නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

Election Awareness

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් වන්නේ නම් බොහෝ අකටයුතුකම් වලක්වා ගැනීමටත්, සුදුසුකම් සහිත අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ හැකියාවද පවතී. විශේෂයෙන්ම තමන් දැනගත් දේ පිළිබදව තම පවුලේ අය හා අසල් වාසීන් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත් වේ. ඒ මගින් මැතිවරණ ක්‍රියාකාරිත්වය පිළිබදව දැනුවත් ප්‍රජාවක් බිහිවන අතර එමගින් සිය ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත්ව භාවිතා කිරීමේ හැකියාව පවතී. නිසි දැනුවත්භාවය නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීමකි.

නීති විරෝධී ක්‍රියාවන් හා නීති විරෝධී ක්‍රියාවන්ට අනු බල නොදීම මෙන්ම එකී ක්‍රියාවන්ට තම ශක්ති පමණින් විරෝධය දැක්විම පුරවැසියෙකු ලෙස ඔබේ වගකීමකි. නීති විරෝධී ක්‍රියාවක් හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑමත් ඇතිවන ක්‍රියාවක් සිදුවන අවස්ථාවක් පිළිබඳ ඇසුන විට හෝ දුටුවිට ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් වාර්තා තබාගැනීම වැදගත්. විශේෂයෙන්ම තම සටහන් පොතක, ජංගම දුරකථනයේ වීඩියෝ ගත කිරීම හෝ ඡායාරූප ගත කිරීම හරහා යම් ක්‍රියාවලියක් පිළිබඳව වාර්තා තබා ගත හැකිය.

එකී පැමිණිලි කිරීම අදාල පරිදි පොළිසියට මැතිවරණ නිළධාරීන්ට හෝ ස්වාධීන මැතිවරණ නිරික්‍ෂකයින්ට සිදුකල හැකිය. එකී පැමිණිලි කිරීමේ කාර්යය සඳහා වාර්තා තබා ගැනීමේ පියවර ඉතා වැදගත් වේ. සංවිධානගත වීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පමණක් නොව ශක්තිමත් පුරවැසිභාවයක් සඳහා ද සංවිධාන ගත වීම අත්‍යාවශ්‍ය ය. තනිව සිදුකරනු ලබන මැදිහත් විමකට වඩා සංවිධානාත්මකව සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. එමෙන්ම තම ආරක්ෂාව ද එමගින් වඩාත් තහවුරු වේ. මේ සඳහා පවතින ප්‍රජාතන්ත්‍රිය ආයතන වෙත සංවිධානගත වීම හෝ තම කණ්ඩායම් සමඟ සංවිධානගත වීම ස්වාධින මැතිවරණ නිරික්ෂණ ආයතන සමඟ සංවිධානගත වීම සිදුකල හැකිය. මැතිවරණ නීති උල්ලංඝනයක් සිදුවන විට ඒ පිළිබඳව නිහඩව නොසිට පැමිණිලි කිරීම පුරුවැසියකු ලෙස ඔබේ වගකීමකි.

මැතිවරණ කොමිෂමේ කටයුතු, ආණ්ඩුවේ කටයුතු මෙන්ම එක් එක් දේශපාලන පක්ෂ ක්‍රියාකාරින්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ද විමසිල්ලෙන් පසුවිය යුතුය. තමත් දන්නා දේ අනුව දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව ද විමසිමෙන් පසුවිය යුතුය. විශේෂයෙන්ම යම් යම් ක්‍රියාකාරකම් මගින් තමන්ගේ හා අසල් වැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේද, නැතහොත් යම් ක්‍රියාකාරකමක් නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් වන්නේදැයි විමසිල්ලෙන් පසුවිය යුතුය. මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව විමසිල්ලෙන් පසුවීම පුරවැසියෙකු ලෙස ඔබේ වගකීමයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *