කලින් කලට ජංගම දුරකථන හරහා එකම පනිවිඩයක් බොහොමයක් දෙනා අතරේ හුවමාරු වීම දකින්නට පුලුවන්.බොහෝ විට ෆේස්බුක් මැසේන්ජර් සේවාව , වයිබර් සහ වට්ස් ඇප් වැනි පනිවිඩ ලෙසින් විවිධ වූ පනිවිඩ පුද්ගලයන් අතරේ හුවමාරු වෙනවා.පසුගිය කාලයේදී එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩයක් වෙත අපගේ අවධානය යොමු වුනා.

Google සමාගම විසින් ජංගම දුරකතන සඳහා නිකුත් කල යාවත්කාලින කිරීමක් ලෙස කෝවිඩ් 19 සෙන්සරයක් සියලු දුරකතනයකටම ඇතුලත් කර ඇති බව එම පනිවිඩයේ සටහන්ව තිබුනා.

පසුගිය සතියේ ඔබගේ දුරකතනයේ යම් අවහිරතාවයන් ඇති උනි නම් ඒ කොවිඩ් 19 ට්‍රැකර්ස් ජංගම දුරකතනයට ඇතුලත් කල නිසා බවත් ඔබට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සතු දුරකථනයක් ඇත්නම් එහි සැකසුම් වල ගූගල් වලට අදාලව පරීක්ශා කල විට එම සැකසුම් ඇති බවත් එහි දක්වා තිබුනා. එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩය පහතින්,

මෙය ෆේස්බුක් පරිශීලකයින්ද කිහිපදෙනෙකු හුවමාරු කරගෙන තිබුනා.

LinkArchived

බොහෝ දෙනෙකු මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන මේ පිලිබඳව සත්‍ය කරුණු සොයා බැලීමට අප කටයුතු කලා

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

අප පලමුවම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකත කිහිපයක් නියැදි ලෙස ලබා ගෙන දුරකතන වල සැකසුම් යටතේ ගූගල් හා සම්බන්ධ කිසිවක් යාවත්කාලීන වී ඇත්දැයි පරීක්ශා කරනු ලැබුවා. එහිදී අපිට දැකගන්නට ලැබුනේ බොහොමයක් ස්මාර්ට් ජංගම දුරකතන වල සැබැවින්ම එහි ගූගල් සැකසුම් යටතේ කොවිඩ් 19 නොටි‍ෆිකේශන් සැකසුමක් යාවත්කාලීන වී තිබුනු බවක්.

මේ පිලිබඳව අප වැඩි දුරටත් අවදානය යොමු කල අතර එහිදී අපට දැකගන්නට ලැබුනේ කොරෝනා රෝගී තත්වය වැලඳී ඇති අය අසල සිටී දැයි දැනගැනීමට ගූගල් සේවාව යටතේ මෙම සේවා පහසුකම ලබා දී තිබු අතර සක්‍රීය කිරීමට බ්ලුටූත් (Bluetooth) ක්‍රියාත්මක කල යුතු බවත් මෙය හා සම්බන්ධ ජංගම යෙදුමක් (ඇප් එකක්) තිබුය යුතු බවත්ය. මෙම කාරනය කිසිඳු විටෙක දුරකතනයට ඇතුල් කරන ලද සෙන්සරයක් හරහා සිදු වන බවක් එහි වැඩිදුර තොරතුරු වල සටහන් වන්නේ නෑ.

වැඩිදුරටත් කරුනු සොයා බැලූ අපට සොයා ගත හැකිවූයේ ඇපල් සහ ගූගල් සමාගම් එක්ව සිදු කල කටයුත්තක් ලෙස මෙම Covid: Exposure notification එක සකස් කර ඇති බවයි. මේ පිළිබඳව විස්තර බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය හරහා පලවී තිබු අතර ඉන්දියාවේ මෙය ක්‍රියාත්මක කිරීම පිලිබඳ පළවූ වාර්තාවක් මෙසේය

මේ කරුන පිලිබඳව කරුණු විශ්ලේෂක කණ්ඩායම් රැසක්ද තොරතුරු අනාවරණය කර තිබුනේ මෙලෙසින් AAP | Reuters

නිරාවරණ දැනුම්දීම් පද්ධතිය (Exposure notification) නිර්මාණය කර ඇත්තේ ඔබේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සැලසුමට කේන්ද්‍ර කරගෙන බව ගුගල් සමාගම පවසා සිටියි. ඔබගේ අනන්‍යතාවය වෙනත් පරිශීලකයින්, ගූගල් හෝ ඇපල් සමාගම් සමඟ බෙදා නොගන්නා බවද පවසා සිටියි. මෙම සේවාව සිදුවන ආකාරය පිළිබඳව ගූගල් සමගම විසින් පලකරන ලද වීඩියෝවක කරනු විස්තර කර තිබුනේ මෙසේය

