නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ස්වභාවිකම දරු ප්‍රසූතියකට සූදානම් වූ මවකට හදිසියේම සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සිදු වූවා... මන්ද කුස තුළ උන් සහෝදරිය තම සහෝදරයාගේ අත තදින් අල්ලාගෙන සිටි බැවිනි..” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න අප විමසා බැලීමක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී දැනගැනීමට හැකිවුණේ, මෙය ලංකාවේ සිදුවීමක් නොවන බවයි. මෙම ඡායරුපයට මුල්වූ නිවුන් දරු උපත 2014 වසරේ මැයි 09 වන දා අමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ Akron හි පිහිටි ජාතික රෝහලේදී (Akron General Hospital in Akron, Ohio) වූ සිදුවී තිබුණි.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ “mono-mono twins” නැතහොත් එකම කළලය සහ වැදෑමහ බෙදා ගත් (උපත් දස දහසකට වරක් පමණ ඉතා දුර්ලභ), ගැහැණු නිවුන් දරු උපතකි. Jenna සහ Jillian නමැති මෙම දැරියන් දෙදෙනා සිසේරියන් සැත්කමකින් අනතුරුව මෙලොව එළිය දුටු පළමු අවස්ථාවේදීම මෙම බිළිඳන් දෙදෙනා අත්පටලවා පැමිණීමේ ඡායාරූපය ලොව පුරා ජනප්‍රිය වී තිබේ. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

නමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් වල දක්වා තිබුණේ, මෙම අවස්ථාවේ දැක්වෙන්නේ සහෝදරයෙකු සහ සහෝදරියකුගේ (ගැහැණු සහ පිරිමි බිළිඳු) උපතක් බවයි. ඒ අනුව ඉහත සටහන් වල දැක්වෙන එම කරුණ අසත්‍ය වෙයි.

අනෙක් කරුණ ලෙස පෙන්වා දී තිබුනේ මෙලෙස දෑත් පටලවා සිටීම හේතුවෙන්, මවට හදිසියේම සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට සිදු වූ බවයි.

නමුත් විදෙස් පුවත් වාර්තා පෙන්වා දී තිබුණේ, mono-mono තත්ත්වය මත ඉපදෙන දරුවන්ගේ ජීවිත අවධානමක් ඇති වීමේ හැකියාවක් පැවතීම හේතුවෙන්, මවගේ කුසට සති 33 ක හෝ 34 ක කාලය වන විටදීම, සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පෙර සිටම තීරණය කරන බවත් Akron ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය Dr. Anand Kantak පවසා තිබු ආකාරයට මෙම දැරියන් දෙදෙනාද එලෙස සති 33කදී මෙලොව එලිය දුටු බව පවසා තිබුණා. එම වාර්තාව මෙතනින්.

මේ පිලිබඳ AFP කරුණු විමර්ෂණ කණ්ඩායම ද මීට පෙර විමර්ෂණයක් සිදුකර තිබු අතර එහිදී Akron ළමා රෝහල විසින් තහවුරු කර තිබුනේ ද මෙම දැරියන් උපත්තිය ලබන තෙක් මෙසේ අත් අල්ලාගෙන සිටි බවක් නොදත් අතර එම සිසේරියන් සැත්කම කලින්ම සැලසුම් කර තිබු බවයි. එම වාර්තාව මෙතැනින්.

ඒ අනුව මෙම සිසේරියන් සැත්කම මගින් මවගේ කළලයට සති 33 දී බිළිඳුන් දෙදෙනා බිහි කළ ඇති අතර එය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්, ස්වභාවික දරු උපතක් සිදු කිරීමට කිසිදු අවස්ථාවක හෝ තීරණය කර නොතිබුණු බව පැහැදිලි වේ.

මෙම නිවුන් දරුවන්ගේ මව එම අවස්ථාවේදී මාධ්‍ය වෙත පළ කළ අදහස් මෙතනින්.

සාමාන්‍යයෙන් දරු උපතක් සති 40ක දී පමණ සිදුවන අතර ඇතැම් අවස්ථාවල දී සති කිහිපයක් ඊට පෙර හෝ පසු දරු උත්පත්ති ද සිදුවෙනවා. නොමේරූ (සති කිහිපයකට පෙර) උපත ලැබූ දරුවන් බේරා ගැනීමේ අවකාශ කලින් අඩු වුවද වත්මන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ මෙම සම්භාවිතාව බෙහෙවින් ඉහළ ගොස් තිබේ.

Jenna සහ Jillian අත් අල්ලාගෙන මෙලොව එලිය දුටු දැරියන් දෙදෙනා මේ වන විට අවුරුදු 07ක දැරියන් දෙදෙනෙකු වන බවත්, එකිනෙකාට වෙනස් පෞරෂයන්ගෙන් හෙබි බවයි මෙම දරුවන්ගේ මව වන Sarah Thistlethwaite පවසන්නේ. මොවුන් සම්බන්ධයෙන් මෑතකදී පළ වූ වීඩියෝවක් පහතින්.

එ් පිළිබඳව සඳහන් වූ වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකුගේ මෑතක දී සිදුවූ නිවුන් දරු උපතක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් පෙළෙහි දැක්වෙන සිදුවීම 2014 වසරේ ඇමරිකාවේ ඔහායියෝ හි දී සිදුවූ අතර එසේ එළිය දුටුවේ ගැහැණු දැරියන් දෙදෙනෙකු බවයි.

මොවුන් දෙදෙනා අත් පටලවා ගෙන උපත ලැබූ සිදුවීම සත්‍යක් වුවද එකම කළලය සහ වැදෑමහ බෙදා ගත්, උපත් දස දහසකට වරක් පමණ සිදුවන දුර්ලභ mono-mono උත්පත්තියක් ලෙස මෙසේ ලොව එලිය දුටුවේ ගැහැණු නිවුන් දැරියන් දෙදෙනෙකි.

එසේම මෙහිදී මවට හදිසියේ සිසේරියන් සැතක්මකට භාජනය කිරීමක් සිදු වී තිබුනේ නැති අතර සාමන්‍යයෙන් mono-mono උත්පත්තියක් සිදුකරන ආකාරයට ඇතිවිය හැකි අවදානම් තත්වයට පෙර සුදානමක් ලෙස Akron ළමා රෝහලේ වෛද්‍යවරු පෙර සිටම සිසේරියන් සැත්කමක් මගින් දරු උත්පත්තිය සිදුකිරීමට තීරණය කර තිබුණි.

Avatar

Title:අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?

Fact Check By: Pavithra Sandamali

Result: Partly False