
ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ආදාහනය කළ යුතු බවට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තියේ පළමු රැල්ල අවධියේම සෞඛ්‍ය බලධාරින් තීරණය කළා. කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භුමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් පසුගිය දිනවල ද ඇති වුණා. කෙසේ නමුත් කොවිඩ්19 ආසාදිත මළසිරුරු භූමදානය සඳහා රජය විසින් නිල අවසරවක් මෙතෙක් ලබාදී නැති අතර පසුගිය දා මේ සම්බන්ධයෙන් පළවූ වාර්තා අලලා අප සිදුකළ විමර්ශනයක් මෙලෙසින්.
මේ අතර රත්මලාන, බොරුපන ප්‍රදේශයේ නිවසේදී මියගිය 83 හැවිරිදි මුස්ලිම් කාන්තාවක්, අධිකරණ ඇමති අලි සබ්‍රිගේ ළඟම ඥතියකු වීම නිසා, PCR පරීක්ෂණයකින් කෝවිඩ්-19 ආසාදිතයකු ලෙස තහවුරු වූවද, ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තාවක් සකසා මුස්ලම් චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකිරීමට අවසර ලබා දුන් බවට ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්තිය කරුණු විකෘති කරමින් පළවූ අසත්‍ය පුවතක් බව අපට අනාවරණය වුණා.
සමාජ මාධ්‍ය සටහන්:
Lankaenews නැමති ෆේස්බුක් පිටුවක “අලි සබ්‍රිගේ පුංචි අම්මා කොරෝනා වැළඳී මිය ගිහින්..! හොර පී.සී.ආර් වාර්තාවක් හදා භූමදානය කරලා..!” යන සිරස්තලයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබිණි.
එම කරුණු සැකෙවින් මෙසේය. පසුගිය නොවැම්බර් මස 15දා රත්මලාන බොරුපන වලගම්බා මාවතේ නිවසක මියගිය අහමඩ් ජුනයිඩීන් ෆාතිමා නිලූෂා නමැති මුස්ලිම් කාන්තාව අධිකරණ ඇමති අලි සබ්‍රිගේ පුංචි අම්මාය. කෝවිඩ්-19 වසංගත තත්වය යටතේ නිවසේදී මියගිය එම කාන්තාවගේ සිරුර රැගෙන යාමට පැමිණි මහජන පරීක්ෂකයන්ට දේශපාලන බලපෑම් මත විරෝධයක් එල්ල විය. පළමුව මළ සිරුරේ සිදු කළ PCR පරීක්ෂණයකින් මියගිය කාන්තාව කෝවිඩ්-19 ආසාදිතයකු බව තහවුරු විය. එහෙත් ප්‍රථම PCR පරීක්ෂණය කළ නිලධාරීන් ඉවත්කර, වෙනත් කණ්ඩායමක් යොදා ගනිමින්, නැවත වරක් PCR පරීක්ෂණයක් සිදුකර, කෝවිඩ්-19 ආසාදිතයකු නොවන බවට ව්‍යාජ සහතිකයක් පිළියෙළ කර එම මුස්ලිම් ආගමික වතාවත් වලට අනුව කළුබෝවිල ජුම්මා පල්ලියේ සුසාන භූමියේ භූමිදානය කළ බවට වාර්තාවක් ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලකයින් 500කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම ප්‍රවෘත්තියේ අන්තර්ගතය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප පාර්ශව කිහිපයක් සමඟ සම්බන්ධ වීමු.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ප්‍රකාශය.
බොරුපන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයරංග මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. රත්මලාන බොරුපන වලගම්බා මාවතේ අංක 32 ලිපිනයේ වියපත් කාන්තාවක් නිවසේදිම මියගිය බවට නිවැසියන්ගෙන් ලද තොරතුරු මත නිවසට ගිය බව පැවසීය. අවසාන කටයුතු කිරීම සඳහා ඔවුන් අවසර ඉල්ලා සිටිය ද කෝවිඩ්-19 වසංගත තත්වය හමුවේ, පවතින සෞඛ්‍යය නීතිරීති මත, මෘත දේහයේ PCR පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට කරුණු පහදා දෙමින්, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමුකළ බව පැවසීය. මේ සඳහා ඔහුට නිවැසියන්ගේ උපරිම සහයෝගය ලැබුණු අතර කිසිදු දේශපාලනඥයකුගේ බලපෑම් ඇති නොවූ බවද ඔහු සඳහන් කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරිගේ ප්‍රකාශය.
ඉන් අනතුරුව සිදුවූ කරුණු තහවුරු කර ගැනීම පිණිස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසන්න දසනායක මහතා සමඟ සම්බන්ධ වූයෙමු. දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු දේහයන්ගෙන් කෝවිඩ්-19 අසාදිත බවට පසුගිය කාලයේදී තහවුරු වූයේ සිරුරු තුනක් පමණක් බවත්, ඉන් දෙදෙනෙක් දමිළ කාන්තාවන් වන අතර එක් අයෙකු සිංහල පුරුෂයෙකු වූ බවත් පැහැදිලි කර සිටියා.
එසේම නොවැම්බර් මස 17 වැනි දින සෞඛය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි රත්මලාන ප්‍රදේශයේ මියගිය කාන්තාව 69 වියේ පසුවු, රත්මලාන 37 වත්ත ප්‍රදේශයේ පදංචි දමිළ කාන්තාවක් බව සඳහන් කළේය. නොවැම්බර් මස 15 දින රත්මලාන බොරුපන වලගම්බා මාවතේ අංක 32 ලිපිනයේ අහමඩ් ජුනයිඩීන් ෆාතිමා නලීෆා නමැති මුස්ලම් කාන්තාවගේ දේහයක් PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබු බවත්, PCR පරීක්ෂණයෙන් කෝවිඩ්-19 ආසාදිතයකු නොවන බවට (නෙගෙටිව්) තහවුරු වීම මත අවසන් කටයුතු සිදුකිරීමට ඇයගේ පවුලේ පාර්ශවයන් වෙත දේහය නිදහස් කර ඇති බව ඔහු පැවසීය. මළ සිරුරකට එක PCR පරීක්ෂණයක් පමණක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මුස්ලිම් කාන්තාවගේ දේහය සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා PCR පරීක්ෂණ දෙකක් සිදු කළ බවට පළවන වාර්තා සහමුලින්ම අසත්‍ය බව පැවසීය. PCR පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙම මුස්ලිම් කාන්තාවගේ දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘතගාරයේ තිබුණු බවත්, සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුලත මුස්ලිම් ජාතිකයින්ගේ අවසාන කටයුතු සිදු කෙරුණද, මෙම කාන්තාවගේ දේහය නිදහස් කිරීමට ඊට වඩා වැඩි කාලයක් ගත වූ බවත්, දේහය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුට කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් ඇති නොවූ බවත් අවධාරණය කළේය.
අලි සබ්‍රි අමාත්‍යවරයාගේ ප්‍රකාශය.
76 වන වියේ පසුවන තමාගේ මවට 83වියැති නැගණියක් සිටිය නොහැකි බවත්, මවගේ එකම නැගණිය සුවසේ ජීවත්වන බවත් අපට පවසා සිටියා. එසේම රත්මලානේ මියගිය කාන්තාව ඔහුගේ ඉතා දුරස්ථ ඥාතියෙකු බවත්, ඇයගේ අවසන් කටයුතු සඳහාවත් අමාත්‍යවරයා සහභාගි නොවු බවත්, එම කාන්තාවගේ දේහය මුස්ලිම් චාරිත්‍රානුකූලව භූමිදානය කිරීමට ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමක් සඳහා ඔහු විසින් බලපෑම් කළ බවට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් සඳහන් කළේය.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රත්මලාන බොරුපන වලගම්බා මාවතේ අංක 32 ලිපිනයේ පදිංචිව සිටි නිවසේ දීම මියගිය කාන්තාව, මුස්ලිම් චාරිත්‍රානුකූලව භූමදාන සිදු කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්‍රිගේ බලපෑම් මත ව්‍යාජ බලධාරීන් ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තාවන් ඉදිරිපත් කල බවට ඉදිරිපත් කර තිබුනේ කරුණු විකෘති කරමින් පළකරන ලද අසත්‍ය පුවතක් බවයි.
අලි සබ්‍රි මහතාගේ මවගේ නැගණියක් නොවන දුරස්ථ ඥාතියෙකු වූ නොවැම්බර් මස 15 වැනිදා රත්මලාන නිවසකදී මියගිය මෙම කාන්තාවගේ මෘත දේහයේ PCR පරීක්ෂණ එක් වරක් පමණක් සිදුකර ඇති අතර ඒ සඳහා කිසිඳු බලපෑමක් සිදු වී නැති අතර PCR පරීක්ෂණයෙන් කෝවිඩ්-19 ආසාදිතයකු නොවන (නෙගෙටිව්) බවට තහවුරු වීම මත අවසන් කටයුතු සිදුකිරීමට මෘත දේහය නිදහස් කර ඇත.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:රත්මලාන බොරුපන ප්‍රදේශයේ නිවසක මියගිය මුස්ලිම් කාන්තවකගේ PCR වාර්තා වෙනස් කර භූමිදානය කළාද?
Fact Check By: Nelson ManiResult: False
