අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබුණේ අර්ථසාධකය ලක්ෂ 7කට වැඩි නම් 14%ක බදු අය කරගන්නා බවයි. මෙම සටහන් හේතුවෙන් නොමග ගොස් සිටින බොහෝ පිරිස් මෙහි නිවැරදි කරුණු සොයා බලා විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් කිහිපයක් ද සළකමින් මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප කළ කරුණු අනාවරණ පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Dilruk Appuhamy නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ,

!"හොද වැඩේ!"...........!"රාජපක්ෂලා ආවොත් කොහොම හරි කෙලිනවා අර්ථසාධකයට!"

!"අමන ආන්ඩු බං මෙවා නම් කොහොම හරි කෙලින්න බලන්නේ ජනතාවගේ බඩටම තමයි !"

!"තෙල් වැඩි කරනවාබඩු මිල වැඩි කරනවාපඩි අඩු කරනවාසෞඛ්යය විනාශ කරනවාඅධ්යාපනය සල්ලි වලට ගන්න කියනවාඅන්තිමට අර්ථසාධකයටත් කෙලිනවා!"

!"ඔයිට වඩා හොදයි මිනිස්සුන්ට ගෝල්ෆේස් එකට එන්න කියලා මරලා දාපල්ලා එක පාර!"

නැද්ද අපේ හාමුදුරුවනේ

යනුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායරූප ඇතුළත් කොට නිර්මාණය කර තිබූ එම ඡායාරූප සටහනේ සඳහන් කර තිබුණේ, අර්ථ සාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්. කාපල්ල තව කිරිබත් යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහන් WhatsApp ඔස්සේ ද හුවමාරු වී තිබු අතර එවැනි එක් සටහනක් පහතින්.

Fact Check (කරුණු විමර්ෂණය)

මේ පිළිබඳව අප පාර්ශව කිහිප කිහිපදෙනෙකුගෙන් කරුණු විමසා බැලීමට කටයුතු කළා.

සේවක අර්ථසාධක අරමුදල යනු?

ශ්‍රී ලංකා මහ බැංකුවේ සඳහන් පැහැදිලි කිරීමට අනුව, 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී.

පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා අරමුදලේ ප්‍රධාන පරිපාලකයා වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකාරත්වය සඳහා බලතල, රාජකාරි හා වගකීම් දරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, මුදල් මණ්ඩලයට අයත් පනතින් පවරන ලද බලතල, රාජකාරි හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සම්පාදනය කරයි.

වර්තමානයේදී, සාමාජිකයන් වෙනුවෙන් අරමුදල වෙත අවම දායකත්ව අනුපාතය ඔවුන්ගේ රැකියාවේ මාසික දළ ඉපයීම්වලින් 20%ක අගයක් වේ. මෙහිදී සේවායෝජකයින් හා සේවා නියුක්තිකයින් (අරමුදලෙහි සාමාජිකයන්) පිළිවෙළින්, අවම වශයෙන් සාමාජිකයාගේ මාසික දළ ඉපයීම්වලින් පිළිවෙලින් 12% ක් හා 8% ක් ලෙස අරමුදලට දායකත්වය ලබාදිය යුතුයි. සාමාජිකයා තම සේවා ආයතනයේ කලක් රැකියාව කිරීමත් සමඟ ඔහුගේ සේවක අර්ථසාධක අරමුදලේ සමුච්චිත ශේෂය වර්ධනය වන අතර, එම ශේෂ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සමාගම් කොටස් හා සාංගමික බැඳුම්කර ආදිය සඳහා ආයෝජනය කරනු ලබයි. එකී ආයෝජනවල ආදායම් ඉපයීමේ අගය මත, අරමුදල සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය ප්‍රකාශයට පත් කරන අතර, එය සාමාජිකයාගේ ගිණුමට බැර කරනු ලබයි.

සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින්ට තම විශ්‍රාමික ප්‍රතිලාභ (දායකත්ව අරමුදල් සහ සමුච්චිත පොලී ශේෂය) ඔවුන්ගේ විශ්‍රාමික වයස් සීමාව: එනම් කාන්තාවන් සඳහා අවු. 50 සහ පිරිමින් සඳහා අවු. 55 සම්පූර්ණ කළ විට ලබාගැනීමේ හිමිකම පවතී. මීට අමතරව, විදෙස්ගතවීමකදී, පූර්ණකාලීන ආබාධිත තත්ත්වයකදී, කාන්තාවක නම් තම විවාහය හේතුවෙන් සේවයෙන් ඉවත් වීමකදී සහ විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට එක් වීමකදී සාමාජිකයින්ට ඔවුන්ගේ ගිණුම්වල අරමුදල් නැවත ලබාගැනීමේ හිමිකම ඇත. තවද, සාමාජිකයාගේ මරණයකදී, සාමාජිකයාගේ නෛතික උරුමක්කාරයන් හට ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම ඇත.

