දිවයින තුළ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් සමඟ උරෙනුර ගැටෙමින් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසිය මහත් මෙහෙවරක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද හමුදාව මෙම මහඟු සත් කර්මයට සුවිශේෂ දායකතවයක් දක්වයි. බොහෝ විට සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින් මොවුන්ගේ සේවය අගය වුවද සමහර සමාජ මාධ්‍ය ජාලා තුළින් ඉදිරිපත්වූ සටහන් අසත්‍ය හෝ නොමග යවන සුළු බව අපගේ කරුණු සහ විමර්ශනවලදී තහවුරු වී ඇත.

ලොකු උදව්වක් අවශ්‍යයි. කිලිනොච්චියේ ආමි එකේ අපේ කොල්ලන්ට යවන්න මාස්ක් අවශ්‍ය වෙලා තියෙනවා. ලබාදිය හැකි කෙනෙක් වෙතොත් පහත අංකයට දන්වන්න. අඩුගානේ මේ උදව්ව කරන්න පුළුවන් දකිනකං මේක share කරන්න. එ්කත් ලොකු උදව්වක් මේ වෙලාවේයන කතාංගය රෝපණය කළ සටහනක්, දුරකථන අංකයක් සහිතව චන්ද්‍රසිරි වැලිවැට නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. හමුදා සාමාජිකයන්ට අවශ්‍ය පහසුකම් හමුදාවට සපයා ගත හැකි බව යුද හමුදාපතිතුමා පවා පවසන අවස්ථාවක, ෆේස්බුක් පරිශීලනය කරන්නන් 5900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම අවශ්‍යතාව පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස, ෆේස්බුක් සටහනේ අන්තර්ගත කර තිබු දුරකථන අංකයට විටින්විට නොකඩවා ඇමතුම් ලබා ගත්තද එයින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. එම පුවතට අදාලව කිසිඳු පළකිරීමක් වෙනත් කිසිඳු මාධ්‍යක් ඔස්සේද දැකගැනීමට නොහැකි විය.

යුද හමුදාවේ මෙම අවශ්‍යතාවය පිළිබඳ කරුණු තහවුරු කරගැනීම පිණිස අප යුද හමුදා මාධ්‍ය අංශයට දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. මෙම ෆේස්බුක් සටහන අසත්‍ය ප්‍රකාශයක් බව පැවසූ යුද හමුදාපති මාධ්‍ය අංශය, කොරෝනා මර්දන සටන් පෙරමුණේ සිටින සිය සාමාජිකයන්ට අවශ්‍ය මුහුණු ආවරණය වැනි සෞඛ්‍ය ආරක්ෂක උපාංග සපයා ගැනීමට හමුදාව සමත්ව ඇති බවත් කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ යොදවා ඇති හමුදා සාමාජිකයින්ට මුහුණු ආවරණ සඳහා අවශ්‍යතාවයක් පැන නොනැගී ඇතිබවද අවධාරණය කළේය.

කිලිනොච්චි ප්‍රදේශය භාර යුධ හමුදා නිලධාරියාගෙන්ද මේ පිළිබඳව විමසීමක් අප විසින් සිදුකරන ලද අතර එහිදී එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ඔවුන්ද සනාථ කර සිටියා.

චන්ද්‍රසිරි වැලිවැට නමැත්තාගේ ෆේස්බුක් සටහනේ වූ දුරකථන අංකයට ඔවුන්ද ඇමතුමක් ගත් නමුත් ප්‍රතිචාරයක් නොදක්වන බව වැඩිදුරටත් සඳහන් කළ අතර මෙම දුරකථන අංකය පිලිබඳ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද අප සමඟ පවසා සිටියා.

මෙවැනි තහවුරැ නොකරන ලද පුවත් හුවමාරු කර ගැනීමෙන් වැලකී සිටින මෙන් ඉල්ලා සිටිමු.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කිලිනොච්චිය ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට මුහුණු ආවරණ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි.

එනිසා “ලොකු උදව්වක් අවශ්‍යයි. කිලිනොච්චියේ ආමි එකේ අපේ කොල්ලන්ට යවන්න මාස්ක් අවශ්‍ය වෙලා තියෙනවා. ලබාදිය හැකි කෙනෙක් වෙතොත් පහත අංකයට දන්වන්න. අඩුගානේ මේ උදව්ව කරන්න පුළුවන් දකිනකං මේක share කරන්න. එ්කත් ලොකු උදව්වක් මේ වෙලාවේ” යන කතාංගය රෝපණය කර චන්ද්‍රසිරි වැලිවැට නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය ප්‍රකාශයක් බව නිගමනය කරමු.

Avatar

Title:කිලිනොච්චිය ප්‍රදේශයේ හමුදා සාමාජිකයින්ට මුහුණු ආවරණ හිඟයක් නොමැත!

Fact Check By: Sahan Perera

Result: False