https://youtu.be/1Cz2Xzm6knM

ගුගල් ආයතනය පවසන අන්දමට මෙම සේවය සිදුවන්නේ මෙසේය. ඔබ මෙම සේවය සක්‍රීය කල පසු, නිරාවරණ දැනුම්දීම් පද්ධතිය (Exposure notification) මඟින් ඔබගේ දුරකථනය සඳහා අහඹු අංකයක් (Random ID) ජනනය කරනු ඇත. මෙම අහඹු අංකය ඔබ හෝ ඔබේ ස්ථානය හඳුනා ගැනීමට භාවිතා කළ නොහැකි බව සහතික කිරීමට, සෑම විනාඩි 10-20 කට වරක් ඒවා වෙනස් වේ. බ්ලූටූත් හරහා මෙම පුද්ගලිකත්වය ආරක්ෂා කරන අහඹු අංකය හුවමාරු කර ගැනීමට ඔබගේ දුරකථනය සහ ඔබ වටා ඇති දුරකථන පසුබිමේ ක්‍රියා කරනු ඇත. මෙම ක්‍රියාවලිය සිදුවීම සඳහා මෙයට අනුකුල (compatible) ඇප් එක විවෘතව තබා ගැනීමට අවශ්‍ය නැත. ඔබගේ දුරකථනය වරින් වර එහි ලැයිස්තුවට සමඟ ධනාත්මක COVID-19 සිද්ධීන් හා සම්බන්ධ සියලුම අහඹු අංක පරීක්ෂා කරයි. ගැලපීමක් තිබේ නම්, ඔබ සහ ඔබ අවට සිටින පුද්ගලයින් ආරක්‍ෂිතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මහජන සෞඛ්‍ය බලධාරීන් වැඩිදුර උපදෙස් ඇප් එක හරහා ඔබට දැනුම් දෙනු ඇත. මෙම තොරතුරු ලබාදීමේ API සේවාවක් පමණක් ගුගල් සමාගම මඟින් සිදුවේ.

එම විස්තර ගුගල් සමගම පෙන්වා දී තිබුනේ මෙලෙසින්

Exposure Notifications - Google

මේ අනුව රජයේ සෞඛ්‍ය අධිකාරියකට යටත්ව ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා පුද්ගලයන්ට මෙම පහසුකම ලබා ගත හැකියි.මෙම පහසුකම ක්‍රියාත්මක වීමට නම් දුරකතනයේ බ්ලූටූත් පහසුකම සක්‍රීය කර තිබිය යුතුය.

මෙසේ ගුගල් API හරහා ඉහත පරිදි ක්‍රියාත්මක වන ජංගම යෙදුමක් (App) තිබේදැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් සිදුකල විමසීමකදී අපට දැනගන්නට ලැබුනේ ලංකාවේ දැනට එබදු ඇප් එකක් ක්‍රියාත්මක නොවන බවයි. එසේම ලංකාවේ දැනට මෙසේ COVID-19 සම්බන්ධතා සොයාගැනීම (Contact Tracing) සඳහා ඉතා කාර්යක්ෂම පද්ධතියක් පවතින අතර එම හේතුව නිසාම රෝගය පැතිරී යාම මුල් අවධියේදී පවා අවම කරගැනීමට හැකි වූ අතර දැනට මාස දෙකකින් පමණ සමාජය තුලින් රෝගීන් වාර්තා නොවන මෙවන් අවධියක මෙසේ නිරාවරණ දැනුම්දීම් පද්ධතියක් (Exposure notification) හරහා දත්ත ලබාගෙන ජංගම යෙදුමක් මඟින් මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පැහැදිලි කර සිටියා.

ඉන්දියානු රජය මඟින් Aarogya Setu නමින් ජංගම යෙදුමක් හඳුන්වා දී තිබු බව වාර්තා වූ බැවින් ඔවුන් එක හරහා මෙම සේවාව ලබා ගන්නේ ද යන්න සොයා බැලීමේදීද අපට දැකගන්නට ලැබුනේ තවම එම සේවය ලබන්නේ නැති බවයි. ඒ පිලිබඳ විස්තරයක් මෙසේය

මෙය භාවිතා කරන රටවල් පිළිබඳව ද එම වාර්තාවේ පෙන්වා දී තිබුනේ මෙලෙසින්

Conclusion (නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල අප ඉහත පල කල වට්සැප් දුරකතනය හරහා හුවමාරු වන පරිදි කිසිඳු ආකාරයේ සෙන්සරයක් ගූගල් හෝ ඇපල් සමාගම් විසින් කිසිම ජංගම දුරකතනයකට ඇතුල් කර නැත. මෙම සේවාව මඟින් ඔබ සිටිනා ස්ථානය සනිටුහන් වන්නේ නැත. එසේම මෙම සේවාව ලබාගැනීමට ඇපල් සහ ගුගල් සමාගම්වල සහය ලබා ගන්නා රජයේ සෞඛ්‍ය ආයතනයක් යටතේ පවතින ඇප් එකක් තිබිය යුතු අතර බ්ලූටූත් සක්‍රීය කිරීම හරහා පමණක් මෙම සේවාව ලබා ගත හැකි වෙයි. ලංකාවේ දැනට මෙවැනි ඇප් එකක් ක්‍රියාත්මක වන්නේද නැත.

Avatar

Title:ගුගල් හා ඇපල් සමාගමේ කොවිඩ් Notification පිලිබඳව නොමඟ යවන සුළු පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading