දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින 10ක කාලය තුළදී වේ. නාම යෝජනා භාරදිය යුත්තේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙතය.

නාමයෝජනා පත්‍රයක් සකස් වන ආකාරය

1. නියමිත ආකෘතියකට අනුව සකස් කර තිබිය යුතුය.

2. අදාළ පරිපාලන දිස්ත්‍රික්කයෙන්. එන ඡන්ද කොට්ඨාසයෙන් තෝරාපත් කරගත යුතු මන්ත්‍රී සංඛ්‍යාවට වඩා අපේක්ෂකයින් තුන්දෙනෙකුගේ නම් ඊට ඇතුළත් කළ තිබිය යුතුය.

3. අපේක්ෂකයන් අත්සන් කර තිබිය යුතුය.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 උපලේඛනයේ දැක්වෙන ආකෘතිය අනුව ප්‍රතිඥාවක් අත්සන් කර තිබිය යුතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට හා ශ්‍රී ලංකා දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ආධාර අනුබල නොදෙන බවට ප්‍රතිඥා දීම මේ යටතේ සිදු කෙරේ.

5. දේශපාලන පක්ෂයක් නම් නාමයෝජනා පත්‍රය පක්ෂ ලේකම්වරයා විසින්ද ස්වාධීන කණ්ඩායමක් නම් ලේඛනයේ මුලට නම සඳහන් අපේක්ෂකයා විසින්ද අත්සන් කළ යුතුය.

6. නාමයෝජනා පත්‍රයක කරන ලද අත්සන සාම විනිසුරුවරයෙකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සහතික කර තිබිය යුතුය.

7. භාරදිය යුත්තේ එක් නාමයෝජනා පත්‍රයක් සහ එක් පිටපතක් පමණි.

පක්ෂයක නාම යෝජනා පත්‍රයක් නම් එම පක්ෂයේ ලේකම් විසින් හෝ බලයලත් නියෝජිතයෙකු විසින් භාර දීම සිදු කළ හැකි වන අතර ස්වාධීන කණ්ඩායමක නම් එහි මුලටම නම සඳහන් තැනැත්තාට භාරදීම සිදු කළ හැකිය. කිසියම් අවස්ථාවක එසේ කළ නොහැකි නම් ලේඛනයේ දෙවැනියට නම සඳහන් අපේක්ෂකයා විසින් එය කළ යුතු වේ.

නාම යෝජනා පත්‍රයක් භාරගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුව හොත් අදාළ තේරීම්භාර නිලධාරියා විසින් එය ඉදිරිපත් කළ තැනැත්තාට ඒ බව දැනුම් දිය යුතුය.

තේරීම්භාර නිලධාරියා විසින් භාරගත් නාමයෝජනා පත්‍රයෙහි පිටපතක් තම දැන්වීම් පුවරුවෙහි ප්‍රදර්ශනය කළ යුතුය. ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රයක යම් අත්හැරීමක් හෝ ලිපි දෝෂයක් ඇතැයි ඉදිරිපත් කළ අය හට පෙනී ගිය අවස්ථාවක නාමයෝජනා කාලය ඉකුත් වීමට පෙර නිවැරදි කිරීම සඳහා ඉල්ලීමක් කළ හැකිය. අනවධානය නිසා වු දෝෂයක් නිවැරදි කිරීමට ඉඩ සලසනු ලැබිය හැකිය.

නාමයෝජනා පත්‍රය ප්‍රදර්ශනය කළ පසු පහත හේතුන් මත විරෝධතා ඉදිරිපත් කළ හැකිය. එය ලිඛිත විය යුතු වන අතර විරෝධතාව දක්වන පුද්ගලයාගේ අත්සනින් යුක්ත විය යුතුය.

1. අපේක්ෂකයා හඳුනා ගැනීම සඳහා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවීම.

උදාහරණ: - නම් අසම්පූර්ණ හෝ අවිනිශ්චිත වීම.

2. අසම්පුර්ණ නාමයෝජනා පත්‍ර භාර දී තිබීම.

3. නාමයෝජනා පත්‍රයේ ඇති කරුණුම අනුව මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බව පෙනී යාම.

4. නීති විරෝධී ක්‍රියාවන් හෝ දුෂණ ක්‍රියාවක් නිසා මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීමට නොහැකි වීමට හෝ ඡන්ද පෙත්සමක් පිළිබඳ නඩු තීන්දුවක් නිසා මන්ත්‍රීවරයෙකු වීම නුසුදුසු වීම, (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව අනුව මේ සාක්ෂි ඇතිව තහවුරු කළ යුතුය).

ඉහත දක්වා ඇති 1 2 සහ 3 යන කරුණු අදාළ තේරීම්භාර නිලධාරීවරයාට තීරණය කළ හැකිවන අතර,4 වන කාරණය පිළිබඳව අභියාචනාධිකරණය වෙත යොමු කළ යුතුය. අභියාචනාධිකරණයේ තීරණය අවසන් තීරණය වන අතර විරෝධතාවය නොපිළිගතහොත් අදාළ පුද්ගලයාගේ/ පුද්ගලයන්ගේ අපේක්ෂකත්වය අහෝසි වේ.

නාමයෝජනා භාර ගැනීමෙන් පසු ක්‍රියාවලිය

එකම නාම යෝජනා පත්‍රයක් පමණක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක අදාළ පක්ෂයේ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමක නම් නායකයා සමග සාකච්ඡා කර මන්ත්‍රීවරුන් නම් කිරිම සිදු කරනු ලබයි. නාමයෝජනා පත්‍ර දෙකක් හෝ වැඩි ගණනක් භාරගනු ලැබූ අවස්ථාවක ඒ ඒ පත්‍රයට අදාළ ලකුණු වෙත් කර දිය යුතුය. ස්වාධීන කණ්ඩායම් ඇතොත් ඒවා සඳහා ද ලකුණු වෙන්කර දීම කළ යුතුය. පක්ෂයකට වෙන්කර දෙන ලද ලකුණක් / ලාංඡනයක් කිසිම හේතුවක් නිසා වෙනත් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබාගත නොහැකිය. නාමයෝජනා භාර ගැනීමෙන් පසුව අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් එක් එක් ලැයිස්තුවේ ඇති අපේක්ෂකයින්ගේ නම් සිංහල අකාරාදී පිළිවෙලට සකස්කර එක් එක් අපේක්ෂකයාට අනුක්‍රමික අංකයක් ලබාදිය යුතුය. ස්වාධීන කණ්ඩායම් වලට ද හඳුනා ගැනීමේ අංකයක් ලබා දිය යුතුය.

නාම යෝජනා පත්‍ර භාර දුන් දිනයත්, ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයත් අතරතුර යම් අපේක්ෂකයෙකු මිය ගියහොත් ඒ නිසා ඒ තැනැත්තාගේ නම ඇතුළත් අපේක්ෂක නාම ලැයිස්තුව අවලංගු වන්නේ හෝ අලුතින් නාමයෝජනා පත්‍ර භාර ගැනීමට හෝ සිදුවන්නේ නැත. අතිරේක නම් තුනක් වැඩිපුර අපේක්ෂක ලැයිස්තුවට අඩංගු කර ඇති බැවිනි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok


Claim Review :   නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය
Claimed By :  Social Media Users
Fact Check :  TRUE