එංගලන්ත සංචාරය අතර තුර නිරෝධායන නීතී උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් මේ දිනවල ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහොමයක් දැක ගන්නට ලැබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උපහාසාත්මක සටහන්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ අතර එවන් නොමග යවන සුළු උපාහාසාත්මක ස්වරූපයෙන් පළ වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

Also Read: FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

සමාජ මාධ්‍ය සටහන් :

සංචාරේ නමැති ෆේස්බුක් පිටුවක දැක්වුණේ මෙලෙසින්,

කෝලි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියූ දේ මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ඕනම මොහොතක තරගය තමනු අතට හරවන්න පුළුවන් අති භයානක කණ්ඩායමක්. මේ කාලය ඔවුන්ට සුභ කාලයක් නෙවේ.

කුසල් මෙන්ඩිස් දික්වැල්ල වැන්නවුන් වෙනස් නොකරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වලපල්ලෙම තමයි. ඔවුන්ට වැඩිය දක්ෂ පාසල් ක්‍රීඩකයො ඉන්දියාවේ ඕනතරම් සිටිනවා

2021-01-03 විරාත් කෝලී (ඉන්දීය නායක) ද හින්දුස්තාන් පුවත්පත

Facebook | Archived Link

මේ සටහන් කිහිප දෙනෙක් විසින් ම හුවමාරු කරගෙන තිබු අයුරු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සටහන් වල දැක්වෙන පරිදි 2021 වර්ෂයේ ජනවාරි මස 03 වන දා THE HINDUSTAN යනුවෙන් දැක්වෙන පුවත් පතක් තිබේ දැයි පරීක්ෂා කිරීමේ දී එය බොහෝ දුරට THE HINDUSTAN TIMES පුවත් පත බව පෙනී ගියා. එම පුවත්පතේ හෝ එහි වෙබ් අඩවියේ, ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් හෝ මේ දිනවල බොහෝ කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් හෝ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට පුවතක් පළ වුණිද යන්න අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කළා.

ඒ අනුව 2021 වසරේ ජනවාරි මස 03 වැනිදා පළ වූ THE HINDUSTAN TIMES පුවත් පත පරීක්ෂා කළ ද මේ සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර නොතිබුණි.

THE HINDUSTAN TIMES

එම වෙබ් අඩවියේද එදින විරාත් කෝලී සම්බන්ධයෙන් පළ වූ පුවත් සම්බන්ධයෙන්ද අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, ඉන්දියාව ඔස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ්හි පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ඉනිමකදී ඔවුන් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමත් සමග එම පසුබෑමට හේතු වූයේ කෝලි වඩාත්ම අවශ්‍ය වූ විට කණ්ඩායමෙන් ඉවත් වූ බවට නැගෙන චෝදනා වලට හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා පිළිතුරු ලබා දුන් පුවතක් සම්බන්ධයෙන් වාර්තා කිරීමක් හා එම තරඟයේදී ක්‍රිකට් තරඟයේ නායකත්වය හිමිව තිබූ Ajinkya Rahane සම්බන්ධයෙන් පළ වූ පුවතකදී විරාත් කෝලීගේ නම සඳහන් වීමක් පමණි. විරාත් කෝලී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවන් සඳහනක් නොකළ බවට අපට දැක ගන්නට ලැබුණා.

එසේම 2017 වසරේ කල්කටාහි පැවති ටෙස්ට් තරඟයේදී නිරෝෂන් දික්වැල්ල තරඟ වැදුණු ආකාරය අගය කරමින් විරාත් කෝලි දැක්වූ අදහස් පිළිබඳව පළවූ වාර්තාවක් මෙතනින්.

කෙසේ වෙතත් 2018 වර්ෂයේදී ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියට සමගාමීව බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඩීවිලියර්ස්, විරාත් කෝලී සහ යුස්වේන්ද්‍ර චහල් සමග ජනප්‍රීය ඉන්දීය සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනෙක් සිදු කළ සංවාදයකදී එම නිවේදකයන් විසින් විරාත් කෝලීගෙන් ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම නවතා දැමීමට නොහැකිදැයි උපහාසාත්මක කෝණයෙන් ඇසූ පැනයට ඩීවිලියර්ස් පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන විට එය ක්‍රිකට් තරගාවලියක් නොවෙන බවත් එය Off-season බවත්ය. ඩීවිලියර්ස්ගේ එම ප්‍රකාශයට සැවොම සිනාසෙන අතර ඉන්පසු විරාත් කෝලීට ඩීවිලියර්ස් පවසන්නේ ඔබලා කවදාවත් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) පරදින්නෙ නෑ, ඉතින් එය ඕෆ් සීසන් එකක් බවට පත් වෙනවා යනුවෙනි. (විනාඩි 9යි තප්පර 33 සිට)

කෙසේනමුත් මෙම ප්‍රකශය සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් කතාබහට ලක්වුණා. එබැවින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් ඉන්දීය නායකයා විසින් සිදුකළා නම් එයද බොහෝ සේ කතා බහට ලක්විය යුතු ද තිබුණ ද අපට එබඳු කිසිඳු හෝ පුවතක් මාධ්‍ය හරහා වාර්තා වී තිබෙනු ද දැක ගන්නට ලැබුනේ නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පැවසිය හැක්කේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ දැක්වෙන පරිදි THE HINDUSTAN TIMES පුවත් පතේ 2021 වර්ෂයේ ජනවාරි මස 03 වන දා පළ කළ පුවතක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවත් කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ යයි දැක්වෙන පුවතක් වාර්තා වන්නේ නැති බවයි.

THE HINDUSTAN TIMES පුවත් පතේ එදින විරාත් කෝලිගේ නම සඳහන් ක්‍රීඩා පුවත් දෙකක් වාර්තා කළ ද ඒවායේ ද සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ කිසිඳු පුවතක් දැක්වෙන්නේ නැහැ.

Avatar

Title:කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ගැන කෝලිගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading