දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදුකළ හැකි වන පරිදි සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් ගුරුවරුන්ගේත් සුබ සාධනය සැලසෙන ලෙස පාසල් ගුරුවරුන්ගේ ගුරු මාරුවීම් සිදු කෙරෙනු ලැබෙනවා. ගුරුවරුන්ගේ මෙම ස්ථාන මාරුවීම් සහ වැටුප් සම්බන්ධයෙන් පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වුණා. මේ අතර ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගිය ඔක්තෝම්බර් 27 වන දින ‘අරුණ’ ජාතික පුවත්පතේ මුල් පිටුවේ, එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු නවදහසක් ලබන වසරේ සිට ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ ද, සංසරණය වූයේ මෙලෙසින්.

FB| Archived Link FB | Archived FB
වසර 10 කට වැඩි කාලයක් ජාතික පාසල් වල සේවය කළ ගුරුවරුන් 9000 කට ස්ථාන මාරුවීම් ලැබෙන බවට ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link
මීට අමතරව අප කළ සොයා බැලීමේදී දැකගත හැකි වුණේ, අරුණ පුවත්පතේ මෙම ප්‍රධාන සිරස්තලය පාදක කරගනිමින් උදෑසන පුවත්පත් කියවනු ලබන රූපවාහිනී වැඩසටහන් කිහිපයක් හරහා ද මෙම පුවත වාර්තා කිරීමක් කර ඇති බවයි. ඒ අනුව දෙරණ නාලිකාවේ ‘අරුණ’ වැඩසටහන, ITN නාලිකාව සහ හිරු නාලිකාවේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනේ එම පුවත වාර්තා කර තිබුණි.
සත්‍ය වශයෙන් ම මේ මාරුවීම් ලබාදෙන්නේ වසර 10කට වැඩි කාලයක් ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් ට පමණක් ද, එතරම් ගුරුවරු ප්‍රමාණයක් මාරුවීම් නොලබා ජාතික පාසල්වල වසර 10කට වැඩි කාලයක් සේවය කරමින් සිටිනවා ද ? අපි මේ පිළිබඳව සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
එකම ජාතික පාසලේ වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරු 9000ක් සඳහා මාරුවීම් ලබන වසරේ සිට ලබාදෙනවා ද?
අප අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ආයතන අතිරේක ලේකම් අමල් එදිරිසූරියගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඒ මහතා අප වෙත පැවසුවේ මේ වන විට 2023 වසර දක්වා ගුරු මාරුවීම් සිදුකර අවසන් බවයි. 2024 වසර සඳහා ගුරු මාරුවීම්වලට අදාළව අයදුම්පත්‍ර මේ වනවිට කැඳවා ඇති අතර අයදුම්පත්‍ර 9000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව එම මහතා පවසනවා. මෙම අයදුම්පත්‍ර ගුරු මාරු මණ්ඩල මඟින් තෝරා ලබන වසරේ (2025) එම ගුරු මාරුවීම් සිදු කරන අතර මෙම අයදුම්පත්‍ර 9000කට වැඩියෙන් ලැබීම පිළිබඳ තොරතුරු මාධ්‍ය විසින් වැරදි ලෙස වාර්තා කර ඇති බව අමල් එදිරිසූරිය මහතා අප වෙත පැවසුවා. එම අයදුම්පත්‍ර අතර එකම පාසලේ වසර 10කට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු, සාමාන්‍ය ගුරු මාරුවීම් ලබන ගුරුවරු සහ එකම ජාතික පාසලේ වසර 10ක සේවා කාලයක් ඇති ගුරුවරු සිටින බවයි එම මහතා පවසන්නේ. එබැවින් වසර 10කට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කළ ගුරුවරු 9000ක් සඳහා ලබන වසරේ මාරුවීම් ලබාදීම සිදු කිරීමට නියමිත බව වාර්තා වන්නේ අසත්‍ය පුවතක් වන බව එම මහතා අප වෙත පැවසුවා.
ගුරු මාරු අහෝසිය
පසුගිය වසරේ(2023) අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කරනු ලැබුවා. මෙවැනි තීරණයක් ගැනීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතුවලට සහ පසුගිය කාලයේ වෙනත් විවිධ හේතු බලපෑම නිසා, පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බැවින්, මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටලුවක් මතුවීම වැළැක්වීමට ගන්නා පියවර ලෙසයි.
ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසි වී යාම සිදු වන බවට තෝරතුරු වාර්තා වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
ඒත් සමඟ ම මේ සම්බන්ධයෙන් ගුරුවරු උද්ඝෝෂණයන් පවා සිදු කරනු ලැබුවා. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති චෝදනා කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයකට සහභාගීවීමක් අතරතුර එහි ගුරුවරුන්ගේ ඉල්ලීම මත සහ එමඟින් රාජකීය විද්‍යාලයේ කටයුතුවලට අගතියක් සිදුවන නිසා මෙම මාරුවීම් සිදුනොකරන ලෙස සිදුකළ ඉල්ලිම් නිසා මෙම තීරණය ගත් බවයි. අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙය සිදුකළ බවට ඔවුන් චෝදනා කරනු ලැබුවේ මෙලෙසින්.
නමුත් ගුරු ස්ථාන මාරු මණ්ඩල විසුරුවා හැරීම නීති විරෝධී සහ අත්තනෝමතික තීරණයක් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා 2023.03.21 දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ සාමාන්‍ය පෙළ සහ උගන්වන ගුරුවරුන් හැර ගුරු ස්ථාන මාරුවීම් මණ්ඩලයේ අනුමැතිය පරිදි ගුරු මාරුවීම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, කොවිඩ් අවදානම නිසා 2020, 2021, 2022 අවුරුදුවල ජාතික පාසල්වල ගුරු මාරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වු බවත්, එම අවුරුදු තුනටම අදාළ වන සේ මේ වනවිට මාරුවීම් 8893ක් මාරු මණ්ඩල විසින් අනුමත කර තිබෙන බව සහ ඉන් දළ වශයෙන් අවුරුදු 10කට වැඩි කාලයක් එකම පාසලක සේවය කළ ගුරුවරු ප්‍රමාණය දහසක වගේ සංඛ්‍යාවක් වන බවයි එම මහතා පාර්ලිමේන්තුවෙදී මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ගුරුවරු හැර අනෙක් ගුරු මාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ මෙලෙසින්.
ගුරු මාරු මණ්ඩල යනු?
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2007/20 චක්‍රලේඛයට අනුව ජාතික ගුරු ප්‍රතිපත්තියට අනුකූලට ගුරු මාරු මණ්ඩල පිහිටුවා තිබෙනවා. එහි අරමුණ ලෙස දක්වා ඇත්තේ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදු කළ හැකි පරිදි ශිෂ්‍ය ප්‍රජාවේ සහ ගුරුවරුන්ගේ උපරිම සුබසාධනය සැලසෙන පරිදි ජාතික ගුරු ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීමයි.
ගුරු මාරු මණ්ඩල මඟින් ගුරු මාරුවීම් සම්බන්ධව තීරණ ගනු ලබනවා. ඒ අනුව ගුරු මාරු මණ්ඩල කලාප අධ්‍යාපන කාර්යාලවල, පළාත් අධ්‍යාපන කාර්යාලවල සහ රේඛීය අමාත්‍යංශය යටතේ ද ක්‍රියාත්මක කෙරෙනවා.
මාරු මණ්ඩල ක්‍රියාත්මක කෙරුණේ ආයතන සංග්‍රහයේ වගන්තිවලට අනුවය. අති දුෂ්කර පාසලක අවම අවුරුදු 3ක් ද, අපහසු නොවන පාසලක අවම අවුරුදු 4ක් ද, පහසු පාසල්වල උපරිම අවුරුදු 8ක් ද, වඩාත් පහසු පාසල්වල උපරිම අවුරුදු 6ක් ද සේවය කළ ගුරුවරයකු වෙනත් පාසලකට මාරුවීම සිදුකළ යුතු බව ජාතික ගුරු ප්‍රතිපත්තියයේ සඳහන් වනවා.
එමෙන් ම එකම එකම පාසලේ වසර 10ක සේවා කාලයකින් පසු අනිවාර්‍ය ස්ථාන මාරුවීම් සහ ගුරුවරියක් නම් ගැබිණියක් වීම, දෙමාපියන් අසනීප වීම, දරුවන්ගේ ප්‍රශ්න ආදී පෞද්ගලික කරුණු මත ද වාර්ෂිකව මාරුවීමේදී සලකා බලා මාරුවීම් ලබාදෙනවා. මේ නිසා ගුරුවරුන්ට මාරුවීම් පිළිබඳ බලාපොරොත්තුවෙන් සේවය කළ හැකි වනවා.
මෙම වසර (2024) වර්ෂය සඳහා ස්ථාන මාරුවීම් අයදුම් පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීමට ද දැන් අවස්ථාව ලබාදී තිබෙනවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok