2020 මාර්තු මස 11 වන දින ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත ප්‍රථම ස්වදේශික රෝගියා සොයා ගනු ලැබීය. රෝගය දිවයින තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිණිස රජය විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය. විදේශයන්හි සිට පැමිණ සියල්ලන්ම නිරෝධායනට යොමු කරන ලදී. රජය කොතෙක් උපදෙස් දුන්නද සමහර අවස්ථාවන්හිදි ජනතාව එය නොපිළිපදින බවට දක්නට ලැබුණි. ස්වයං නිරෝධායන සඳහා යොමු කළ පුද්ගලයන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොපිළිපැද ඥාතීන් හමුවීම සහ ඔවුන් සමග චාරිකාවන්හි නිරතවීම් වාර්තා විය. මේ සැමටම වඩා භයානක වූයේ රෝග ලක්ෂණ මතු වූවන් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් වැළකීමෙන් රෝහල්ගතවීමය.

මෙවන් පසුබිමක “මුන්ට තියෙන්නෙ නූගත්කම නෙවෙයි. රටේ විදියට හැසිරෙන්න බැරි උද්දච්ච කම” තේමාව යටතේ Sri Voice නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ප්‍රතිචාර රැසක් හිමි කරගනිමින් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ මෙම සටහන ෆේස්බුක් සටහනේ “කොරෝනා රෝගයෙන් සුවය ලබා නිවසට පැමිණි පුත්තලමේ පළමු රෝගියා සෞඛ්‍ය උපදෙස් කඩකොට ගම පුරා සංචාරය කරලා” යන කරුණ අවධාරණය කර තිබු අතර පරිශීලනය කරන්නන්ට 7700 අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණේය. මෙම සටහනට අධික ලෙස මුස්ලිම් විරෝධී ප්‍රතිචාර හිමිවී තිබෙනුද දැකගන්නට ලැබුණි.

LinkArchived Link

එමෙන්ම “Genius club දිනියස් එකතුව மேதாவி கழகம்නමැති ෆේස්බුක් සමුහයක Farhan Farook නමැත්තකු දීර්ඝ කතාංගයක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙන ද දක්නට ලැබුණි. එහි එක් කොටසක සඳහන් කර තිබුනේ මෙලෙසිනි.

LinkArchived Link

සැබෑ සිදුවීම දැන ගැනීම සඳහා අපි එම පුද්ගලයා සම්බන්ධ කර ගත් අතර, 2020 අප්‍රේල් මස 10 වන දින සවස 6 සිට 7 දක්වා කාලය අතර තුර ඔහුගේ නිවසේ ඉදිරිපිට ගිලන් රථයෙන් ඔහුව ඇරලා තිබෙන බව දැනගත්තෙමු. මුළු පවුලම නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති නිසාත් ඔවුන් නිවසින් පිටව යාමෙන් පසු ඔහුගේ නිවස විෂබීජහරණය කර තිබුණි.ඒ වගේම තම නිවසට ඇතුළුවීමට යතුර ද ඔහු සතුව නොතිබුණි. එබැවින් ඔහු ගිලන් රථයේ සිටි නිලධාරීන්ට දන්වා සිටියේ, ඔහු තම සහෝදරියගේ නිවසෙහි රැදී සිට ඔහුගේ නිවසේ යතුර ලැබුණු පසු ඔහු තම නිවස පිරිසිදු කර පසුව තම නිවසට යන බවත් ය,ගිලන් රථයේ සිටි නිලධාරීන් ඊට එකඟ විය.

කෙසේ වෙතත් පසු දින නිලධාරීන්ගේ සංචාරයේදී ඔහු තම නිවසේ නොසිටි අතර ඔහු තම සහෝදරියගේ නිවසින් පිටතට පැමිණ සැබෑ සිදුවීම නිලධාරීන්ට පැහැදිලි කිරීමට උත්සාහ කළද නිලධාරීන් ඔහු ට ඇහුම් කන් දුන්නේ නැත, ඔහුගේ තත්වය පිළිබඳව ගිලන් රථ නිලධාරීන්ට දැනුම් දී තිබුණ ද මෙම සෞඛ්‍යය නිලධාරීන් ඔහුට සවන් නොදී දිගින් දිගටම අනතුරු ඇඟවූහ. මෙම සංවාදය මාධ්‍ය සජීවීව ඔවුන්ගේ කැමරාව හරහා ප්‍රචාරය කල අතර ඔහුට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. මෙම පුවත පිළිබඳ සත්‍ය කථාව මෙයයි, ශ්‍රී ලාංකිකයන් සහ මිනිසුන් වශයෙන් ඔබ මෙම සිදුවීම සහ මෙහි ඇති සත්‍යය අවබෝධ කර ගනු ඇති අතර යහපත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සහ යහපත් මිනිසුන් ලෙස අන් අයටද මෙම සැබෑ පුවත සන්නිවේදනය කිරීමට උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