මීට අතිරේකව, විශ්‍රාම ගැන්වීමේදී ඇති ප්‍රතිලාභවලට අමතරව, සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින්ට තම සාමාජික ගිණුම්වල ඇති ශේෂය ඇප ලෙස තැන්පත් කරමින් අනුමත කරන ලද ණය ලබාදෙන ආයතන වෙතින් නිවාස ණය ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇත. තවද, 2012 අංක 02 දරණ සංශෝධිත සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව, වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ සේවක අර්ථසාධක අරමුදල් ශේෂය රු.300,000කට වඩා වැඩිවන සාමාජිකයින් සඳහා ගිණුමේ දැනට පවතින ශේෂයෙන් 30% ක ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාර ආදිය සඳහා ලබාගැනීමේ හිමිකම 2015 සිට ක්‍රියාත්මක වේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් හා එම අරමුදලින් ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් දක්වා ඇති දීර්ඝ පැහැදිලි කිරීම මෙතනින්.

සේවක අර්ථසාධක අරමුදල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය යන තේමාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා පසුගිය වසරේ මේ ඇතුළු කරුණු පිළිබඳව සිදුකර තිබු දීර්ඝ පැහැදිලි කිරීමක් පහත වීඩියෝවෙන්.

https://www.facebook.com/cbsrilanka/videos/292415952212470/

කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පැහැදිලි කිරීම

කම්කරු කොමසාරිස් ජනරාල්ව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් සේවක අර්ථසාධක අරමුදල ලක්ෂ 7කට වැඩි නම් 14% ක බද්ධයක් අය කිරීමේ පුවතේ සත්‍යතාවය සම්බන්ධයෙන් අප විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කරේ මෙම පුවත පදනම් විරහිත කිසිදු සත්‍යතාවයක් නොමැති පුවතක් බවත් ඒ සම්බන්ධ කිසිදු යෝජනාවක් හෝ පැමිණ නැති බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවයි. අර්ථසාධක අරමුදලට පොළියක් ලබා දීම මහ බැංකුව මගින් වාර්ෂිවකව සිදු කරන බවත් පවසා සිටියා. විශ්‍රාමික වයස් සීමාව වැඩි කිරීම පිළිබඳව පමණක් අර්ථසාධක අරමුදල් පනතේ ඉදිරියේ දී සංශෝධනයක් සිදු විය හැකි බවද එතුමා සඳහන් කළා.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පැහැදිලි කිරීම උපුටා දක්වමින් මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවට මාධ්‍ය ඔස්සේ පුවත් පලවී තිබු අතර එවැනි පුවතක් පහතින්.

Divaina | Archived

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාගේ පැහැදිලි කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව අධිකාරි උපාලි තිලකරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, අර්ථසාධක අරමුදලේ කේවල ගිණුම් වලින් මෙතෙක් බදු අය කිරීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් දැනුවත් නොකර ඇති බවත් එලෙස දැනුවත් කිරීමක් සිදු කරනු ලබන්නේ කම්කරු කොමසාරිස් විසින්, කම්කරු ජෙනරාල් හෝ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් විසින් බවත් මෙතෙක් එලෙස දැනුවත් කිරීමත් සිදු නොකළ බවයි තහවුරු කළේ.

අර්ථසාධක අරමුදල ආදායම් බද්දට යටත් බැවින් මීට වසර කිහිපයකට පෙර එම ප්‍රතිශතය පමණක් 10%ක සිට 14% දක්වා ඉහළ දමා තිබූ නමුත් කේවල ගිණුම් නැතහොත් සාමාජික ගිණුම් වලින් බදු අය කිරීමේ ක්‍රමයක් නොතිබුණු බවද පවසා සිටියා. 2012 අප්‍රේල් මාසය වන තෙක් ඒ අවස්ථාවේ තිබූ බදු ප්‍රතිශත අනුව සමාජිකයන් ගනු ලැබූ අරමුදලට බදු ප්‍රතිශතයක් තිබුණු බවත්, 2012 වර්ෂයේදී සේවක අර්ථසාධක අරමුදල බදුවලින් නිදහස් කර තිබීමෙන් පසුව මෙතෙක් බදු අය කිරීමේ කිසිඳු ක්‍රමවේදයක් නොතිබුණු බව ද එතුමා අවධාරණය කර සිටියා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය

මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්දක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසූ බවට පළ වූ පුවත මෙතනින් සහ මෙතනින්.

ඒ බව ජුලි 21 වනදා ජාතික රූපවාහිනි රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශයේද සඳහන් කෙරුණේ මෙලෙසින්.(11.37 විනාඩියේ සිට)

https://youtu.be/_WHaLCe3eAU?list=PLG5mYZmJYit6oxUZIeAXFFDd0RZRXz-_Q&t=697

2017 වසරේ මේ හා සමාන ප්‍රකාශ පෙළක්...

මීට පෙර 2017 වර්ෂයේදී මේ කරුණු පිළිබඳ කතාබහක් ඇතිවී තිබූ අතර එවැනි සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

2017 වර්ෂයේදී අර්ථසාධක අරමුදල මත සිදු කරන ආයෝජන වලින් ලැබෙන ආදායම් මත අයකෙරෙන බද්ද 10% සිට 14 % දක්වා වැඩි කිරීමට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ පුවතක් මෙතනින්. අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතාද, මීට විරුද්ධ ප්‍රකාශ එම අවධියේ දී සිදුකර තිබු අතර ඒ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

කෙසේ නමුත් EPF /ETF අරමුදලෙන් විශේෂ බදු මුදල් අයකිරීමේ උත්සාහයක් ඇති බවට එල්ලවන විවේචනවලට පිළිතුරු දෙමින් එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසා තිබුනේ මෙම ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. කෙසේවෙතත් ලක්ෂ 100,200,300ක් වැනි මුදලක් මෙම අරමුදලින් ලබාගන්නා අයගෙන් යම් බදු මුදලක් අය කරගන්නවාද යන්න ගැන යම් සාකච්ඡාවක් එම අවධියේ දී සිදුවෙමින් තිබූ බව ද එහි දී සඳහන් වී තිබුණි.

එම පුවත සහ වීඩියෝ සාකච්ඡාව මෙතනින්

මේ අනුව අර්ථසාධක අරමුදල ආදායම් බද්දට යටත් බැවින් නව ආදායම් බදු පනත (Inland Revenue Act No 24 of 2017) මගින් එම ප්‍රතිශතය පමණක් 10%ක සිට 14% දක්වා ඉහළ දමා තිබීම පිළිබඳ පුවත හේතුවෙන් 2017 වසරේ දී මේ ආකාරයේ 28%ක බදු අයකිරීමේ (14% රඳවාගැනීමේ බද්දක් ද සහිතව) අවදානමක් පිළිබඳ සටහන් හුවමාරු වීමට මුල් වී තිබූ බව පෙනී යනවා.

කෙසේවෙතත් ලක්ෂ 100,200,300 වැනි ඉහළ අර්ථසාධක අරමුදලක් හිමි අයෙකුට වුව ද සිය අර්ථසාධක අරමුදල් ශේෂය ලබාගන්නා අවස්ථාවේ දී මේ වන විට බදු මුදලක් බලපැවැත්වෙනවා ද යන්න අප නැවත වරක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටියා. එහිදී කම්කරු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර සිටියේ සේවක අර්ථසාධක අරමුදලේ අගය කුමක් හෝ වුව ද ඒ මත කිසිඳු බද්දක් අරමුදල ලබාගන්නා අවස්ථාවේ දී සේවකයාගෙන් අය නොකර ගන්නා බවයි.

කෙසේවුවද අර්ථසාධක අරමුදල මත සිදු කරන ආයෝජන වලින් ලැබෙන ආදායම් මත අයකෙරෙන බද්ද 14% දක්වා වැඩි කිරීම, බදු ගණනය කිරීමේ ක්‍රමය වෙනස්වීම ද ඇතුළු විවිධ කරුණු හේතුකොටගෙන අර්ථසාධක ගිණුම් සඳහා ගෙවනු ලබන පොළී අනුපාතය සුළු වශයෙන් පසුගිය වසර කිහිපයේදී අඩුවී තිබූ බව ද අපට දැකගනන්ට ලැබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අර්ථ සාධක අරමුදල ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක් පනවන බවට හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බවයි. සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව වන කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයා මෙම ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු කර සිටිනවා.

අර්ථසාධක අරමුදල ද ආදායම් බද්දට යටත් වන අතර 2017 වසරේ ආදායම් බදු පනත යටතේ මෙසේ අර්ථසාධක අරමුදකින් සිදු කරන ආයෝජන වලින් ලැබෙන ආදායම් මත අයකෙරෙන බද්ද 10% සිට 14 % දක්වා වැඩි කරන ලදි. මේ ඇතුළු වෙනත් කරුණු ද මුල් කරගෙන අර්ථසාධක ගිණුම් සඳහා එකතුවන පොළී අනුපාතය සුළු වශයෙන් පසුගිය වසර කිහිපයේදී අඩුවී තිබුණි.

කෙසේනමුත් මෙම අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි ගිණුමකින් අරමුදල් ලබාගන්නා අවස්ථාවේදී ගිණුමේ ශේෂයේ අගය කිනම් හෝ අගයක් වුව ද ඒ මත බදු පැනවීමක් සිදුවන්නේ නැති බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.

Avatar

Title:අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?

Fact Check By: Sara Gunaratne

Result: False