Update 27/01/2023 :

2022 වසරේ ඉදිරිපත් වූ නව බදු සංශෝධනවලට අනුව, රාජ්‍ය සහ පුද්ගලික අංශවල වැටුප් ලබන සියලුම සේවකයින් සඳහා 2023 වසරේ ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද (PAYE TAX) සැලකිය යුතු වෙනසකින් යුක්තව ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

සමාජයේ මේ දිනවල විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙන මෙම දේශිය ආදායම් බදු පනත් සංශෝධනයට අනුව මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවා වේතනයක් ලබන සෑම සේවකයෙකුම, ඔහුගේ / ඇයගේ වැටුප් ප්‍රමාණය මත, 6% සිට 36% දක්වා, ආදායම් කාණ්ඩ 6ක් යටතේ PAYE TAX (උපයන විට බදු) ගෙවීමට සිදුවෙනවා.

උදාහරණයක් ලෙස මසකට රු.350,000 වේතනයක් ලබන පුද්ගලයෙකු මෙම 6%, 12%, 18%, 24%, 30%, 36% යන කාණ්ඩ 6ටම ඇතුළත් වන අතර ඔහු/ඇය මසකට ගෙවිය යුතු බදු මුදල රු. 52,500 කි. එසේම මසකට රු. 125,000 උපයන පුදගලයෙකු 6% කාණ්ඩයට පමණක් අයත් වන අතර මසකට ගෙවිය යුතු බදු මුදල රු. 1500 කි. පුවත් වාර්තාවක් මෙතනින්

මසකට රුපියල් ලක්ෂය ඉක්මවන වැටුපක් ලබන ඕනෑම අයෙකුට මෙම දිගුව ඔස්සේ නව දේශීය ආදායම් බදු පනත යටතේ ඔබට ගෙවීමට සිදුවන බදු මුදල ගණනය කර ගැනීමට පුළුවන්.

මෙම බදු අගයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙලෙසින්. බදු අයකෙරෙන ක්‍රමවේදය පිලිබඳ මුදල් අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා, තනුජා පෙරේරා පැහැදිලි කරමින් යෙදුණු සාකච්ඡාවක් මෙතනින්

පහතින් දැක්වෙන්නේ මෙම නව බදු සංශෝධන ඉදිරිපත් වී ක්‍රියාත්මක වීමට පෙර, එනම් 2021 වසරේ දී හුවමාරු වූ , නොමඟ යවන සුළු සටහන් පෙළක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් බව කරුණාවෙන් සලකන්න. එය 2023 වසරේ ක්‍රියාත්මක වන නව බදු සංශෝධන ද නොවේ.

විවිධාකාරයේ බදු පැනවීම් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කතාබහකට ලක්වන අයුරු අපට සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පළ වන ඇතැම් සටහන් හරහා දැක ගන්නට ලැබෙනවා. මේ අතර පළවූ සටහන් පෙළක දැක්වුණේ, මාසික ආදයම ලක්ෂයට වැඩි පිරිසගේ බදු අය කර ගන්නා අයුරු දැක්වෙන සටහනක්. ප්‍රධාන පුවත් නාලිකාවක පළ වූ සටහනක් ආකාරයෙන් දැක්වුණු මේ සටහනේ දැක්වෙන කරුණු සත්‍යද යන්න පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වුණේ, “උපයන විට ගෙවීම මත බදු” මාසිකව ලක්ෂයකට වැඩි වැටුපක් ලබාගන්නා අයවලුන් සඳහා පැනවෙන ආකාරයයි.

ඒ අනුව 100,000-150,000 අතර මාසික වේතනයක් හිමි අයට 4%ක් වන රු.4000 ක බද්දක් ද, රු.150,000 – 200,000 මාසික වැටුප් වේතනයට 8% බද්දක් එනම්, රු. 10,000ක බදු අගයක් ද, රු. 200,000-250,000 මාසික වැටුපට 12%ක බද්දක් එනම් 18,000ක්ද, රු.250,000-3000,000කට මාසික වේතනයකට, 16% එනම් රු 28,000 ක් ද, මාසික වේතනය රු. 300,000-350,000 අතර නම් 20%ක බද්දක් එනම්, රු 40,000ක් ද, මාසික වැටුප රු.350,000 ට වැඩි නම් 24%ක බද්දක් එනම් රු. 54,000ක්ද යනාදී වශයෙන් අය කරනු ලැබේ යනුවෙන් එහි දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්.

Archived Link

Update: (20/05/2022)

ඉහත දක්වා ඇති උපයන විට බදු පිලිබඳ සටහනට තවත් කරුණක් එකතු කරමින් “බැංකුවල තැන්පත් කර ඇති මුදල්වලට ලැබෙන පොලිය මත 5%ක නව බද්දක් යනුවෙන්” නව බද්දක් මෑතක දී හඳුන්වා දී ඇති බව ද හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වුණේ මේ අයුරින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහනින් දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයක පළ වූ ආකාරයක් දක්වා තිබුණ බැවින් මෑතකදී මෙලෙස පළ වූ පුවතක් බවත් මේ හේතුවෙන් මෑතකදී උපයන විට ගෙවීම් මත බදු අලුත් කර ඇති බවටද අදහසක් හඟවා තිබුණු බැවින්ද මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ, මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙලෙස මෑතකදී බදු සංශෝධනක් සිදුවූ ඇත්දැයි අප නිරීක්ෂණය කළ අතර එවන් සංශෝධනයක් සිදු වූ බවට පුවත් වාර්තා දැක ගැනීමට හැකි වුනේ නැහැ.

උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු රු.250,000කට අඩු වේතනයක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් අයකිරීමක් සිදු නොවෙන බවට පසුගිය අවුරුද්දේ එනම් 2020 වර්ෂයේ ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදු කෙරිණ. ඒ බවට පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇති 2020/2021 වර්ෂය සඳහා ආදායම් වාර්තාව, උපලේඛන සහ වත්කම් හා බැරකම් ප්‍රකාශය පිරවීම සඳහා උපදෙස් මාලාවද නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදීද සඳහන් වූයේ, උපයන විට ගෙවීමේ ආදායම් බදු අය කිරීමේ අවම සීමාව රු.250,000ක් දක්වා සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව වාර්ෂිකව මිලියන 3ක් දක්වා (රු.250,000 x 12) PAYE බදු අයකිරීමක් මේ වන විට සිදුවන්නේ නැහැ. වාර්ෂික ආදායම මිලියන 3ට වැඩි නම් වැඩිවන පළමු මිලියන 3ට 6%ක බද්දක්ද, ඊළඟ මිලියන 3ට 12%ක් සහ ඉන්පසුව 18%ක් වශයෙන් බදු පැනවීමක් සිදුවෙනවා. (30 වන පිටුව)

IRD | Archived Link

තව දුරටත් මෙම ප්‍රතිශත තහවුර කර ගැනීම සඳහා අප ලේක් හවුස් ආයතනයේ අරමුදල් කළමනාකරණ අංශ ප්‍රධානී ඩී.එම්. ධනසේන මහතා සම්බන්ධ කරගත්තා. ඒ මහතා පවසා සිටියේ, PAYE බදු රු.250,000කට අඩු මාසික වේතනයක් ලබන සේවකයන්ගෙන් අයකිරීමක් සිදු නොකෙරෙන බවයි. පසුගිය වර්ෂයේ බදු සංශෝධනයට අනුව රු.250,000 ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙකු නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනුවක් විවෘත කර ස්වයං තක්සේරුව මගින් බදු ගෙවීම සිදුකළ හැකි බවත් අවධාරණය කළා.

ඒ අනුව වාර්ෂික ආදායම මිලියන 03 ට වැඩි පුද්ගලයින්ට, පුද්ගලිකව ආදායම් බදු ලිපිගොනු විවෘත කර ගත හැකි අතර එසේ නොවන්නේනම් පෙර උපයන විට බදු ගෙවූ පරිදි වැටුපෙන් අඩුකර සේවා යෝජකයා හරහා අදාළ බදු මුදල් ගෙවීමට හැකියි. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

ඒ අනුව මෙතෙක් මාසිකව රු.250,000 ට අඩු ආදායමක් ලබන සේවා නියුක්තිකයන් උපයන විට ගෙවීමේ ආදායම් බදු අය කිරීමට අයත් නොවන බවට පැහැදිලි වෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සඳහන් සටහන සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ එය, 2018 වර්ෂයේ සිදු වූ බදු සංශෝධනය සම්බන්ධයෙන් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ වූ ප්‍රවෘත්තික බදු අය කිරීම් සම්බන්ධනේ දැක්වීමට භාවිතා කළ තොරතුරු සටහනක් බවයි. එම වීඩියෝව මෙතනින්.(0.20)

එමෙන්ම ආදායම මත උපයන බදු සම්බන්ධයෙන් නැවතත් කතා බහට ලක්වූයේ පසුගිය සැප්තැම්බර් 12 වන දා ‘දෙරණ’ නාලිකාවේ BIG FOCUS TODAY වැඩ සටහන සඳහා දැඩි ‘බදු ප්‍රතිපත්ති හා පීඩිත ජනතාව’ යන මෙයින් සාකච්ඡා කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණි අවස්ථාවේ ඒ මහතා සඳහන් කළේ, තමන් මුදල් ඇමතිට යෝජනා කළේ, ‘සමාජ සංරක්ෂණ දායක මුදල’ නමින් රු.ලක්ෂයකට වඩා මාසික දළ ආදායමක් ලබන සියලු පිරිසගෙන් 5%ක වත් බද්දක් අය කළ හැකි බවට සඳහන් කිරීමත් සමග මෙවැනි සටහන් නිර්මාණය වූ බවට උපකල්පනය කළ හැකියි. එම වැඩ සටහන මෙතනින්.(44.37)

කෙසේවෙතත් පසුගියදා මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මාධ්‍යවේදීයෙකු විමසූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කළේ, එවැනි තීරණයක් රජය විසින් ගෙන නොමැති බවත් එය බන්දුල අමාත්‍යවරයාගේ පුද්ගලික යෝජනවාක් පමණක් බවයි. එම අවස්ථාව මෙතනින්.

