FACT CHECK: ජම්බෝ පීනට්ස් ඇතුළත ගම් වැනි ඇලෙන සුළු දෙයක් කෘතීමව ආලේප කර තිබේද?

False Social

Last updated on February 17th, 2022 at 12:09 pm

ජම්බෝ පීනට්ස් යනු ලංකාවේ බොහෝ වෙළඳසැල්වල දැක ගන්නට විශාල රටකජු වර්ගයේ ආහාර වර්ගයක්. මෙම නිෂ්පාදනය සන්නාම කිහිපයක් යටතේ ලංකාවේ වෙළඳපොලේ වසර කිහිපයක සිට අලෙවි වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර ජම්බෝ පීන්ට්ස් මැදට, ගම් වැනි කෘත්‍රිම ඇලෙනසුලු ද්‍රව්‍යක් යොදා අලවා තිබෙන බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු  කරන ලද කරුණු සොයා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

ජම්බෝ පීනට් ඉලක්කගත කරමින් වීඩියෝවක් ෆේස්බුක් වෙත එක්කර තිබුණේ මෙලෙසින්. එහි පසුබිම් කථනය මෙපරිදියි.

මෙන්න මේ පැකට් එකෙන් ගත්ත රටකජු.මේකේ ග්ලූ කරල තියෙන්නෙ.ගම් දාල.අලවල තියෙන්නෙ ඩොට් එකකින්.ඕගොල්ලොත් බලල කන්න මේව ගන්නකොට,තනිකර තියෙන්නෙ ග්ලූ කරපුව .අපිත් මේ පීනට්ස් ගත්ත බබාලට දෙන්න බිස්කට වෙනුවට.ඒ උනාට
ඒකෙ ගම් දාලා තියෙන්නෙ.පුලුවන් තරම් ශෙයා කරන්න. 

Facebook | Archived Link 

ඒ ආකාරයටම ස්කෑන් ජම්බෝ පීනට්ස් ඉලක්කකර ගනිමින් තවත් ෆේස්බුක් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මේ ආකාරයෙන් 2020 වසරේ ද මේ දිනවල හුවමාරු වන ජම්බෝ පීන්ට්ස් සම්බන්ධ වීඩියෝව පළවී තිබුනේ ජම්බෝ ෆීනට්එක්ක සුපර් ග්ලූ තියෙන්නෙ පට්ට බැදීමක්.. ගත්තු ගමක් අහුරු පිටින් කටේ දාන් කමු අපි.. යන තේමාවෙන්

මෙසේ පාරිභෝගිකයින් කිහිප දෙනෙක්ම ජම්බෝ පීනට් (රට කජු) වර්ග ගැන විමසිලිමත් වී තිබු අතර ඇතැම් ප්‍රතිචාර මඟින් විමසා තිබුනේ ද මේ ආකාරයෙන් ගම් ආලේප කරන්නේ නම් සේවකයින් කොපමණක් පමණ අවශ්‍ය වේ ද යනාදී වශයෙන්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

මේ පිලිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප මුලින්ම ලංකාවේ වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන ජම්බෝ පීනට් වර්ග පරීක්ෂා කර බැලුවා. එහිදී ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු Scan Jumbo Peanut (ස්කෑන් ජම්බෝ පීනට්ස්) සන්නාමය සහ Magna Jumbo Peanuts (මැග්නා ජම්බෝ පීන්ට්ස්)  සන්නාම දෙක ප්‍රධාන වශයෙන්ම දේශීය වෙළඳ පොළේ දැක ගන්නට තිබෙන බව නිරීක්ෂණය වූ අතර අප එම නිෂ්පාදන දෙකම ලබාගෙන එහි අන්තර්ගතය පරීක්ෂා කර බැලුවා.

එහිදී අපට නිරීක්ෂණය වුයේ සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබූ පරිදි මෙම නිෂ්පාදන දෙකෙහිම ඇතැම් පීනස්ට්වල මැද යම්කිසි තරලයක් වැනි සුදු පැහැති ද්‍රව්‍යක් දැක ගන්නට ලැබෙන බවයි.

කෙසේනමුත් මෙය එක් එක් පීනට් එකට වෙනස් ප්‍රමාණයෙන් තිබු අතර ඇතැම් පීනට්ස් වල දැක ගන්නට ලැබුනේ ද නැත. එසේම සම්පුර්ණ ජම්බෝ පීන්ට්ස් මෙන්ම කැබලි කොටස් ද මෙම දෙවර්ගයෙන්ම දැක ගන්නට ලැබුණි. 

