ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය නිසා ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පවා ඉතා අපහසු සහ සංකිර්ණ තත්වයකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ලංකාවේ ගෑස් සැපයුමෙන් අඩකටත් වඩා සපයන ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇති බව සමාජ ක්‍රියාධරයෙක් වන නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ෆේස්බුක්හි පළකර වීඩියෝවකින් පසුගියදා බරපතල චෝදනාවක් සිදු කළා . මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්:

නාගානන්ද කොඩිතුවක්කු විසින් පහත වීඩියෝව නිකුත් කරමින් ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ බරපතල වංචාවක් සිදුව ඇති බව පවසා තිබුණා.

Archived

මෙහිදී නාගානන්ද කොඩිතුවක්කු විසින් පවසන ප්‍රධාන කරුණු .

ලිට්රෝ සමාගම රජයට අයත් සමාගමක්

ගෑස් මෙට්‍රික් ටොන් 280,000 මිලට ගන්න අවශ්‍ය ටෙන්ඩර් කැදවා තිබුනා.

2022 මාර්තු 16 ටෙන්ඩර් කැදවීම අවසන් කල දිනය.

පාර්ශවයන් 3 ක් ගෑස් ලබාදීමට ඉදිරිපත්ව තිබුණා.

එයින් අඩුම මිල වන මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96 බැගින් ලබාදීමට සියාම් නම් සිංගප්පුරු සමාගම ඉදිරිපත්ව තිබුනා.

මැයි 3 වන විට ඒ සදහා අවශ්‍ය කැබිනට් අනුමැතීය හිමිව තිබුනා.

ඒ බව සියාම් සමාගමට නිල වශයෙන් දන්වා තිබුණා

නමුත් සියල්ල වෙනස්වුනේ සාගල රත්නායකගේ සහ රනිල් වික්‍රමසිංහ ගේ මැදිහත්විම මතයි.

එක්වරම තීරණය වෙනස් කර ඕමාන සමාගමක් වන OQ - Oman Trading සමාගමට ටෙන්ඩරය ලබාදීමට තීරණය වුනා. ඒ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129 බැගින් ලබාගන්න. ඒ අනුව රටට සිදුවන පාඩුව, මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 33ක් වෙනවා. (129-96)

මේ තොරතුරු සත්‍යද ? මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්.

ලිට්රෝ සමාගම:

අප මේ සම්බන්ධයෙන් රජය යටතේ පවත්වාගෙන යන ආයතනයක් (SOE-State Owned Enterprise) වන ලිට්රෝ සමාගමේ ප්‍රතිචාරය පිළිබඳව විමසා බැලුවා. ඒ පිලිබඳ ඔවුන් නිවේදනයක් ද නිකුත් කර තිබු අතර එහි දක්වා තිබු කරුණු පහත දැක්වෙනවා.

2022/23 සඳහා මෙට්‍රික් ටොන් 280,000 ක ජාත්‍යන්තර ගෑස් මිලදී ගැනීමේ නෞකා ටෙන්ඩරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දක්වමින් ලිට්රෝ සමාගම පවසා සිටියේ ජනවාරි මස කැඳවා මාර්තු 16 වන දින අවසන් වූ මෙම LP ගෑස් ප්‍රවාහන නෞකා ගාස්තු ටෙන්ඩරය සඳහා Siam Trading , OQ Trading, BB Energy යන ආයතන පිළිවෙලින් ගෑස් මෙට්‍රික් ටොන් එකක් සදහා නැව් ගාස්තු වශයෙන් ඩොලර් 96, 129, 148 ලෙස මිල ගණන් ඉදිරිපත් කර තිබු බවයි.

ඒ අනුව අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව මගින් සියාම් ට්‍රේඩින් සමාගම මෙම වසර සදහා සැපයුම්කරු ලෙස නම් කර තිබුණා.

නමුත් ගිවිසුම් ප්‍රකාරව සියාම් සමාගම සදහා ලබාදීමට නියමිතව තිබුණු ඩොලර් මිලියන 30 ක ණයවර ලිපිය ( $ 30M -SBLC), පවතින ආර්ථික අර්බුධය හමුවේ ශ්‍රී ලංකා රජයට ලබාදිය නොහැකි තත්ත්වයකි පැවතුණේ .

එම තත්ත්වය විසදගන්න කාලය අවශ්‍ය නිසා හදිසි මිලදී ගැනීමක් ලෙස, රටේ පවතින ගෑස් හිගය අවම කිරීම සදහා ගෑස් මිලට ගැනීමට වැය වන නැව් ගාස්තු පිලිබදව ලිට්රෝ සමාගම විසින් සියාම් සමාගමෙන් සහ ඕමාන් සමාගමෙන් මිල ගණන් විමසා බලා තිබෙන බව සඳහන්.

එහිදී සියාම් ගෑස් සමාගම මැයි 30 ලිපියකින් පවසා තිබුණේ ඔවුන්ට ගෑස් සැපයිය හැක්කේ ටොන් එකක් ඩොලර් 112 ක නැව් ගාස්තු යටතේ මෙට්‍රික් ටොන් 6600 ක ප්‍රමාණයක් පමණක් බවයි. එම ප්‍රමාණය දින 5 ක ජාතික ගෑස් ඉල්ලුමට පමණක් ප්‍රමාණවත් නිසා එහි පවතින අපහසුතාවය ලිට්රෝ සමාගම විසින් ඔවුන්ට දන්වා සිටිනවා.

ඉහත දෙවන අඩුම ලන්සුවක් ඉදිරිපත් කර තිබු ඕමාන් ට්‍රේඩින් ආයතනය මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙට්‍රික් ටොන් එකක ප්‍රමාණයක් සදහා ඩොලර් 129 බැගින් නෞකා ගාස්තු ලෙස ගෙවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් එනම් මාස 4 ක් ලංකාවේ පාවිච්චියට ප්‍රමාණවත් ගෑස් සැපයුමක් ලබාදීමට තමන්ට හැකි බව දන්වා සිටි බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය මගින් තාවකාලික ව ඕමාන් ට්‍රේඩින් ආයතනය සමග එකගතාවයකට පැමිණ ගෑස් ලබාගැනීමටත් , රටේ ආර්ථික තත්වය සමග ගෙවීම් කටයුතු අපහසු නිසා සියාම් සමාගම සමග පැමිනියාවූ ටෙන්ඩරය අහෝසි කර නව ටෙන්ඩරයක් කැදවීමටත් ලිට්රෝ සමාගමට ජුනි මාසයේ 8 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව ද සඳහන්.

එමෙන්ම ලිට්රෝ සමාගම අවධාරණය කරන්නේ සියාම් සහ ඕමාන් ට්‍රේඩින් සමාගම් අතර ගෑස් මෙට්‍රික් ටොන් එකක් සදහා නැව් ගාස්තු පරතරය ඩොලර් 17ක් ( 129 – 112) නිසා කිලෝ 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් ඉහල යා හැකි මිල රුපියල් 77 ක් පමණක් බවයි.

ඉහත කරුණු ඇතුළත් නිවේදනය මෙතනින්

මේ පිලිබදව තවදුරටත් ලිට්රෝ සමාගමෙන් තොරතුරු විමසා බැලු අපට ලිට්රෝ සමාගම සහ සියාම් සමාගම අතර හුවමාරුවූ විද්යුත් ලිපි වලින් සමහරක් නිරීක්ෂණය කිරීමට ද හැකිවූ අතර සියාම් සමාගම මගින් කලින් එකඟ වූ ඩොලර් 96 නැව් ගාස්තුව, හදිසි මිලට ගැනිම් සදහා ඩොලර් 112 දක්වා වැඩිකර ඇති බව නිරීක්ෂණය වුණා .

එමෙන්ම අප විසින් සිදු කරන ලද ගණනය කිරීම් වලදී තහවුරු වූ කාරණය වන්නේද නැව් ගාස්තු වැඩිවීම නිසා කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක වැඩිවන මිල රුපියල් 77කට ( 17 * 360 /1000 *12.5) ආසන්න අගයක් මිස නිතීඥ නාගානන්ද පැවසූ ආකාරයේ රුපියල් දහස් ගණනක ඉහල අගයක් නොවන බවයි. (එම ගණනය කිරීමට ඩොලරයේ අගය 360ක් ලෙස යොදාගත්‍තා)

එමෙන්ම නාගානන්ද විසින් කල කරුණු දැක්වීමේදී මේ මිල ගණන් දක්වා තිබුණේ නැව් ගාස්තු සදහා පමණක් බව ඔහු විසින් පවසා නොතිබීම නිසාද මෙම වීඩියෝවට සවන් දෙන අය නොමග යාමේ අවධානමක් පවතිනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ නව ප්‍රධානි මුදිත පීරිස් පැවසුවේ මෙවන් අදහසක් .

ඔහු මෙම වීඩියෝවේදී ඔහු ද පවසා සිටින්නේ ද සියාම් සමාගමට අවශ්‍ය තරම් ගෑස් සැපයීමට හැකියාවක් නොමැති නිසා තාවකාලිකව මාස 4 ක තරම් කාලයක් වර්තමාන තෙල් සැපයුම් කරු වන ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ලබාගන්නා බවත් ඒ සඳහා කැබිනට් සහ අනුකමිටු අනුමැති ලැබී තිබු බවත්ය.

එසේම ලිට්රෝ සමාගමේ නව සභාපති පවසා සිටියේ ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 200කින් පමණ ඉහළ නැංවීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. ඒ ඇතුළු ඉහත කරුණු ද පිලිබඳ ලිට්රෝ සභාපති අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්. පසුගිය අවුරුදු 2 ක කාලය සඳහා ද ලිට්රෝ වෙත ගෑස් සැපයීම සිදුකර තිබෙන්නේ ද ඕමාන් සමගම විසිනි.

සියාම් ගෑස් සමාගම: 

කෙසේනමුත් මේ පිලිබදව සියාම් සමාගමේ මතය විමසීම සදහා අප එහි ප්‍රකාශිකාවක් වන Napat Kitayayuka ව සම්බන්ධ කර ගත්තා. ඇය තහවුරු කර සිටියේ ද වසරක් සදහා වන කාලය සදහා නැව් ගාස්තු මෙට්‍රික් ටොන් එකකට, ඩොලර් 96 බැගින් ගිවිසුම් ප්‍රකාරව මුදල් ගෙවීම සදහා ලිට්රෝ ගෑස් සමාගම සතුව ඩොලර් නොමැති බව ලිට්රෝ සමාගම විසින් ඔවුන් වෙත පැවසූ බවයි. එම නිසා ණයවර ලිපි නිකුත් කිරීම සදහා ලිට්රෝ සමාගමට හැකියාවක් නොමැති නිසා ගෑස් සැපයීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසුවා.

කෙසේ වෙතත් කෙටි කාලීන කුඩා ප්‍රමාණ මිලදී ගැනීම් සදහා වැයවන ඉතා විශාල බහාලුම් පිරිවැය හමුවේ වුවත් මුලින් මෙට්‍රික් ටොන් එකක් සදහා ඩොලර් 112 ක නැව් ගාස්තු යටතේ මෙට්‍රික් ටොන් 6500 ක් ලබාදීමටත් , ඉන්පසුව ඊටත් වඩා අඩු මුදලට, එනම් මෙට්‍රික් ටොන් එකක් සදහා ඩොලර් 110 යටතේ මෙට්‍රික් ටොන් 40,000 ක් ලබාදීමටත් සියාම් සමාගම ලිට්රෝ සමාගමට යෝජනා ඉදිරිපත් කලද , ඒ සදහා මෙතෙක් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබි ඇති අතර ලිට්රෝ සමාගම දිගින් දිගටම පවසා තිබුනේ මෙම ගනුදෙනු සඳහා ඩොලර් නොමැති බවයි.

කෙසේ වෙතත් සියාම් සමාගමට වඩා වැඩි, ඉහල නැව් ගාස්තු යටතේ වුවත් තරගකාරී වෙනත් සමාගමකින් (ඕමාන් සමාගමෙන් ඩොලර් 129 බැගින්) ගෑස් මිලදී ගැනීමට ලිට්රෝ සමාගම උත්සාහයක් දරන බව පෙනෙන බවත් ඇය පැවසුවා .

එසේම අද දින කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණේ සියාම් සමාගම මගින් ගෑස් සදහා ලබාගන්නා නැව් ගාස්තු අඩු වුවත් ඔවුන්ට විශාල පරිමානයේ ගෑස් ගෑස් සැපයීමේ අපහසුතා පිලිබඳ පවසා සිටි බැවින් අනෙක් ගැනුම්කරු වෙත යෑමට තීරණය කළ බවයි. ඒ පිලිබඳ තවත් පුවතක් මෙතනින්

කෙසේනමුත් සියාම් සමාගමේ ප්‍රකාශිකා Napat Kitayayuka අප සමග පැවසුවේ මෙටික් ටොන් ලක්ෂයක වුව ද ගෑස් ලබාදීමට තම සමාගමට හැකියාව ඇති බවයි. ලිට්රෝ සමාගම විසින් මුදල් ගෙවීමට සුදානම් නම් ගෑස් ලබාදීම සදහා සියාම් ගෑස් සමාගම සුදනම් බවයි ඇය පැවසුවේ. තම සමාගම වසරකට මෙට්‍රික් ටොන් මිලියන 3 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවලට සපයන බවත් Napat Kitayayuka පැවසුවා.

තායිලන්තයට අමතරව වියට්නාමය, සිංගප්පුරුව, චීනය සහ මැලේසියාව ඇතුළු රටවලට ද සියාම් ගෑස් සමගම විසින් LP ගෑස් සැපයීම් සිදුකෙරෙන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ ද දක්වා තිබුනේ මෙලෙසින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!

By: Kalana Krishantha

Result: Explainer