මේ සම්බන්ධයෙන් ඉදිරි දිනකදී හෝ අයවැය යෝජනා හරහා යම්කිසි සංශෝධනයක් සිදුවහොත් එය මෙහි යාවත්කාලීන කිරීමට අප බලපොරෝත්ත්තු වෙමු.

Update: (20/05/2022)

2020 ජනවාරි මස සිදු වූ බදු සංශෝධනයට අනුව මෙරට බැංකුවක රඳවා ඇති මුදලකට ලැබෙන පොලිය මත 5% බද්දක් අය කිරීම අහෝසි කර තිබු බව මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු කිහිපයකින් ම අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

කෙසේනමුත් එක් රාජ්‍ය බැංකුවක් (BOC) සඳහන් කළේ, ස්ථාවර තැන්පතු වලින් ලැබෙන මාසික පොලිය රු. 250,000 ඉක්මවූ අයට පමණක් 5%ක බද්දක් අය කරන බවයි.

එසේම මේ දිනවල හුවමාරු වන සටහනම 2018 අප්‍රේල් 1 වැනිදා හුවමාරු කර ගෙන තිබු අවස්ථාවක් මෙතනින්. මේ අනුව සටහන් පැරණි පුවතක් අනුසාරයෙන් නැවත වරක් හුවමාරු වන සටහන් පෙළක් බව පැහැදිලි වෙනවා.

ඒ පිළිබඳ අප තවදුරටත් සිදුකළ විමර්ශනයේ දී දැක ගන්නට ලැබුණේ, 2018 වර්ෂයේ බදු සංශෝධනය සම්බන්ධයෙන් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ වූ ප්‍රවෘත්තික බදු අය කිරීම් සම්බන්ධනේ දැක්වීමට භාවිතා කළ තොරතුරු සටහනක් බවයි.

එම වීඩියෝව මෙතනින්. (2018 මාර්තු 31)

PAYE බදු සම්බන්ධයෙන් ද අප නැවත වරක් 2022 මැයි මස හුවමාරු වන සටහන් සම්බන්ධනේ දේශීය ආදායම් දෙපර්තම්නේතුවෙන් විමසා සිටියේ කිසියම් හෝ වෙනසක් සිදුව ඇත්ද පිළිබඳවයි. එහිදී ඔවුන් තහවුරු කර සිටියේ ද ඉහත 2021 සැප්තැම්බර් මස අප සිදුකල විමර්ශනෙය් පරිදි ම මේ දක්වා ද උපයන විට ගෙවීමේ ආදායම් බදු (PAYE Tax)අය කිරීමේ අවම සීමාව රු.250,000 ලෙස නොවෙනස් ව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි දිනකදී හෝ අයවැය යෝජනා හරහා යම්කිසි සංශෝධනයක් සිදුවහොත් එය මෙහි යාවත්කාලීන කිරීමට අප බලපොරෝත්ත්තු වෙමු.

Also Read : Fact Check: අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ කරුණු අනාවරණය අනුව පෙන්වා දිය හැක්කේ, ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වූ “උපයන විට ගෙවීම මත බදු” (PAYE Tax) මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි වේතනයක් ලබන අයවලුන්ගේ සිට ඉහළට අය කරනු ලබන බවට සඳහන් සටහන් අසත්‍ය බවයි.

එම සටහන 2018 වර්ෂයේ සිදු වූ බදු සංශෝධනයට අයත් ප්‍රතිශත වන අතර එම වර්ෂයේ පළ වූ ප්‍රවෘත්තියකට අදාළ සටහනක් මේ දිනවල හුවමාරු කර ගනිමින් දැක්වීමට උත්සහ කර තිබුණේ, වර්තමානයේ මේ ආකාරයේ නව බදු සංශෝධන ක්‍රියාත්මක වී ඇති බවක්. කෙසේනමුත් අවසන් වරට 2020 ජනවාරි මස සිදුවූ බදු සංශෝධන අනුව “උපයන විට ගෙවීමේ ආදායම් බදු” (PAYE) අය කෙරෙන්නේ මාසික වේතනය රු.250,000කට (වසරකට මිලියන 3කට) වැඩි වැටුපක් ලබාගන්නා අවස්ථාවක දී පමණක් වන අතර ඊට අමතරව වෙනත් නව බදු පැනවීමක් මෙතක් සිදුවී නැහැ.

මේ ආකාරයටම 2020 ජනවාරි මස සිදු වූ බදු සංශෝධනයට අනුව මෙරට බැංකුවක රඳවා ඇති මුදලකට ලැබෙන පොලිය මත 5% බද්දක් අය කිරීම අහෝසි කර තිබු බව මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු කිහිපයකින් ම අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:ලක්ෂයට වැඩි වැටුපක් ලබාගන්නා අයට නව බද්දක්?

Fact Check By: Pavithra Sandamali

Result: False