ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.

චීනයේ සිට සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන කතකට මෙම රෝගය ආසාදනය වී ඇති බවට ලංකාවේදී අනාවරණය වීම නිසා මෙම රෝග පාලනය පිළිබඳව ද දිවයිනේද දැඩි උනන්දුවක් ඇතිව ඇත. කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර හමුවූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වන විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වූ අතර මේ සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලාංකික කාන්තාවක් සොයාගත් බවටද සාවද්‍ය පුවතක් ඇතුළු අසත්‍ය පුවත් රැසක් පලවී තබූ අතර මේ පිලිබඳ විමර්ශන කිහිපයක්ම අප විසින් මීට පෙරද සිදුකරන ලදී.

මෙවන් පසුබිමක “ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී.” සිරස්තලය සහිත වූ වාර්තාවක් Newshub.lk නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එහි සංක්ෂිප්තයක් පහත ඇත.

“බණ්ඩාරනායක ජාත්‍යන්තර ආයුර්වේද පර්යේෂණ ආයතනය මගින් කෝවිඩ්-19 (කොරොනා) වෛරසයට දේශීය ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙනවා. නමුත් ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු නොමැතිවීම හේතුවෙන් එය පරික්ෂා කිරීමට ඔවුන්ට නොහැකි බව සඳහන් වෙනවා. ඩෙංගු සහ වෙනත් බෝවෙන රෝග වැනි වෛරස් සුවකිරීමට රෝගියාගේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කිරීමට වර්තමාන ආයුර්වේද ඖෂධ උපකාරී වන බැවින් එම රෝගය සුව කිරීමට උපකාරීවන බව එම ආයතනයේ නිලධාරීන් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත දැනුම් දී තිබෙනවා”

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ වී තිබූ මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක්ද හිමිව තිබුණි. මෙයට ලැබුණු සමහර ප්‍රතිචාර අතර මෙම ඖෂධය චීනයට යවා හෝ පරික්ෂා කරන ලෙස ඉල්ලා තිබෙනුද දක්නට ලැබුණි.

LinkArchived Link

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සොයාගෙන ඇති බවටවූ වාර්තාවක් ප්‍රධාන මාධ්‍ය ජාලාවන්හි ඇතිදැයි පරීක්ෂා කිරීමේදී, SL Ayurveda Research Institute says cure to coronavirus may be found සිරස්තලය සහිතව Daily Mirror පුවත්පත 2020 පෙබරවාරි මස 18 වැනි දින පළ කර තිබූ වාර්තාව නිරීක්ෂණය විය. කෙටියෙන් එහි සිංහල අර්ථය මෙසේ විය.

“බණ්ඩාරනායක ජාත්‍යන්තර ආයුර්වේද පර්යේෂණ ආයතනය මගින් කොරොනා වෛරසයට දේශීය ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙනවා. නමුත් ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු නොමැතිවීම හේතුවෙන් එය පරික්ෂා කිරීමට ඔවුන්ට නොහැකි බව සඳහන් වෙනවා. ඩෙංගු සහ වෙනත් බෝවෙන රෝග වැනි වෛරස් රෝග සුවකිරීමට භාවිතා වන ඖෂධ රෝගියාගේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වන බැවින් කොරොනා ආසාදනය සුව කිරීමට උපකාරී විය හැකි බව එම ආයතනයේ නිලධාරීන් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත දැනුම් දී තිබෙනවා. චීනයේ සිටින තම පවුල් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ආයුර්වේද ඖෂධ ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර චීන ජාතිකයන් දැනටමත් ආයතනය අමතා ඇත. ලංකාවේ ආයුර්වේද එෟෂධ මගින් කොරෝනා වෛරසය සුව කිරීමට උපකාරී වන බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙම ඖෂධ පිළිබඳව වැඩිදුර පර්යේෂණ කර රජයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවට උපදෙස් දී තිබේ.”

Link
Archived Link

Daily Mirror පුවත්පතේ වූ වාර්තාව පාදක කරගෙන ෆේස්බුක් සහ අනෙකුත් වෙබ් අඩවි මඟින් මෙම පුවත ජනගත කිරීමට උත්සාහයක් ගෙන ඇති බට අපට පෙනී ගියා. මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේදී පෙබරවාරි 11දින ජාතික රූපවාහිනී නාලිකාව විකාශය කළ “මහජන මතය” වැඩසටහන වෙත අපගේ අවධානය යොමු විය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් (මහජන) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍යාචාරිණී සුජාතා කළුතොටගේ මහත්මිය සහ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබුණි.

කොරෝනා වෛරස් ආසාදනයට මුහුණ දීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර ගත හැකි ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවක් ඇති බවට දේශීය වෛද්‍යවරයකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍යාචාරිණී සුජාතා කළුතොටගේ මහත්මිය පවසා සිටියේ වසංගත රෝග තත්ත්වයකදී රෝගියාගේ දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගැනීමට හැකි ක්‍රමවේද ඇති බවත්, එයට ඖෂධ, ගත යුතු ආහාර සහ අනුගමනය කළයුතු උපක්‍රම තිබෙන අතර මෙම ප්‍රතිකාර ක්‍රම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරුව නොමැති බව පැවසීය. එමෙන්ම මේ සම්බන්ධ පර්යේෂණ අනෙක් රටවල් හා සැසඳීමේදි දුර්වල මටටමක ඇති බවද පවසා, මේ සඳහා අප අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගනිමින්, බටහිර වෛද්‍ය ක්‍රමය සහ දේශීය වෛද්‍ය ක්‍රමය සමඟ ඒකාබද්ධව පර්යේෂණ කළයුතු බව අවධාරනය කළේය. එම සාකඡ්චාව පහතින්.

https://youtu.be/7UlzwNsLrYA?t=2934

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍යාචාරිණී සුජාතා කළුතොටගේ මහත්මිය සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. කොරෝනා වෛරස් ආසාදනයට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාරයක් සොයාගෙන එය සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා සිටි බවට පළවන ප්‍රවෘත්ති අසත්‍යය බව පැවසූ ඇය, Daily Mirror පුවත්පතේ පළ ව ඇති ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙස ඉල්ලා ආයුර්වේද කොමසාරිස් තුමා මගින් පුවත්පතේ කතෘට ලිඛිතව දැනුම් දුන් බවද පවසා සිටියා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඩෙංගු වැනි බොහෝ වසංගත රෝග සඳහා ප්‍රතිකාර කළහැකි ඖෂධ වට්ටෝරු ඇති බව පැවසූ ඇය, ප්‍රායෝගික ආසාදිතයන් සුව කළහැකි බවට අත්දැක ඇතත් මෙම ප්‍රතිකාර ක්‍රම විද්‍යාත්මකව පර්යේෂණය කර තහවුරු කර නොමැති බවද දැන් වූවාය. එබැවින් මෙම ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමට රෝගීන් මැලි වන බවද පැවසුවාය. කොරෝනා හෝ වෙනත් වසංගත රෝග වලදී දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මූලික ප්‍රතිකාර ක්‍රමය වන්නේ ආහාර, ඖෂධ සහ ආරක්ෂණ ක්‍රමවේදයක් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම බව පැවසූ ඇය මෙම මෙම ප්‍රතිකාර ක්‍රම විද්‍යාත්මකව සනාථ කිරීමට බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ ඒකාබද්ධව වෙනත් රටවල් මෙන් පර්යේෂණ පැවැත්විය යුතු බවද අවධාරණය කර සිටියා.

මේ අතර සති 3කදී COVID-19 ට එරෙහිව චිකිත්සක අත්හදා බැලීමේ ප්‍රතිඵල බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශ කර තිබුණි. CGTN

https://youtu.be/Q-s5d-Nl5MU

තවද බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්ලාස්මා ලබාගැනීමට හැකි වන පරිදි රුධිරය පරිත්‍යාග කරන ලෙස චීන සෞඛ්‍ය නිලධාරීන් කොරෝනා වයිරස් නියුමෝනියාවෙන් සුවය ලබා ඇති රෝගීන්ගෙන් ඉල්ලා තිබු අතර ඔවුන් එයට ප්‍රතිචාර දක්වන අයුරුද අපට දක්නට ලැබුනේ මෙසේය.

https://www.facebook.com/ChinaGlobalTVNetwork/videos/627865187781323/

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ඩෙංගු වැනි වෛරස් රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන පිළිවෙත බවත්, එහි සාර්ථකත්වය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇතත් එය විද්‍යාත්මකව පර්යේෂණ මගින් සනාථ කර නොමැති බවත්ය. එමෙන්ම කොරෝනා වෛරස් ආසාදනයට දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමයක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී නොමැති බවය.

“ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී.” තේමාව යටතේ ඉදිරිපත් වී තිබෙන සටහන් නොමඟ යවන සුළු සටහන් පෙළකි.

Avatar

Title:ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

Fact Check By: Sahan Perera

Result: Partly False