ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් ක්‍රියා කරන බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදීත් දේශය මුහුණදෙන ප්‍රශ්න පිළිබඳව පක්ෂයේ ස්ථාවරය නොබියවම ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වූ මෙවැනි සටහන් කිහිපයක්ම පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ ඒවා අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බවය.

කොරෝනා වෛරස් ආසාදනය මර්දනය කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහනේ නායකත්වය දරන්නේ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාය. පසුගිය වසරේ අගෝස්තු මස හමුදාපතිධුරයට පත්වූ හමුදාපතිතුමා නොබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිතව ඇත.

මෙවන් පසුබිමක, “කොරෝනා වලට මුවා වෙලා හමුදාපතිට සේවා දිගුවක් ලබා දෙන්න අප ඉඩ තියන්නේ නෑ තේමාවෙන් සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. පහත ඇති දීර්ඝ කතාංගයද එම සටහනේ අන්තර්ගත කර තිබුණි.

“වර්ථමාන ජනාධිපති නනදසේනගෙ හමුදා රෙජිමේන්තුවෙන් ඇවිල්ල හමුදාපති උන අහිංසක දෙමළ ජනතාව සමූළ ඝාතණය කර බවට යුධ අපරාධ චෝදනා ඇති නිසා ඇමරිකා එක්සත් ජනපදයට ඇතුවීමට වත් අවසර නොදෙන රාජපක්ෂලාට පක්ෂ පාති හමුදාපතිවරයා හට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති වරයාගෙ සැලසුමක් ඇති බව හෙලිදරව් වී ඇත,

හමුදා පති වරයාට සෙවා දිගුවක් ලබා දී මිලිටරි පාලණය ස්ථාපිත කිරීමට ගෝඨාභය රාජපක්ෂ ගන්නා නින්දිත උත්සාහය ගැන බිමල් සහොදරය ඉරිදා පුවත්පතකට කළ හෙලි දරව්ව”

ඉතා කෙටි කාලයක් තුළ ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1200කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමිව තිබූ ප්‍රතිචාර බොහොමයක්ම ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කර තිබුණි.

LinkArchived Link

ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විවිධ සිරස්තල වලින් ෆේස්බුක් ජාලයේ මේ පිළිබඳව සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය වූ අතර මුලින්ම මෙම සටහන හුවමාරු කරගෙන තිබුනේ Sri Judge නමැති ෆේස්බුක් පිටුවකින් බව දැකගන්නට ලැබුණි.

LinkArchived Link

ෆේස්බුක් ජාලයෙහි තිබූ සටහන් කිහිපයක ඡායාරූපයන් පහත දැක්වේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් සියල්ලම පාහේ බිමල් රත්නායක මහතා ඉරිදා පුවත්පතකට කළ ප්‍රකාශයක් බවට සඳහන් කර තිබුණද එම පුවත්පතේ නම හෝ අන්තර්ජාල දිගුවක් සපයා නොමැති බව නිරීක්ෂණය විය. එසේම මෙම ඡායාරූපයේ වර්ණය අනුව මෙය මුද්‍රිත පුත්පතකින් ලබාගත් ඡායාරුපයක් බව පෙන්වීමට උත්සාහ කර තිබුනද එය පළවූ පසුගිය සති අන්තයේ කිසිඳු පුවත්පතක් මුද්‍රණය වුයේ නැති අතර සියලුම පුවත්මත් අන්තර්ජාල (Epaper) ප්‍රකාශන වශයෙන් පමණක් පලවී තිබු අතර පුවත්පත් කිහිපයක් මුද්‍රණ කරයුතු ආරම්භ කලේ අප්‍රේල් 20 වැනිදා සිටය. සතිඅන්ත ඉරිදා පුවත්පත්වල අන්තර්ජාල ප්‍රකාශනවල මෙබඳු කිසිඳු ප්‍රකාශයක් පලවී තිබේදැයි පරීක්ෂා කළද එබඳු කිසිඳු ප්‍රකාශයක් දැකගනීමටද නොහැකි විය.

මෙම ෆේස්බුක් පිටුවල ඉදිරිපත් කර තිබූ සටහන්හි කරුණු තහවුරු කර ගැනිම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. තමන් කිසිදු දිනෙක හමුදාපති තුමාට සේවා දිගුවක් ලබා දීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ප්‍රකාශයක් නොකළ බව අවධාරණය කළ බිමල් රත්නායක මහතා, ජනතා විමුක්ති පෙරමුණ පාලනයට නතු පිටුවක් සේ අඟවමින්, “JVP සමඟ රටේ ජනතාව” නැමැති ව්‍යාජ ෆේස්බුක් පිටුවක්, ජනතා විමුක්ති පෙරමුණට සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන්ට විරුද්ධව තදබල මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බව පැවසීය.

මෑතකදී අප සිදු කළ කරුණු විමර්ශනයකදී ද “JVP සමඟ රටේ ජනතාව” නැමැති ෆේස්බුක් පිටුවේ නාගානන්ද සමග ලංකාවේ අපි ලෙස තිබු නම ජේවීපී “JVP සමඟ රටේ ජනතාව” බවට වෙනස් කර ඇත්තේ මාර්තු 2020 මාර්තු 07 වැනි දා බව තහවුරු විය.

බිමල් රත්නායක මහතා මෑතදී සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව ප්‍රධාන මාධ්‍යයන්හි ඇති වාර්තා අප පරීක්ෂා කළ අතර හමුදාපති තුමාට සේවා දිගුවක් ලබා දීමට විරුද්ධත්වය පළ කරමින් සිදු කළ කිසිදු ප්‍රකාශයක් සොයා ගැනීමට නොහැකි විය

JVP නිල ෆේස්බුක් පිටුවේ මෙම අසත්‍ය ප්‍රකාශය ගැන සටහනක් පළකර තිබුනේ මෙලෙසිනි

https://www.facebook.com/jvpsrilanka/posts/2908664302556171

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරොනා වෛරස් පාලනයට මුවාවී හමුදාපති තුමාට සේවා දිගුවක් ලබා දීමට අප විරුද්ධ වෙනවා යැයි බිමල් රත්නායක මහතා කිසිදු දිනයක ප්‍රකාශ නොකළ වගයි බවයි.

එබැවින් “කොරෝනා වලට මුවා වෙලා හමුදාපතිට සේවා දිගුවක් ලබා දෙන්න අප ඉඩ තියන්නේ නෑ” තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කළ බවට ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් කර ඇති සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් නිගමනය කරමු.

Avatar

Title:හමුදාපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් සිදුකර නැත!

Fact Check By: Sahan Perera

Result: False