අප මේ පිළිබඳව තොරතුරු විමසා බැලීම සඳහා සමාජ ජාලා සටහන් මගින් චෝදනා එල්ලකර තිබු ස්කෑන් ජම්බෝ පීනට්ස් වෙළදනාමය අයත් C.W.Mackie සමාගම සම්බන්ධ කර ගත්තා. එහි “ස්කෑන්” සන්නාම කලමණාකරු අනුර සේනානායකගෙන් පැවසුවේ, ස්කෑන් ජම්බෝ පීනට්ස් වල මැද්දට ගම් ආලේප කර පීනට්ස් බීජයේ පලු දෙක එකට අලවා ඇති බවට සමාජ ජාලා හරහා හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි. මේ ආකාරයේ අසත්‍ය පුවත් මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම පලවී තිබු බවත් පැවසු අතර 2020 වසරේ එවැනි සටහන් සඳහා සමාගම් කළමනාකාරිත්වය පළකර තිබු නිවේදනයක් ද මෙලෙසින් අපට දැක ගන්නට ලැබුණා.

මෙම ජම්බෝ පීනට්ස් නිපදවීමට යොදා ගන්නා පීනට්ස් ශාකය කුමන  ප්‍රභේදයකට අයත්ද, එහි විද්‍යාත්මක නාමය කුමක්ද යන කරුණුද අප සොයා බැලුවා. Arachis hypogaea යන විද්‍යාත්මක නාමය යටතේ රනිල කුලයට අයත් ශාක වර්ගයේ Virginia නම් උප ප්‍රභේදයක් මෙම ජම්බෝ පීනට්ස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව C.W.Mackie සමාගමේ නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලා කළමනාකාරිනිය අපට පවසා සිටි අතර ලංකාවේ ද මෙම ශාක ප්‍රභේදය දැන් වගා කෙරෙන බවත් ඉදිරියේ දී ලංකාවේ කර්මාන්තශාලවම මෙය නිපදවීමට කටයුතු සැකසෙමින් පවතින බවත් පැහැදිලි කර සිටියා. ලංකාවේ ජම්බෝ පීනට්ස් (රටකජු) වගාව පිලිබඳ කරුණු ඇතුළත් වීඩියෝවක් මෙතනින්

මෙම වර්ජිනියා ප්‍රභේදයේ බීජය අනෙක් ප්‍රභේද වලට වඩා විශාලයි. මෙම වර්ජිනියා ප්‍රභේදය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්. මෙම ශාකවල භූගතව හටගන්නා බීජ මිනිස් ආහාරයට ගත හැකියි. ජම්බෝ පීනට්ස් ලෙස නිෂ්පාදනය කර වෙළද පොලට පිවිසෙන්නේ මෙම ශාකයට අයත් බීජයි. මෙලෙස ලබාගන්නා පීනට් බීජයේ හරස් පැතිකඩක ඡායාරුපයක් පහතින්.

Link | Archived

පීනට්ස් ශාකයේ බීජ අභ්‍යන්තරයේ වැඩෙන කලලය මෙහි දැක ගන්නට පුළුවන්. එමගින් නව ශාකයක් බිහිවන්නේ මෙම කළලය (Embryo) හරහාය. මේ පිළිබඳ වැඩිදුර විස්තර  මෙතනින්. Archived.

එසේම නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලා කළමනාකාරිනිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරූප සහ වීඩියෝවල ග්ලු (ගම් වර්ගයක්) ලෙස දැක්වෙන කොටස සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදුකළා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී මෙම ජම්බෝ පීනට්ස් බැදීමේ ක්‍රියාවලියකට ලක්වන අතර එහිදී ජම්බෝ පීනට් (රටකජු) තුළ ඇති ජල වාෂ්ප හේතුවෙන් සෑදෙන බුබුළු මේ ආකරයෙන් දැක ගන්නට ලැබෙන බවත් පවසා සිටියා. පීනට් නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබඳ වීඩියෝවක් මෙතනින්

එසේම දැනට වෙළඳපොලේ පවතින ස්කෑන් ජම්බෝ පීනට්ස් ආනයනය කරන්නේ චීනයෙන් බවත්, චීනයෙන් ඇසුරුම් කර ලංකාවට අපනයනය කරන ජම්බෝ පීනට්ස් මෙහිදී බෙදාහැරීමක් පමණක් සිදුවන බවත් පවසා සිටියා. චීනයේ වරායෙන් පිටත්වීමට පෙර සිදුකර තිබු පරීක්ෂාවක වර්තාවක් අප වෙත යොමු කල අතර මෙරට දී ද වරායෙන් මුදාහැරීමට පෙර රේගුව මගින් අනුමත විද්‍යාගාරවල දී තත්ත්ව පරීක්ෂාවක් සිදු කරන බවද පැවසුවා.

එසේ ස්කෑන් ජම්බෝ පීනට්ස් සාම්පල මෙරටදී පරීක්ෂාවට ලක් කරන Bureau Veritas  පරීක්ෂණ වාර්තාවක් ද  අප වෙත යොමු කළා. පරීක්ෂණ වාර්තාව ඔස්සේ අප එම ආයතනයෙන් ද සිදුකල විමසීමේ දී තහවුරු කර සිටියේ මේ ආකාරයේ ගම් වැනි ද්‍රව්‍යක් එම පීනට්ස් වර්ගයේ තිබී වාර්තා වී තිබුනේ නැති බවයි. එසේම පීනට්ස්වල තිබිය හැකි බාහිර ද්‍රව්‍ය (extraneous materials) පිලිබඳ සිදුකර තිබු වාර්තාවේ ද මේ පිලිබඳ සඳහනක් දැක්වුණේ නැහැ.

(ආයතනයේ ඉල්ලීම මත එම වාර්තා මෙහි පළකර නැත)

මේ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නිජෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි රණසිංහ සම්බන්ධ කර ගත්තා. ඇය පැවසුවේ, මෙවැනි කළලයක් පැවතීම බොහෝ ඇට වර්ගවලට පොදු තත්ත්වයක් බවයි. බෝංචි ඇටයක් වුවත් දෙපලු කර බැලුවහොත් මෙය හොදින් නිරීක්ෂණය කල හැකි බවත් ඇය පැවසුවා. ඇය පැවසුවේ ජම්බෝ පීනට්ස් ලෙස හැදිවෙන්නේද රටකජු ශාක විශේෂයටම අයත් වෙනස් ප්‍රභේදයක් බවයි. ජම්බෝ පීනට්ස් වල ඇතුලින් ගම් ආලේප කර ඇතැයි පැවසීම පිළිගැනීමට අපහසු දෙයක් බවත් ඒ ආකාරයට ගම් ආලේප කිරීම ප්‍රයෝගිකව විය හැක්කක් නොවන අතර මෙන්ම එලෙස කිරීමට උත්සාහ කලහොත් බීජය කැබැලිවලට කැඩී යාමට ද හැකි බවත් ඇය පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී පැහැදිලි වූයේ, ස්කෑන් ජම්බෝ පීනට්ස් වල ඇතුලත ගම්/ඇලවුම් ද්‍රව්‍යක් ඇති බවට පලවන සමාජ ජාලා වාර්තා පදනම් විරහිත බවයි. අප ලංකාවේ වෙළඳපොලේ තිබෙන පීනට්ස් වර්ග දෙකක් පරීක්ෂා කිරීමේ දී ඒ දෙකෙහිම ඇතැම් පීනට්වල අභ්‍යන්තරයේ සුදු පැහැති ද්‍රව්‍යක් දැක ගන්නට ලැබුණා.

චීනයේ දී නිෂ්පාදනය කොට ඇසුරුම් කර ලංකාවට පැමිණෙන මෙම ජම්බෝ පීනට්ස් මෙරට වෙළදපොලට නිකුත් කිරීමට පෙර  රේගුවෙන් මෙන්ම අදාළ ආයතන මඟින් ද රසායනාගාර පරීක්ෂාවකට යොමු කෙරෙන අතර එහිදී ද මේ ආකාරයේ ගම්/ඇලවුම් ද්‍රව්‍යක් හඳුනාගෙන නැහැ.

C.W.Mackie සමාගමේ නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලා කළමනාකාරිනිය අපට පැහැදිලි කර සිටියේ ද මෙසේ සුදු පැහැති තරලයක් ලෙස ඇතැම් ජම්බෝ පීනට්ස් ඇතුළත දැක ගන්නට ලැබෙන්නේ, බැදීමේ ක්‍රියාවලියකට ලක්වීමේ දී ජම්බෝ පීනට් (රටකජු) තුළ ඇති ජල වාෂ්ප හේතුවෙන් සෑදෙන බුබුළු බවයි.

Avatar

Title:ජම්බෝ පීනට්ස් ඇතුළත ගම් වැනි ඇලෙන සුළු දෙයක් කෘතීමව ආලේප කර තිබේද?

Fact Check By: Kalana Krishantha 

Result: False


Leave a Reply