ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් පසුගිය දින කීපයේ දී වැඩියෙන් නිර්මාණය වී තිබුණා. ඒ, ඔහු 71 විප්ලවයට සම්බන්ධ වූ දෙවැනි පරපුර සම්බන්ධ කරගනිමින් නව කඳවුරක් නිර්මාණය කිරීමට සරසීමත් සමඟයි. මෙසේ නව සංවිධානයක් හරහා උවිඳු විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වුවහොත් එමඟින් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන තර්ජනය පිළිබඳව බොහෝ සටහන් ද අපට දැක ගන්නට ලැබුණා.

මෙවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා විසින් උවිඳු විජේවීර අළලා අපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කල බවට සටහන් රැසක් හුවමාරු වුනා. නමුත් ඒ සියල්ලක්ම කිසිඳු මුලාශ්‍රයකින් තොරව පළවූ ව්‍යාජ සටහන් බව අපගේ කරුණු අනාවරණයේ දී පැහැදිලි වුනා.

සමාජ මාධ්‍ය සටහන්:

“උවිඳු විජේවිර කියන්නේ සේනාධිපතිගේ සල්ලි වලින් නඩත්තු කරන රාජපක්ෂලාගෙ රෙජිමේ රකින්න එන අතකොලුවක්” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසු ආකාරයක් දැක්වෙන අයුරෙන් සටහන් පෙළක් ම හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුණා.

Facebook | Archived Facebook | Archived

“පියා විමුක්තිකාමියෙක් වූ පමණින් පමණින් පුතා ද එසේ වේ යැයි නිගමනය කල නොහැක” යන තේමාවෙන් පළවී තිබු සටහනක ද පෙන්වා දී ඉහත පරිදි ම තේමාවකින් නිහාල් ගලප්පත්ති පැවසු ප්‍රකාශයක් බව දක්වමින් පළවූ සටහනක්. එහි පැවසුනේ “පුතා උනත් විජේවීර සහෝදරයා වගේ ඇඳුම් ඇන්දා කියලා විජේවීර සහෝදරයා වෙන්න බැහැ” යනුවෙන්.

Facebook | Archived

මෙම සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වී ඇති ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ ආකාරයෙන් උවිඳු විජේවීර අළලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව පුවත් කිසිවක් ප්‍රධාන ධාරාවේ නිල මාධ්‍යක් හරහා පලවී තිබේ දැයි අප පරීක්ෂා කල ද එවැනි කිසිදු පුවතක් පසුගිය සතියේ දැක ගැනීමට ලැබුණේ නැහැ.

අනුර කුමාර දිසානායක මහතා සහ නිහාල් ගලප්පත්ති මහතා විසිනි ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදුකරන්නේ දැයි ඔවුන් ගේ ප්‍රකාශ ඇතුළත් පසුගිය සතියේ වීඩියෝ දර්ශන පරීක්ෂා කළද එහිදී ද එවැනි කිසිඳු ප්‍රකාශයක් දැක ගැනීමට ලැබුනේ නැහැ.

මේ පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් කරුණු විමසීමක් සිදු කළ අතර එහිදී ද දැන ගන්නට ලැබුනේ ද ඉහත ආකාරයේ කිසිදු ප්‍රකාශයක් පක්ෂ නායක තුමා හෝ නිහාල් ගලප්පත්ති මහතා විසින් පවසා නැති බවයි.

“පුතා උනත් විජේවීර සහෝදරයා වගේ ඇඳුම් ඇන්දා කියලා විජේවීර සහෝදරයා වෙන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් තමා විසින් කිසිවිටෙකත් පවසා නැති බවත් මෙම සටහන් වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිහාල් ගලප්පත්ති මහතා එම සටහන් වලට ප්‍රතිචාර ලබාදෙමින් ද දක්වා තිබුනේ මෙලෙසින්

කෙසේවෙතත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා කිහිපයක් ම දැක ගන්නට ලැබුණු අතර “පක්ෂ දේශපාලනයට කැමති නෑ... තාත්තා කළ හැමදේම නිවැරදි නෑ... උවිඳු විජේවීර” යනුවෙන් දිවයින පුවත්පත සමඟ අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්. එහිදී සහ මෙහි දැක්වෙන සංවාදයේ දී උවිඳු පවසා තිබු අදහස් සහ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ තිබු සම්බඳතාව බිඳවැටීමට තුඩුදුන් කරුණු පිළිබඳව ප්‍රකාශ ඇතුළත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ අනුර කුමාර දිසානායක මහතා හෝ නිහාල් ගලප්පත්ති මහතා විසින් උවිඳු විජේවීර මහතා සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ කිසිවක් මෑත කාල වකවානුවේ මාධ්‍ය වෙත සිදුකර නොමැති බවයි. එබැවින් එම සටහන් සියල්ල කිසිඳු නිල මුලාශ්‍රයකින් තොරව හුවමාරු වන ව්‍යාජ සටහන් බව පෙන්වා දිය හැක.

Avatar

Title:උවිඳු විජේවීර සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් පැවසු බවට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perara

Result: False