එකම සිදුවීමක් පිළිබඳව පරස්පර විරෝධී අදහස් සහිත සටහන් දෙකක් නිරීක්ෂණය වීම නිසා මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප Sri Voice නමැති ෆේස්බුක් පිටුවේ වූ සටහන සමග ඉදිරිපත් කර තිබූ සේයාරුව මැනවින් පරීක්ෂා කළෙමු. එය Neth News නැමති වෙබ් අඩවියක ප්‍රවෘත්තියක් බව තහවුරු විය. අප ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කල විට පහත ප්‍රවෘත්තිය දක්නට ලැබුණි. “කොරෝනා රෝගයෙන් සුවය ලබා නිවසට පැමිණි පුත්තලමේ පළමු රෝගියා සෞඛ්‍ය උපදෙස් කඩකොට ගම පුරා සංචාරය කරලා” යන සිරස්තල සහිතව පලවී තිබු එම පුවත මෙසේය.

ඉන්දුනිසියාවේ සංචාරය කොට මෙරටට පැමිණ සිටියදී කොරෝනා වෛරසය වැලදී ඉන් සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකු ඔහුට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ සැරිසැරීම නිසා අද දිනයේදී සෞඛ්‍ය බලධාරීන් ඔහුට දැඩි සේ අවවාද කර තිබෙනවා.

ආගමික ප්‍රචාරක කටයුත්තක් සදහා ඉන්දුනීසියාව බලා ගොස් පසුගිය මාර්තු මස 17 වන දින මෙරට පැමිණි පුත්තලම, කඩුමයාකුලම් පාර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුට නව කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට අනාවරණය වීමත් සමග පසුගිය මාර්තු මස 28 වෙනිදා සෞඛ්‍ය අංශ විසින් වැඩිදුර ප්‍රතිකාර සදහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවනු ලැබුවා.

එලෙස වැඩිදුර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) දිනයේදී සුවය ලබා නැවත නිවෙස් බලා පැමිණ තිබෙනවා. මේ වන විට ඔහුගේ බිරිද සහ දරුවන්ද නිරෝධායනය මධ්‍යස්ථානයනහි මෙන්ම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඔහු සිය නිවසට පැමිණිමත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සිය නිවසේ දින 14ක කාලයක් රැදී සිටීමට උපදෙස් දී තිබුණද, අදාල පුද්ගලයා මේ වන විටත් ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචාරය කොට ඇති බවට අද (11) දින සෞඛ්‍ය අංශ වෙත තහවුරු වීමත් සමග සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැඩි සේ අවවාද කොට ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

මේ වනවිට මෙම ගම්මානය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණත් අද වන විට විවිධ පුද්ගලයින් සිය ව්‍යාපාරික කටයුතු සදහා පැමිණෙන ආකාරය මෙහිදී සෞඛ්‍ය අංශ වෙත දක්නට ලැබුණු බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

LinkArchived link

අද දෙරණ රූපවාහිනි නාලිකාවද 2020 අප්‍රෙල් මස 11 දින රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේ පහත අන්දමට වාර්තා කර තිබුණි.

පුත්තලම ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාදනයවූ ප්‍රථම පුද්ගලයා සුවය ලබා තම නිවසට පැමිණ තිබෙනවා. තවත් දින දාහතරක් ඔහුගේ නිවසේ රැඳෙන ලෙස ඔහුට ලබා දුන් උපදෙස් නොතකා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ඔහුට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ඔහුගේ නිවසට යනවිට ඥාති නිවසකට ගොස් සිටියා.

