
‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවකගේ අවධානය, ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා, විදේශීය රටක ආරාධනය මත පැවැත්වෙන සිය මංගල සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා පසුගිය දා ඉන්දියාව බලා පිටත් වුණා. ඇයව පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේහි ගුවන්තොටු පොළ වෙත අති විශාල සෙනඟක් රැස් වූ බවට ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“යොහානි පිළිගැනීමට 450,000 කට අධික ජනතාවක් දිල්ලි ගුවන් තොටුපල වෙත ඊයේ පැමිණ සිටියා” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් වෙත යොමු කර තිබුණේ මෙලෙසින්.

එසේම යොහානි ට ඩොලර් 500,000 තෑගී මුදලක් ද හිමිවූ බව එම සටහන් මඟින් දක්වා තිබුණා.
එමෙන්ම ගායන ශිල්පී යොහානි ද සිල්වා ඉන්දියාවේ දිල්හි ගුවන් තොටු පොළට පැමිණි අවස්ථාවේ ඇයව දැක බලා ගැනීමට පැමිණි ඉන්දීය ජනතාව ලෙස සඳහන් කරමින් තවත් ඡායාරූපයක් පෙන්වා දී තිබුණා.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

යොහානි පිළිගැනීමට ඉන්දියාවේ පසුගිය කාලයේ දී බොහෝ ලෙස කතාබහට ලක්වූ බැවින් සත්‍ය වශයෙන්ම ඉන්දීය ජනයා මෙලෙස දිල්හි ගුවන් තොටු පොළට රැස් වූවාද යන්න පිළිබඳවත් මෙහි දැක්වෙන්නේ සත්‍ය ඡායාරූපද යන්න පිළිබඳවත් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කලේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මතයි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායන ශිල්පිණී යොහානි ද සිල්වා ඊයේ (30) දිනයේදී ඉන්දියාව බලා පිටත් වුණේ, ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහායි.
යොහානි ද සිල්වා පිළිගැනීම සඳහා දිල්හි ගුවන්තොටුපළට 450,000 කට අධික ජනතාවක් රැස්ව සිටි බවට ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග බොහෝ දෙනා ඒ පිළිබඳව සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කර ගෙන තිබුණා. මෙලෙස විශාල ජනතාවක් රැස්වූ බවට ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණු අතර මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා වල එම පුවත සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී ඉහත ඡායාරූපය භාවිතා කරමින් අද (01) දිනයේදී පළ කර තිබූ ලංකාදීප පුවත්පතේ ලිපියක් වෙත අපගේ අවධානය යොමු වුණා.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තාවක මෙවැනි ඡායාරූපයක් භාවිතා කරමින් ගායන ශිල්පී යොහානි ද සිල්වා සම්බන්ධයෙන් වාර්තා කර නොතිබුණි. යොහානිගේ පැමිණීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඔවුන් භාවිත කළ ඡායාරූප මෙතනින්.
අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර, එහිදී අනාවරණය වුයේ එම ඡායාරූපය 2019 වර්ෂයේ ජපානයේ, ටෝකියෝ නගරයට බල පෑ සුළි සුළං තත්ත්වය මත ගුවන් ගමන් වාර අත්හිටුවීම හේතුවෙන් ජපානයේ Narita ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අතරමංව සිටි පිරිස හේතුවෙන් ඇති වූ තදබදය දැක්වෙන ඡායාරූපයක් බවයි. ඒ බවට පළ වූ පුවතක් මෙතනින් සහ මෙතනින්.

යොහානි ද සිල්වා පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේදී රැස්වූ පිරිස ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ ජපානයේ ටෝකියෝවේ ගුවන්තොටු පොළේ ගුවන් ගමන් අත්හිටුවීම නිසා ඇති වූ තදබදය දැක්වෙන ඡායාරූපය අතර සංසන්දය පහතින්.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ දෙවන ඡායාරූපය දිල්ලියේ ගුවන් තොටු පොළින් පිටත ගායන ශිල්පී යොහානිද සිල්වා පිළිගැනීමට යැයි සඳහන් කරමින් දක්වා තිබූ ඡායාරූපයද අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ඡායාරූපයද ඉන්දියාවේ හයිද්‍රාබාද්හි නව පුරවැසි නීතියට එරෙහිව පැවැත්වූ විරෝධතා රැලියකදී ලබා ගත් ඡායාරූපයක් බවට අනාවරණය වුණි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

එම ඡායාරූප අතර සංසදනය පහතින්.

ඒ අනුව ඉහත ඡායාරූප දෙකම ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටු පොළ ඉදිරිපිට හෝ ගුවන්තොටුපොළ තුළ යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා පිළිගැනීම සඳහා රැස්ව සිටි පිරිස නොව වෙනත් පැරණි අවස්ථාවන් වලදී ලබා ගත් ඡායාරූප බවට පෙන්වා දිය හැක.
යොහානි දිල්ලි ගුවන් තොටුපොල හරහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ වීඩියෝ දර්ශන මාධ්‍ය හරහා දැක ගන්නට නොලැබුණු බැවින් මේ සම්බන්ධයෙන් විමසීමට Factcresendo අප ඉන්දීය කණ්ඩායම හරහා දිල්ලිහි ගුවන්තොටු පොළේ කාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවත් මෙතෙක් ඊට අවකාශය නොලැබුණි. ඔවුන්ගේ පිළිතුරු සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.
කෙසේවෙතත් ඊයේ දිනයේ ඉන්දියාව බලා පිටත් වූ යොහානි ද සිල්වා සහ ඇගේ සංගීත කණ්ඩායම Studio Xo Bar Gurgaon හි සංගීත ප්‍රසංගය පැවැත්වූ අතර ඊට උණුසුම් ප්‍රතිචාරද හිමි වී තිබුණා. එම අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ කිහිපයක් මෙතනින්. ඉන්දීය රූපවාහිනි නාලිකා යොහානි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මෙතනින්. එමෙන්ම ගුවන් විදුලි නාලිකා වැඩසටහනකට පෙර ලබා ගත් වීඩියෝ දර්ශන මෙතනින්.
ලබන ඔක්තෝම්බර් 03 වන දා යොහානි ප්‍රමුඛ කණ්ඩායම හයිද්‍රාබාද්හි Heart Cup Cafeහි සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.
සැ. යු: එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් ඔස්සේ දක්වා තිබු යොහානි ට ඩොලර් 500,000 තෑගී මුදලක් ද ලැබීමේ පුවත පිළිබඳව ද අප යෝහානිගෙන් විමසීමක් සිදුකළ අතර එම කරුණ සත්‍යාපනය කරගත හැකි වුවහොත් මෙහි යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකීය යොවුන් ගායන ශිල්පිණී යොහානි ද සිල්වා පිළි ගැනීමට අති විශාල පිරිසක් දිල්ලියේ ගුවන්තොටු පොළෙහි හා ඉන් පිටත රැස්ව සිටි බවට දැක්වීමට යොදා තිබූ ඡායාරූප ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති පැරණි විරෝධතා රැළියකදී ලබා ගත් ඡායාරූපයක් හා ජපානයෝ ටෝකියෝ ගුවන්තොටු පොළෙහි ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ඇතිවූ තදබදය සම්බන්ධයෙන් ලබා ගත් ඡායාරූප බවයි.

Title:යොහානි පිළිගැනීමට ඉන්දීය ජනතාව දිල්ලි ගුවන්තොටු පොළට රැස් වූ අවස්ථාවක්ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
