක්‍රමය අවභාවිත කරමිනි මෙය සිදුව ඇත්තේ. එම ක්‍රමය යටතේ ආනයනකරුවෙකුට ඉන්වොයිසිය ඉදිරිපත් කර වාණිජ බැංකුවක් හරහා ඩොලර් 10,000ක් දක්වා අත්තිකාරම් විදේශගත කළ හැක. සමහරු ව්‍යාජ ඉන්වොයිසි ඉදිරිපත් කර මුදල් යවා ඇතත්, ඊට අදාළ භාණ්ඩ ගෙන්වා නැත.
විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හා ව්‍යාජ සමාගම් හරහා මෙම මුදල් පිට කර ඇත. පිට කළ මුදල්වලින් 45%ක් පමණ සැබෑ ලෙසම භාණ්ඩ ගෙන්වීමට යොදවා ඇතත්, ඒවා නිසි ලෙස රේගුවේ වාර්තා වී නොතිබූ බව ද අධිපතිවරයා පෙන්වා දුන්නේය. දැන් අත්තිකාරම් ගෙවීමට පෙර ආනයනකරු රේගුවේ ලියාපදිංචිය, VAT සහ TIN අංක අනිවාර්ය කර ඇත. සම්පූර්ණ සාකච්ඡාව මෙතනින් බැලිය හැක. මෙහිදී ද අධිපතිවරයා මෙය IMF මුදල් සොරකමක් ලෙස කිසිසේත් හඳුන්වා නැත.
IMF ණය පැකේජයේ නිශ්චිත සංඛ්‍යා
IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) 2023 මාර්තු 20 වන දින අනුමත වූයේ SDR 2.286 බිලියනකට (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක්) වශයෙනි. 2026 මැයි 27 වන දින 5 වැනි හා 6 වැනි ඒකාබද්ධ සමාලෝචන අවසන් කර ඩොලර් මිලියන 695ක (SDR 508m) වාරිකයක් නිකුත් කිරීමෙන් පසු, මේ දක්වා නිකුත් කළ මුළු ප්‍රමාණය SDR බිලියන 1.778 කි (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.4ක්). එබැවින්, ජාවාරම්කරුවන් රටින් පිට කළ ඩොලර් බිලියන 1ක මුදල, මුළු IMF ණයෙන් තුනෙන් එකකට (1/3) සමාන බව පැවසීම නිවැරදි ය. නමුත් එම මුදල IMF ණයෙන් කොටසක් නොවේ.
‘IMF ණයෙන් තුනෙන් එකක්’ යැයි කීම වැරදි වන්නේ ඇයි?
මෙය මූලික වශයෙන් නාලිකා දෙකක් පටලවා ගැනීමකි. වංචනික මුදල් පිට වී ඇත්තේ වාණිජ බැංකු හරහා ආනයන අත්තිකාරම් ලෙස ය. IMF ණය වාරික ඊට වඩා වෙනස්, දැඩි ලෙස අධීක්ෂණය වන නාලිකාවක් හරහා ලැබේ. එම වෙනස්කම් මෙසේය:
- තැන්පත් වන ස්ථානය: IMF නිකුත් කරන ණය වාරික බැර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිල විදේශ සංචිත ගිණුමටයි; එය දේශපාලනඥයන්ට හිතුමතේ පරිහරණය කළ හැකි වාණිජ ගිණුමක් නොවේ. අදාළ තොරතුරු IMF නිවේදනය හා CBSL නිවේදනය බලන්න.
- SDR ක්‍රමය: IMF ආධාර ලැබෙන්නේ ඩොලර් නෝට්ටු ලෙස නොව, SDR (විශේෂ විද්රැවුම් හිමිකම්) නමැති ජාත්‍යන්තර ගිණුම්කරණ ඒකකයක් ලෙසයි. එය පරිහරණයට හැරවීම ද නිල, වාර්තාගත ක්‍රියාවලියක් වන අතර IMF ආරක්ෂණ තක්සේරු (safeguards assessment) යටතේ පසුවිපරමට ලක් වේ.