https://youtu.be/9zguZtOi-NI?t=382

අප මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස පුත්තලම දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරියා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ සිට ගිලන් රථයකින් පුත්තලමේ කඩුමයාකුලම් පාරේ ඔහුගේ නිවසට පැමිණ ඇත්තේ අප්‍රේල් මස 11 රාත්‍රී 7.00 ට පමණය. ඔහුගේ නිවස විෂබීජහරණය කර පවුලේ සාමාජිකයින් සහිරා විද්‍යාලයේ පිහිටි නිරෝධායන කදවුර වෙත යොමු කර තිබූ බැවින් ඔහුට ඔහුට නිවසට යාමට නොහැකි වී ඇත. එබැවින් ඔහුගේ නිවසට, නිවෙස් දෙකකට එපිටින් පිහිටි ඔහුගේ නැගණියගේ නිවසේ රාත්‍රිය ගත කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුදින උදෑසන හතට ඔහුගේ නිවෙසට පැමිණි විට ඔහු සිටියේ ඔහුගේ සොහොයුරියගේ නිවසේය. ඔහු ගමේ වෙනත් කිසිදු නිවසකට සංචාරය කර නොමැති බවද ඔවුන් තහවූ කර සිටියා. රාත්‍රිය ගත කළ ඔහුගේ සොහොයුරියගේ නිවසේම දින දාහතරක් නිරෝධායන වන ලෙස ඔහුට පසුදින උදැසනම දැඩි ලෙස අවවාද කර, නිවැසියන් සහ මෙම පුද්ගලයා නිවසේ රැඳී සිටින බව තහවුරු කර ගැනීම පිණිස නිවස ඉදිරිපිට පොලිස් මුරපොළක් ද ස්ථාපිත කිරීමට කටයුතු කල බව අවධාරණය කළේය. මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ඔහුද පුත්තලම් දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රකාශය සනාථ කළේය.

අනතුරුව අප පුත්තලම  පොලිස් ස්ථානය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ පුත්තලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරදාස මහතා, එම රෝගියා නිවසට පැමිණෙන විට රෑ බෝවී තිබුණු බැවිනුත්, පවුලේ සාමාජිකයින්  නිරෝධායන සඳහා යොමු වී තිබුණු නිසා ඔහු රාත්‍රිය ගත කිරීම පිණිස අසල පිහිටි සොහොයුරියගේ නිවසට ගොස් තිබු බවත්, පසුදින උදෑසනම සෞඛ්‍යය බලධාරීන් ඔහුව පරීක්ෂා කිරීම පිණිස ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු රැඳී සිටියේ සොහොයුරියගේ නිවසේ බවත්, ඔහු ගමේ සංචාරය කර නොමැති අතර ඔහුගේ සොහොයුරියගේ නිවසේ සිට නිරෝධායනය කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය බලධාරීන් එම නිරෝධායනය දින දාහතරක් පුරා නිසි ලෙස සිදුවෙනවා දැයි පරික්ෂා කිරීම පිණිස නිවස ඉදිරිපිට පොලිස්  මුරපොළක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිය බැවින් නිවසේ ගේට්ටුවෙ සිට මීටර් 50ක් ඈතින් ප්‍රධාන ගේට්ටුව මනාව පෙනෙන ලෙස පොලිස් මුර පොලක් ස්ථාපිත කළ බවද පැවසීය. එහි පැය 24 පුරා පොලිස් නිලධාරින් සේවය සඳහා යොදවා ඇති බව පැවසීය. 

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  සුවපත්වු පුද්ගලයාය නිවසට පැමිණෙන විට රෑ බෝවී තිබුණු බැවිනුත්, පවුලේ සාමාජිකයින්  නිරෝධායන සඳහා යොමු වී තිබුණු නිසා ඔහු රාත්‍රිය ගත කිරීම පිණිස අසල පිහිටි සොහොයුරියගේ නිවසට ගොස් ඇති බවය. පසුදින උදෑසන සෞඛ්‍යය බලධාරීන් ඔහුව පරීක්ෂා කිරීම පිණිස ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේද ඔහු රැඳී සිටියේ සොහොයුරියගේ නිවසේය. ඔහු ගමේ සංචාරය කර නොමැති අතර ඔහුගේ සොහොයුරියගේ නිවසේ සිට නිරෝධායනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බවය.එබැවින් කොරෝනා රෝගයෙන් සුවය ලබා නිවසට පැමිණි පුත්තලමේ පළමු රෝගියා සෞඛ්‍ය උපදෙස් කඩකොට ගම පුරා සංචාරය කරලා” යන සිරස්තල සිරස්තලයෙන් ඉදිරිපත් කර ඇති සටහන් සියල්ලම නොමග යවන සුලු සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:කොරෝනා රෝගයෙන් සුවය ලබා පැමිණි පුත්තලමේ රෝගියා ගම පුරා සංචාරය කර නැත!

Fact Check By: Sahan Perera

Result: Misleading