Last updated on February 17th, 2022 at 12:09 pm

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර සහ පසු ඡායාරූපයක් WhatsApp හරහා හුවමාරු වන අතර එම ඡායාරූපය හුවමාරු කරන තරමට මෙම දරුවාගේ ගිණුමට WhatsApp සමාගම මගින් මුදල් ලබා දෙන බව එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මෙම ඡායාරූපය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළද හුවමාරු වන අයුර අපට දැකගන්නට ලැබුණේ මෙලෙසින්.

මේ ඡායාරූපය හුවමාරු කරන එක් වාරයකට මෙම දරුවාගේ සැත්කමට එක රුපියල බැගින් එකතු වන බවත් ලක්ෂ 30ක වාරයක් මෙම ඡායාරූපය හුවමාරු කළ පසු WhatsApp සමාගම මගින් මෙම මුදල ලබා දෙන බවට එයින් පළ කර තිබුණා.
WhatsApp සමාගම මෙසේ මුදල් ලබා දීමට කටයුතු කරන බවට පැවසෙන නිසා මෙම කරුණ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ ආකාරයට සිදු කරන හුවමාරු කිරීම් සඳහා මුදල් ලබා දෙන බවට ප්‍රකාශ වන පුවතේ සත්‍යතාවක් තිබේද යන්න අප පළමුවෙන්ම WhatsApp වෙබ් අඩවියේ පරීක්ශා කර බැලුවා. එහිදී අපට දැකගන්නට හැකි වුණේ, මේ ආකාරයට හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙනව බවට පවසා ඇති පුවත් වල සත්‍යතාවක් නොමැති බවයි. මෙම කරුණ ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

මේ ආකාරයට හුවමාරු වන ප්‍රමානයට මුදල් ලබා දෙන බව පවසමින් ලොව පුරාද මේ ආකාරයේ පණිවිඩ WhatsApp හරහා හුවමාරු වන අතර ඒ පණිවිඩ වල කිසිදු සත්‍යතාවක් නොමැති බව පහත පුවත් සටහන් වලින් ද දක්වා තිබෙනවා.

onlinethreatalerts.com | Archived Link | Archived
ඒ අනුව WhatsApp මගින් හුවමාරු කරන ඡායාරූප සඳහා එහි හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙන්නේ නැති බව පෙනී යනවා.
Conclusion (අවසාන නිගමනය) :
ඉහත කරුණු අනුව සලකා බැලීමේදී පැහැදිලි වන්නේ, මේ දිනවල WhatsApp ඔස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් මඟින් දැක්වෙන ආකාරයට, එම ඡායාරුපය හුවමාරු වන ප්‍රමාණයට මුදල් ගෙවීමක් WhatsApp සමාගම මඟින් ලබාදෙන්නේ නැති බවයි. මේ ආකාරයට ඡායාරුපයක් හුවමාරු වන ප්‍රමාණයට මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමයක් WhatsApp සමාගම මෙතෙක් හඳුන්වා දී නොමැත.
Also Read : දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

Title:WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?
Fact Check By: Pavithra SandamaliResult: False