- කොටස් වශයෙන් නිකුතුව (Tranches): IMF විසින් ඩොලර් බිලියන 3ම එකවර නොදේ. පෙර වාරික නිසි ලෙස භාවිත කර ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව, ආර්ථික සමාලෝචන අනුව මාස කිහිපයකට වරක් පමණක් වාරික නිකුත් කරයි. 2026 මැයි මාසයේ ඩොලර් මිලියන 695ක වාරිකය ද එසේ නිකුත් විය. වැඩිදුර BBC සිංහල, IMF නිල සංචාරය (2026 ජූනි) බලන්න.
එබැවින් නිවැරදි නිගමනය මෙයයි: වංචනික ආනයන ගෙවීම් හා IMF ණය වාරික යනු වෙනස්, වෙන්ව අධීක්ෂණය වන නාලිකා දෙකක් වීම නිසා ‘IMF ණයෙන් තුනෙන් එකක් සොරාගත්තා’ යන ප්‍රකාශය අසත්‍ය ය.
අරමුදල් අධීක්ෂණය කරන නිල ආයතන
- IMF දූත පිරිස හා විධායක මණ්ඩලය: IMF නිලධාරීහු නිරන්තරයෙන් ලංකාවට පැමිණ (උදා: 2026 ජූනි IMF නිල සංචාරය) මහ බැංකුවේ හා භාණ්ඩාගාරයේ ගිණුම් සෘජුව පරීක්ෂා කරති.
- විගණකාධිපති දෙපාර්තමේන්තුව: රජයට හා මහ බැංකුවට ලැබෙන විදේශ ආධාර හා ණය භාවිතය ස්වාධීනව විගණනය කිරීමේ ව්‍යවස්ථාපිත බලය විගණකාධිපතිවරයාට ඇත. තොරතුරු.
- මූල්‍ය බුද්ධි ඒකකය (FIU): සැක සහිත මුදල් හුවමාරු නිරීක්ෂණය කිරීමට මහ බැංකුවේ FIU හි තාක්ෂණික පද්ධති ක්‍රියාත්මකයි. තොරතුරු.
- පාලන රෝග විනිශ්චය තක්සේරුව (GDA): ආසියාවේ ප්‍රථම වතාවට ලංකාවේ දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට IMF විසින් Governance Diagnostic Report හඳුන්වා දී ඇත (සම්පූර්ණ වාර්තාව).
මහජනතාවට ස්වාධීනව නිරීක්ෂණය කළ හැකි ක්‍රම
- Transparency International Sri Lanka (TISL): Government Action Plan Tracker මගින් රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය නිරීක්ෂණය කරයි.
- Manthri.lk IMF Tracker: ලංකාව IMF කොන්දේසි කොතරම් දුරට ඉටු කර ඇත්ද යන්න Manthri.lk IMF Tracker ඔස්සේ සෘජුව බැලිය හැක.
අපගේ කරුණු විමර්ශන දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
‘IMF ණය වාරික තුනෙන් එකක් සොරාගෙන ඇත’ යැයි හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය ය. IMF ණය මුදලින් කිසිදු සොරකමක් සිදුව නොමැත. එහෙත් 2023 සිට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් සංවිධානාත්මක ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ ආනයන අත්තිකාරම් මුවාවෙන් රටින් පිට කර ඇති බව සැබෑ ය; එය ජනාධිපති, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා පොදු ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කර ඇති අතර විමර්ශනය වෙමින් පවතී.
මෙම දූෂිත මුදල් ප්‍රමාණය, IMF ණයෙන් තුනෙන් එකකට සමාන වන නිසා, මාධ්‍ය එය සැසඳීමක් ලෙස යොදා ගත්තද, සමහර සිරස්තල තුළ ‘සමාන’ යන වචනය අතහැරීම නිසා ඒවා අසම්පූර්ණ හා නොමඟ යවනසුලු විය. කෙටියෙන්: වංචාව සැබෑ ය; IMF මුදල් සොරකම යන්න අසත්‍ය ය; මේ දෙක අතර සම්බන්ධයක් නැත.


